Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 නොවැම්බර් මස 28 වන බ්‍රහස්පතින්දා
2024 නොවැම්බර් මස 28 වන බ්‍රහස්පතින්දා
ක්ෂුද්‍ර මූල්‍ය ව්‍යාපාර පාලනය කිරීම සඳහා පනතක් ඉදිරිපත් කිරීමටත්, එම අංශය විධිමත් කිරීමට නියාමන අධිකාරියක් පිහිටුවීමටත් අයවැයෙන් යෝජනා විය. ඒ අනුව ක්ෂුද්‍ර මූල්‍ය ආයතන රුපියල් 25,000ක වාර්ෂික ගාස්තුවකට මෙම අධිකාරියේ ලියාපදිංචි විය යුතුය.සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට ඇපකරුවන් නොමැතිව ණය ආධාර ලබාදීමට තෝරාගත් මූල්‍ය ආයතන හරහා වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවීමට රුපියල් මිලියන 500 ක මූලික අරමුදලක් වෙන්කරන ලදී.
මොනරාගල, පුත්තලම, යාපනය, වන්නි හා අම්පාර යන ප්‍රදේශවල සුළු කාර්මික ගම්මාන ඉදිකිරීමට යෝජනා වූ අතර, ඒ සඳහා රුපියල් මිලියන 150ක් වෙන්කරන ලදී.
බීජ සහ රෝපණ ද්‍රව්‍ය නිෂ්පාදනයට ඌන උපයෝජිත රජයේ ඉඩම් පෞද්ගලික අංශයට ලබාදීමට යෝජනා කෙරුණු අතර, ඒ සඳහා රුපියල් මිලියන 1000 ක මුදලක් වෙන් කළේය.පසු අස්වනු හානිය අවම කිරීම සඳහා පොළොන්නරුව, කිලිනොච්චිය, ඇඹිලිපිටිය යන ප්‍රදේශවල නවීන පහසුකම්වලින් සමන්විත ගබඩා තුනක් ඉදිකිරීමටත්, මන්නාරම ගබඩාවේ ඉතිරි වැඩ අවසන් කිරීමටත් රුපියල් මිලියන 1000ක් වෙන්කරන ලදී.
කීරි සම්බා රුපියල් 50 ක්, සම්බා සඳහා රුපියල් 41 ක් හා නාඩු සහල් සඳහා රුපියල්38 ක් ලෙස සහතික මිලක් පැනවීය. එමගින් රුපියල් 65 ක මුදලට පාරිභෝගිකයාට සහල් කිලෝවක් ලබාගත හැකිවනු ඇති බව මුදල් අමාත්‍යවරයා පැවසීය.අතිරික්ත සහල් අපනයනය කිරීමටත්, මන්දපෝෂණය සඳහා ගොදුරුවීමට ඉඩ ඇති සමෘද්ධිලාභීන්ට සහල් මෙට්‍රික් ටොන් 44,000ක් ලබාදීමටත් යෝජනා විය.
පොහොර සහනාධාරය සුළු පරිමාණ ගොවීන්ට පමණක් ලබාදීමටත්, ඒ අනුව හෙක්ටයාර 01ක් දක්වා යල හා මහ කන්න සඳහා පොහොර සහනාධාරය ලෙස රුපියල් 25,000 ක මුදලක් ලබාදීමටත් යෝජනාවිය.ඒ සහා වෙන්කරනමුදල රුපියල් මිලියන 37,500 කි.පලතුරු විජලන කර්මාන්තයට ඇතුළු වන ආයතන හා පුද්ගලයන් සඳහා 50% ක පොලී සහනයක් ලබාදීමට යෝජනා විය. එසේම නුවරඑළිය, දඹුල්ල, අැඹිලිපිටිය, කැප්පෙටිපොළ හා තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයට ආසන්න පලතුරු ගබඩා කිරීම සඳහා ශීතාගාර 05ක් ඉදිකිරීමට රුපියල් මිලියන 2000ක් වෙන් කළේය.
දේශීය ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක උපරිම සිල්ලර මිල රුපියල් 325 සිට රුපියල් 295 දක්වා අඩු කෙරෙන අතර, දේශීය කිරි ගොවීන් සඳහා ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවකට රුපියල් 30ක සහනාධාරයක් ලබාදීමටද යෝජනා විය.
