%බෞද්ධ සිනමා සංස්කෘතිය මිනිස්සු ආදරයෙන් වැළඳගෙන තිබෙනවා^
- %අනගාරික ධර්මපාල ශ්‍රීමතානෝ^ සිනමාපටයේ අධ්‍යක්ෂක
සනත් අබේසේකර
සනත් අබේසේකරගේ නවතම සිනමා නිර්මාණය වන %අනගාරික ධර්මපාල ශ්‍රීමතානෝ^ සිනමා පටය මහජනයා වෙත මුදාහැරීම අදින් (12දා) ඇරඹෙයි. පාසල් දරුවන්ට විශේෂ කොට නිකුත්වන මෙම සිනමා කෘතිය අනගාරික ධර්මපාලතුමන්ගේ 150 වැනි ජන්ම දිනයට සමගාමීව දිවයින පුරා චිත්‍රපට ශාලාවල ප්‍රදර්ශනය වනු ඇත. මේ ඒ සම්බන්ධයෙන් කතා බහකට එක්වූ එම චිත්‍රපටයේ අධ්යක්ෂ සනත් අබේසේකරයන්ගේ අදහස්ය.
මෙවන් චිත්‍රපටයක කාලෝචිත බව ගැන කතා කළොත්?
මෙහි වටිනාකම විදිහට සඳහන් කළ හැකිවන්නේ, මෙය අනගාරික ධර්මපාලතුමන්ගේ 150 වැනි ජන්ම දිනය නිමිති කරගෙන නිකුත්වීමයි. මෙහි අදහස පූජ්‍ය කිරම විමලජෝති හිමිපාණන්ගෙනුයි මට ලැබුණෙ. උන්වහන්සේගේ අදහසට අනුව මම මෙය ගවේෂණාත්මක වාර්තාමය චිත්‍රපටයක් ලෙසට ඉදිරිපත් කළා. ධර්මපාලතුමන්ගේ ජීවිතය පිළිබඳ පූර්ණ චිත්‍රපටයක් කිරීමට නම් කෝටි 25ක්වත් වැයවෙනවා. නමුත් පූජ්‍ය කිරිම විමලජෝති හාමුදුරුවන්ගේ අදහස වුණේ එතුමාගේ ජන්ම දිනය නිමිත්තෙන් යම් යම් සුවිශේෂී සිද්ධි ඇතුළත් කර මෙම චිත්‍රපටය කිරීමටයි.
මෙහි පළමු දර්ශනය ජනාධිපතිතුමා, අධ්‍යාපන ඇමතිතුමා සහ ස්වාමීන් වහන්සේලා අරලියගහ මන්දිරයේදී නැරඹුවා. එහිදී ලැබුණු උපදෙස් අනුව මෙය පාසල් දරු දැරියන් වෙනුවෙන් සකසන්නට මට සිදුවුණා. ඒ අනුව මුලින් රූගත කළ යම් යම් දර්ශන ඉවත්කර අලුත් දර්ශන සමගින් මෙය නැවත සැකසුවා.
මෙම චිත්‍රපටයේ පළමු මාධ්‍ය දර්ශනයෙහි බොහෝ සැලකිය යුතු අඩුපාඩු තිබුණා. ඒ සම්බන්ධයෙන් %අද% පුවත්පත දැඩි විවෙචනයක් ගෙන ආවා. අධ්යක්ෂවරයා වශයෙන් සියලු අර්බුදවල වරද ඔබ පිට පැටවෙනවා. මේ නව සංස්කරණයේදී එම අර්බුද ජයගත්තේ කොහොමද?
මම ඒ විචාරය දැක්කා. මම මුලින් කියූ විදියට මෙය වාර්තාමය චිත්‍රපටයක්. මට ලැබුණු මුදලත් සමගයි මම මේ නිර්මාණය කළේ. ඒ වගේම ඉන්දියාවේදී මෙහි රූගතකිරීම් පවා හොරෙන් කරන්නයි සිදුවුණේ. ඔවුන් ශ්‍රී ලංකාව සමගින් තරහින් සිටින්නෙ. පසුගියදා සිරි දළදාගමනයේ වැඩ කටයුත්තකට ඉන්දියාවට ගිය අවස්ථාවෙත් මගේ ගමන් බලපත්‍රය සඟවා වෙනත් දෙමළ නමකිනුයි මා පෙනීසිටියේ. එහි සිටින නළු නිළියන් සහ කාර්මික ශිල්පීන් කිසිකෙනෙකු ශ්‍රී ලංකාවට කැමති නැහැ. එවන් අර්බුද සමගිනුයි මා මෙය අධ්‍යක්ෂණය කළේ.