ධීවරයන්ට රුපියල් මිලියනයක ජීවිත රක්ෂණයක් යෝජනා විය. දේශීය ධීවර කර්මාන්තය ආරක්ෂා කිරීම සඳහා මත්ස්‍ය හා මත්ස්‍ය නිෂ්පාදන ආනයනය සඳහා විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 50 දක්වා වැඩි කිරීමට යෝජනාවිය.හලාවත, මිරිස්ස, කල්මුනෙයි, වැල්වැටිතුරෙයි, කරෙයිනගර් හා පුරාණවැල්ල ධීවර වරායන් ශීතාගාරද සහිතව සංවර්ධනය කිරීමට රුපියල් මිලියන 750 ක් වෙන් කළේය. අනුරාධපුර, වවුනියාව හා කිලිනොච්චි දිස්ත්‍රික්කවල පශු සම්පත් හා මත්ස්‍ය සැකසුම් කලාප පිහිටුවීමට රුපියල් මිලියන 100ක් වෙන්විය.
මත්ස්‍ය අභිජනන ධාරිතාව ඉහළ නැංවීමට ජාතික ජලජීවී අධිකාරියට රුපියල් මිලියන 100ක් වෙන්විය. රාජ්‍ය හා පෞද්ගලික අංශය එක්ව මඩකලපුව දිස්ත්‍රික්කයේ ජලජීවි වගා කලාපයක් බිහිකිරීමට මිලියන 100ක් වෙන්විය. ගැඹුරු මුහුදේ මසුන් ඇල්ලීමට බලපත්‍ර ලබාදීමේ නව ක්‍රමවේදයක් හඳුන්වාදීමට නියමිතය.
නැවත වගා කිරීම හා නවීකරණය සඳහා වූ දිගුකාලීන ආයෝජන සිදුකරන ප්‍රාදේශීය වැවිලි සමාගම්වල කල්බදු කාලය, කළමනාකරණ ගාස්තුව නැවත සලකා බැලීමට යටත්ව වසර 50 දක්වා දීර්ඝ කෙරේ.
තේ - තේ කර්මාන්තයේ අගය එකතු කිරීමේ ගැටලුව විසඳීමට රජයේ හා පෞද්ගලික අංශයෙන් සමන්විත කමිටුවක් ස්ථාපිත කිරීමටත්, තේ ආනයනයේදී නෛතික රාමුව ලිහිල් කිරීමටත්, සිලෝන් ටී නාමය නොවෙනස්ව තබාගැනීමට ලේබල් කිරීමට අත්‍යවශ්‍ය බවත් යෝජනා විය.
රබර් - රබර් කර්මාන්තයට ප්‍රධාන සැලැස්මක් සකස්කිරීමට රුපියල් මිලියන 100ක් වෙන්විය.
පොල් - පොල් නිෂ්පාදන වැඩපිළිවෙළ පුනරුත්ථාපනයට රුපියල් මිලියන 250ක් වෙන්විය.
තේ සහ රබර් කර්මාන්ත සඳහා වසර දෙකක් බදු නිදහස් කිරීමටත්,තේ, රබර්, පොල් පර්යේෂණ ආයතනවලට අදාළ පර්යේෂණ සඳහා හා භෝග විවිධාංගීකරණයට දිරිමත් කිරීමටත් වසර දෙකක් සඳහා රුපියල් මිලියන 200 ක් වෙන්කෙරිණි.
කුළුබඩු සන්නාමගත කිරීමේ වැඩසටහනක් සඳහා රුපියල් මිලියන 150ක් වෙන් කළ අතර, කුරුඳු පර්යේෂණ ආයතනය ශක්තිමත් කිරීම සඳහා රුපියල් මිලියන 50 ක් වෙන්කෙරිණි. කුරුඳු පර්යේෂණ ආයතනයක් ඉදිකිරීමට සහ එහි පර්යේෂණ සඳහා රුපියල් මිලියන 100ක් වෙන්විය.කුළුබඩු අපනයනයේදී ගම්මිරිස්, කරාබුනැටි හා සාදික්කා මත ඇති සෙස්බද්ද ඉවත් කළේය.
ග්‍රාමීය ආර්ථිකය නැංවීමට එක් ගමකට රුපියල් මිලියන 1.5ක් ලෙස රුපියල් මිලියන 21,000ක් වෙන්කළේය.