නමුත් අපට චිත්‍රපටයේ පසු සැකසුම් කටයුතු කරන්න ඉන්දියාවට යන්නට වෙනවාමයි. මෙහි දෙවැනි සංස්කරණයේදී බොහෝ දේ නැවත සැකසුවා සේම නව දර්ශනත් මෙයට එකතු කළා.
ඔබ සඳහන් කළ පරිදි චිත්‍රපටයක පසු සැකසුම් කටයුතු බොහෝමයකට ඉන්දියාවට යන්න වෙන්නෙ ඇයි? එයට ජාතික චිත්‍රපට සංස්ථාව වගකිවයුතු නැද්ද?
ඔවුන් වගකිව යුතුයි. අපි දැන් චිත්‍රපටයක පසු සැකසුම් වෙනුවෙන් අනිවාර්යයෙන්ම ඉන්දියාවට යා යුතුයි. චිත්‍රපටය මික්ස් කරන්න, පටිගහන්න, ඩී.ටී.එස්. කරන්න ඉන්දියාවට යා යුතුයි.
අනිවාර්යයෙන්ම චිත්‍රපට සංස්ථාවෙන් මෙයට වගකිවයුතුයි. ඊටත් වඩා එතනට ගිහින් ලියුමක් ගන්නත් විශාල කාලයක් ගතවෙනවා. අනගාරික ධර්මපාල ශ්‍රීමතානෝ චිත්‍රපටයේ චිත්‍රපට ශාලා ලැයිස්තුව ගන්නම හත්පාරක් ගියා චිත්‍රපට සංස්ථාවට. මටම හිතෙනවා මම මේ ලංකාවෙ සිනමා අධ්‍යක්ෂවරයෙක්ද කියලා. ඒ තරම් සැලකිල්ලක් නැහැ. ඔබ කියූ පරිදිම පෙර තිබූ අඩුපාඩු සකසාගෙන මෙය නැවත එළිදක්වනවා.
චිත්‍රපටය පාසල් දරුවන්ට ගැළපෙන්නට සකස්කළා යන්නෙන් අදහස් කළේ කුමක්ද?
මෙය ජනාධිපතිතුමා පැවසුවක්. මෙහි ප්‍රධානම අර්බුදය වුණේ භාෂාවයි. ඇතැම් අවස්ථාවල අනගාරික ධර්මපාලතුමාගේ මේ භාෂාව දරුවන් වෙත මුදාහැරියොත් සංස්කෘතිකමය ප්‍රශ්නයක් ඇතිවෙන්න ඉඩ තිබෙනවා. උදාහරණයකට %යාපනයේ දෙමළ මිනිස්සු^ යනුවෙන් ධර්මපාලතුමා පැවසූ දෙය අපි යොදාගත්තේ %යාපනයේ ජීවත්වෙන මිනිස්සු^ යනුවෙනුයි. මේක සැර බාල කරලා කිවහැකියි. ධර්පාලතුමා අදහන අයෙකුට නම් මේ හරහා යම් සිත්වේදනාවක් ඇතිවිය හැකියි. නමුත් වර්තමාන තත්ත්වය අනුව මට පෙළගැහෙන්නට සිදු වී තිබෙනවා.
ඔබ ඉදිරිපත් කරන බෞද්ධ සිනමා සංස්කෘතිය තුළ යම් යම් ප්රකාශනයන්ගේ වෙනස්කම් කිරීම අර්බුදයක් නොවෙයිද?
එලෙස කරන්නට සිදුවුණේ භාෂා ප්‍රශ්නයක් නිසයි. මම චිත්‍රපට තුළට ගෙනෙන මෙම බෞද්ධ සිනමා සංස්කෘතිය මිනිස්සු ආදරයෙන් වැලඳගෙන තිබෙනවා. පසුගියදා මගේ චිත්‍රපට සම්බන්ධයෙන් විචාරයක් තිබුණා බෞද්ධ සිනමා කෘති තුළින් සිනමා රසයක් විඳිය නොහැකි බව කියා. ඒක ඇත්ත. ශ්‍රී ලංකාව කියන්නෙ බෞද්ධ රටක්. මම ඔවුන් වෙනුවෙනුයි සිනමාව කරන්නෙ. මම ඒ රසය විඳිනවා. බෞද්ධයන් ඒ රසය විඳිනවා.