කුඩා වැව් සහ ඇළවල් ප්‍රතිසංස්කරණය සඳහා රුපියල් මිලියන 2000ක් වෙන්කළ අතර, වවුනියාවේ නව ආර්ථික කලාපයක් ඉදිකිරීමට රුපියල් මිලියන 200ක් වෙන්විය.
ජාතික පාරිසරික සංරක්ෂණ වැඩසටහනට, ළමා ආරක්ෂණයට, මත් උවදුර දුරු කිරීමට මෙන්ම කෘෂිකර්මය හා සම්බන්ධ වැඩ සඳහා රුපියල් මිලියන 2000ක් වෙන් කෙරිණි.අලිමිනිස් ගැටුමට ඉලක්කගත විසඳුම් ලබාදීමට වසර තුනක් තුළ රුපියල් මිලියන 4000ක් වෙන්කළේය.
සංචාරකයන් ආකර්ෂණය කිරීමට මැණික්, ස්වර්ණාභරණ හා දියමන්ති වෙන්දේසිය සෑම වසරකම අප්‍රේල් හා ඔක්තෝබර් මාසවල පැවැත්වේ. රත්නපුරයේ පෞද්ගලික මැණික් වෙළෙඳ මධ්‍යස්ථානයක් පිහිටුවීමට හා තීරුබදු රහිත මැණික් හා ස්වර්ණාභරණ සාප්පු ගුවන්තොටුපොළේ පිහිටුවීමට යෝජනා විය.අපනයනය කරන ස්වර්ණාභරණ සඳහා 10% ක සෙස් බද්දක් පැනවෙයි.
ආනයනික බදුවලින් තොරව රන් ආනයනය කිරීම සඳහා බලපත්‍ර 50 ක් ලබාදීමට යෝජනාවිය. එම බලපත්‍ර ලබාගැනීමෙන් තොරව රන් ආනයනය කිරීමට අවස්ථාවක් නොලැබේ.
2018 වසර අවසන් වනවිට ප්‍රාදේශීය ලේකම් කාර්යාල, පළාත් සභා හා පළාත් පාලන ආයතන, උප තැපැල් කාර්යාල, පොලිස් ස්ථාන ඇතුළු රජයේ සියලු ගොඩනැගිලි ඉලෙක්ට්‍රොනිකව සම්බන්ධ කිරීමට යෝජනා විය. 2016 දී රට පුරා ස්මාර්ට් ඩිජිටල් පන්ති කාමර 200ක් හා 2017 දී එය 1000ක් දක්වා වර්ධනය කිරීමට යෝජනා විය. උසස් ඩිජිටල්කරණ වැඩසටහන් සඳහා රුපියල් මිලියන 10,000ක් වෙන්විය.
විදේශිකයන්ට ඉඩම් බදු දීමේදී අයකරන බදු ඉවත් කෙරේ.විනිමය පාලන පනත අහෝසි කිරීමට යෝජනා විය.ලංකාවේ පුරවැසියන් නොවන අය හා විදේශ සමාගම් විසින් ලැයිස්තුගත කොටස්වල ආයෝජනයෙන් ලැබෙන ලාභාංශ ආයෝජන බද්දෙන් නිදහස් කළේය. ආයෝජන අපනයන කලාපවල කළමනාකරණය පෞද්ගලික අංශයට පැවැරීමට යෝජනාවිය. පරිසර සංවේදී කර්මාන්ත පුත්තලම, හම්බන්තොට හා කිලිනොච්චියේ ඉදිකිරීමට යෝජනා විය. පසුගාමී ප්‍රදේශවල අවම වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 10ක ආයෝජන හෝ සේවකයන් 500ක් ඇති සමාගම් සඳහා වසර පහක බදු සහන ලබාදෙන අතර, සේවකයන් 800ක් නම් බදු සහන කාලය වසරට 08කි.
ලිහිසි තෙල් වෙළෙඳ පොළ හා තාර වෙළෙඳ පොළ නිදහස් කිරීමට යෝජනා විය. ඌන උපයෝජිත වත්කම් හා ඌන ක්‍රියාකාරී ආයතන පුනරුදය කිරීමේ පනත සමාලෝචනය කිරීමටත්, දේශීය හා ගෝලීය ආයෝජන ආරක්ෂා කිරීම සඳහා නව නීති ගෙන එයි. සුපිරි වාසි බද්ද අහෝසි කෙරේ. විදේශ ආයෝජකයන්ට ඕනෑම බැංකු ගිණුමකින් ශ්‍රී ලංකාවට මුදල් ගෙනඒමට අවස්ථාව ලබාදෙයි.