ගාමිණී වේරගම මහත්මයා විචාරය කර තිබුණා %සිරි දළදාගමනය^ ප්‍රේක්ෂකයන්ට බින්දුවයි, උපාසක අම්මලාට සියයයි කියලා. ඒක ඇත්ත. මම ඉන්නෙ උපාසක අම්මලාගෙ පැත්තෙ. මම සිනමාවේ හැම පැත්තම අල්ලන්න යන්නෙ නැහැ. එක්තරා පැත්තක් මගේ දැනුම අනුව යොදාගැනීමයි සිදුකරන්නෙ.
උදාහරණයකට මගේ %මහින්දාගමනය^ වැඩිම පිරිසක් නැරඹූ චිත්‍රපටය වුණා. එය නරඹා තිබුණෙ සාමාන්‍ය සිනමාහලට එන රසිකයන් නොවෙයි.
ආගමික සිනමා සංස්කෘතියක් රටකට තිබීම වැදගත් යැයි ඔබ සිතනවාද?
වැදගත්. විශේෂයෙන්ම මෙවැනි බෞද්ධ රටකට එය වැදගත්. ජපානය, ඉන්දියාව වැනි රටවලත් බෞද්ධ සිනමා සංස්කෘතියක් තිබෙනවා.
මෙවන් වාර්තාමය ගවේෂණාත්මක චිත්‍රපටයකට අදාළ අවශ්‍ය තොරතුරු ලබාගත් ප්‍රභව මොනවාද?
මම මූලිකවම ගියේ මරදාන ආනන්ද බාලිකා විද්‍යාලයටයි. ධර්මපාලතුමාගේ නිවස අද බෞද්ධ පාඨශාලාවක්. එහි කෞතුකාගාරයේ විස්තර බොහෝමයක් තිබුණා. එහි නියෝජ්‍ය විදුහල්පතිතුමිය වන මාධවී ජයසේකරගෙනුත් තොරතුරු ලබාගත්තා. ඒ වගේම මේ සම්බන්ධයෙන් විශේෂයෙන් හදාරන කැලණිය විශ්වවිද්‍යාලයේ බාහිර කථිකාචාර්ය ගයාන් චානුක විදානපතිරණ මහත්මයාගෙනුත් තොරතුරු ලබාගත්තා. ඒ වගේම මම දඹදිව බුද්ධගයාව, බරණැස ඉසිපතනාරාමයේ මූලගන්ධකුටි විහාරයෙන්, එහි වැඩසිටි ස්වාමීන් වහන්සේලාගෙන් තොරතුරු ලබාගත්තා. ඒ වගේම බානගල උපතිස්ස නාහිමියන්ගෙන් වගේම ධර්මපාලතුමා පිළිබඳ රචිත පොත්වලිනුත් මම විස්තර සපයාගත්තා.
චිත්‍රපටයේ ප්‍රදර්ශන තත්ත්වය හා විස්තර ගැන සඳහන් කළොත්?
අද උදෑසන වනවිට සිනමා ශාලා 36 ක චිත්‍රපටය ප්‍රදර්ශනය වෙනවා. ලංකාවේ ප්‍රථමවරටයි මංගල මහජන දර්ශනය උදෑසනක පැවැත්වෙන්නෙ. සිනමාශාලා සියල්ල දැනටමත් වෙන් වී අවසානයි. ඒ වගේම අනගාරික ධර්මපාලතුමා වෙනුවෙන්ම සම්බුද්ධ ජයන්ති මන්දිරයේ %සියපත සිනමා^ නමින් චිත්‍රපට ශාලාවක් ඇරඹෙනවා. ජනාධිපතිතුමාත්, බන්දුල ගුණවර්ධන ඇමතිතුමාත් දක්වපු සහයෝගය ජාතික චිත්‍රපට සංස්ථාවෙන් ලැබුණෙ නැති බවත් මෙතනදී කිවයුතුයි.