අපනයන උපාය මාර්ග ක්‍රියාත්මක කිරීමට හා අධීක්ෂණයට, තීරණ ගැනීමට ඇති බාධා ඉවත්කිරීමට හැකියාව සහිත අපනයන සංවර්ධන සභාවක් පිහිටුවීමට තීරණය කර තිබේ.
ජාත්‍යන්තර වෙළෙඳ ප්‍රතිපත්ති රාමුව සකස්කිරීම සඳහා අන්තර්ජාතික වෙළෙඳ ආයතනයක් ස්ථාපිත කිරීමට යෝජනා විය. ඇමෙරිකාව, චීනය, දකුණු කොරියාව, සිංගප්පූරුව, ඔස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව හා ජපානය සමග නිදහස් වෙළෙඳ ගිවිසුම්වලට ඇති හැකියාව විමර්ශනය කිරීමට යෝජනා විය.
ඉඩම් භාවිතය උපරිම කිරීමටත්, ඉඩම්වල වංචනික ක්‍රියා නැවැත්වීමටත් ඉඩම් බැංකුවක් සඳහා රුපියල් මිලියන 500ක් මුදලක් වෙන්කළේය.
බැංකු කටයුතු, ඉදිකිරීම්, අධ්‍යාපන වැනි අවස්ථා ග්‍රහණයට ආනයන අපනයන බැංකුවක් ස්ථාපිත කිරීමට ඒ සඳහා රුපියල් මිලියන 50ක්ද වෙන්කිරීමට යෝජනා විය.
ඌන-උපයෝජිත ඉඩම් නිවාස සෑදීම සඳහා නිදහස් කිරීමට තීරණය කර තිබේ.මුඩුක්කු නිවාසවල වෙසෙන ජනතාවට වසර පහක් ඇතුළත නිවාස 100,000 ක් ඉදිකිරීමට යෝජනා විය. මැදි මට්ටමේ, රජයේ හා පෞද්ගලික අංශයේ නිලධාරීන් සඳහා නිවාස 150,000ක් ඉදිකිරීමටත්, රාජ්‍ය අංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සඳහා නිවාස 5000ක් ඉදිකිරීමටත් යෝජනා කර තිබේ.
විදේශ වෙළෙඳ පොළට පිවිසෙන ඉදිකිරීම් සඳහා අඛණ්ඩවම බදු නිදහස ලබාදෙයි. ඉදිකිරීම් සඳහා විදේශයෙන් පැමිණෙන කොන්ත්‍රාත්කරුවන්, දේශීය කොන්ත්‍රාත්කරුවන් සඳහා හවුල් ව්‍යාපාර කිරීමට අවස්ථාව ලබාදීමටද යෝජනා විය. ඉදිකිරීම් ක්ෂේත්රයේ ඇප අරමුදල් බදු නිදහස් කළේය.
වානේ, ටයිල් හා සනීපාරක්ෂක භාණ්ඩ ආනයනය ආශ්රිත බදු ඉවත්කිරීමටත්, ටයිල්, පිඟන් මැටි හා සනීපාරක්ෂක භාණ්ඩ ආයෝජන මණ්ඩලයේ නිශේධ ලැයිස්තුවෙන් ඉවත්කිරීමටත්, දොඹකර හා කොන්ක්‍රීට් මිශ්‍රණ යන්ත්‍ර ආනයන බද්ද ඉවත්කිරීමටත් යෝජනාවිය.
ගොඩනැගිලි හා ඉදිකිරිම් ක්ෂේත්රයේ පුහුණුවන්නන් සඳහා මාස දෙකක පුහුණවක් හා, රුපියල් 10000ක මාසික දීමනාවක්ද, මේසන්, වඩු, ජලනළ, විදුලි හා ඇලුමිනියම් කර්මාන්ත සඳහා මාස තුනකට තරුණයන් 7500ක් පුහුණු කිරීමට රුපියල් මිලියන 500ක්ද වෙන්කර තිබේ.
සංචාරක ක්ෂේත්රයේ පුහුණු පාඨමාලා හදාරන සඳහා උපරිම රුපියල් 15,000කට යටත්ව පාඨමාලා ගාස්තුවෙන් 50%ක් රජය විසින් දරන අතර, ඒ සඳහා රුපියල් මිලියන 100ක් වෙන්කර තිබේ. සංචාරක කටයුතු දිරිමත් කිරීම සඳහා බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාව, නෙළුම් පොකුණ රඟහල හා නව නගර ශාලාවෙන් සමන්විත ත්‍රිකෝණයක් ස්ථාපිත කෙරේ. නව නගර ශාලාව ආසන්නයේ නවීන පහසුකම්වලින් සමන්විත සම්මේලන මධ්‍යස්ථානය ඉදිකිරීමට යෝජනා කර තිබේ. ශ්‍රී ලංකාව සංචාරක පාරාදීසයක් කිරීම සඳහා ඇඟලුම්, සපත්තු, ඉලෙක්ට්‍රොනික හා විදුලි උපාංග සඳහා බදු සංශෝධන කෙරේ.
සංස්කෘතික ත්‍රිකෝණය, නැගෙනහිර මුහුදු වෙරළ, නුවරඑළිය, බදුල්ල, උඩරට හඳුනාගත් ස්ථාන සංචාරක ආකර්ෂණීය ලෙස දියුණු කිරීමටත්, බෙන්තොට, දෙද්දුව, මිරිස්ස, කොළඹ කොටුව සංචාරක කලාප ලෙස පෞද්ගලික අංශයේ සහායෙන් සංවර්ධනයටත්, ගාලු කොටුව සංවර්ධනයට රුපියල් මිලියන 500කුත් වෙන්කර තිබේ.
නැව්, ගැල් රථ, රළමත පදින ක්‍රීඩා උපකරණ, වේග බෝට්ටු සහ කුඩා සංචාරක බෝට්ටු ආදියේ බදු ඉවත් කිරීමට යෝජනා කර තිබෙන අතර, ලියාපදිංචි වී නොමැති හොටල් 2016 ජුනි 01 වැනිදාට හෝ පෙර සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචිය අනිවාර්ය කෙරිණි. රජය සතු නිවාඩු නිකේතන සහ සංචාරක බංගලා සියල්ල ඒකක කළමනාකාර සමාගමක් යටතට පත්කිරීමට යෝජනා කර තිබේ.
කොළඹ ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානය නමින් ශ්‍රී ලංකාව තුළ ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානය පිහිටුවීම. නිවාස සංවර්ධන මූල්‍ය සමාගම් බැංකුව (HDFC Bank) සහ රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව ජාතික නිවාස බැංකුව ලෙස ඒකාබද්ධ කිරීමටත්, ලංකා පුත්‍ර බැංකුව(LDB) සහ ප්‍රාදේශීය සංවර්ධන බැංකුව(RDB) ලංකා ව්‍යවසාය සංවර්ධන බැංකුව ලෙස ඒකාබද්ධ කිරීමටත්, ශ්‍රී ලංකා ඉතිරි කිරීමේ බැංකුව ජාතික ඉතිරි කිරීමේ බැංකුව සමග ඒකාබද්ධ කිරීමටත් යෝජනා විය.
එසේම දිවිනැගුම බැංකුවේ අරමුදල් ජාතික ඉතිරි කිරීමේ බැංකුව සමග සම්බන්ධ කිරීමටත් යෝජනා විය.
2016 ජුනි 01 වැනිදා සිට බැංකු කල්බදු ව්‍යාපාරයෙන් නිදහස් විය යුතුය. බැංකු ණය දීමේදී කෘෂිකර්මාන්තයට 10%ක්, 5%සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තයට, 5% තරුණයන් හා කාන්තාවන් වෙනුවෙනුත් ලබාදිය යුතුය. බැංකුවක ණයවලින් උකස් ණය ප්‍රමාණය 5%ක් බවට සීමා වෙයි. උකස් තැරැව්කරුවන්ගේ ලියාපදිංචි ගාස්තුව රුපියල් 25,000ක් දක්වා වැඩිකළේය.
ආරක්ෂිත හේතු මත මුදල් ප්‍රවාහනය අධෛර්යමත් කිරීමට රුපියල් මිලියනයේ සිට මිලියන 10 දක්වා මුදල් ආපසු ගැනීම සඳහා 2% ගාස්තුවක් හා මිලියන 10ට වැඩි මුදල් ආපසු ගැනීමේදී 3% ගාස්තුවක් අයකෙරේ. 2016 ජනවාරි මස සිට කල්බදු පහසුකම් ලබාගැනීමේදී අවශ්‍ය වන තක්සේරු සහතික සඳහා යතුරුපැදි සහ ත්‍රිරෝද රථ වෙනුවෙන් වෙනුවෙන් රුපියල් 2500ක්ද, මෝටර් කාර් ඇතුළු සියලු වාහන සඳහා රුපියල් 15,000ක්ද ලෙස සංශෝධන කර තිබේ. වාණිජ බැංකුවල අක්‍රිය ගිණුම් තුළ පවතින මුදල් 2016 ජනවාරි මස 01 වැනිදා වනවිට ඒකාබද්ධ අරමුදලට බැර කිරීමටද යෝජනා විය.
අවුරුදු 60ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා රුපියල් මිලියනය දක්වා තැන්පතු වෙනුවෙන් ලබාදෙන 15% ක පොලී ප්‍රතිශතය ලබාදීමේ කාලසීමාව අවුරුදු 55 දක්වා අඩුකිරීමටත්, තැන්පතු මුදල මිලියන 1.5 දක්වා වැඩි කිරීමටත් යෝජනා විය. 2016 වසරේ සිට පාසල්වලට ඇතුළත්වන සියලුම පාසල් සිසුන්ට වාර්ෂිකව රුපියල් 250 ක අවමයකට යටත්ව ඉතුරුම් ගිණුම් විවෘත කිරීමට යෝජනා විය.
ණය සුරැකුම් වෙළෙඳ පොළේ ව්‍යාප්තිය පහසු කිරීමට 2106 දී එහි කටයුතුවලට අදාළ රඳවාගැනීමේ බදු ඉවත් කෙරේ. බැඳුම්කර නිෂ්කාශන ආයතනයක් ස්ථාපිත කිරීමට රුපියල් මිලියන 500ක් වෙන් කෙර්. කොටස් වෙළෙඳ පොළේ ගනුදෙනු බද්ද වන 0.3% ඉවත් කෙරෙන අතර, කොටස් සහතික මත මුද්දර බද්ද ඉවත්කෙරේ. විගණන හා ගිණුම්කරණ ප්‍රමිති අධීක්ෂණ මණ්ඩලය ශක්තිමත් කිරීමට රුපියල් මිලියන 100ක් වෙන්කෙරේ.
ශ්‍රම වෙළෙඳපොළේ ගැටලු අවම කරලීමට අර්ධකාලීන රැකියා සංස්කෘතියක් ස්ථාපිත කිරීමට යෝජනා කරන අතර, පෞද්ගලික අංශයේ සේවා කාලය සතියකට දින 05ක් දක්වා අඩුකරලීමටද යෝජනාවිය. එසේම මාස හයක කොන්ත්‍රාත් කාලය වසරක් දක්වා දීර්ඝ කරනු ලැබීය.පෞද්ගලික අංශයේ සේවකයන්ට රුපියල්2500 ක වැටුප් වැඩි කිරීමක් යෝජනා කළ අතර, එයින් රුපියල් 1500ක් 2015 වසරේදීත්, තවත් රුපියල් 1000ක් 2016 වසරේදීත් ලබාදිය යුතු බව සඳහන්විය. වැඩකරන ජනතාවට අවම වැටුපක් ලැබෙන බව තහවුරු කිරීමට රැකියා කවුන්සිලයක් පිහිටුවේ.
ග්‍රාමීය පාසල් සඳහා ගුරු විවේකාගාර, ගුරු නිවාස සඳහා රුපියල් මිලියන 2000ක්, පාසල් වලසනීපාරක්ෂක කටයුතු සඳහා රුපියල් මිලියන 4000ක්, පාසල් සඳහා විදුලිය ලබාදීමට රුපියල් මිලියන 2000ක්, ප්‍රාථමික පාසල් 3577ක් දියුණු කිරීමට රුපියල් මිලියන 10,000ක්, ද්විතියික පාසල් 1000ක පහසුකම් දියුණු කිරීමට රුපියල් මිලියන 15,000ක්, කිසිදු පහසුකමක් නොදී අත්හැර තිබූ පාසල් 1360ක් සඳහා රුපියල් මිලියන 30,000ක්, වැවිලි ක්ෂේත්රයේ පාසල් සඳහා රුපියල් මිලියන 250ක්, පාසල්වල දන්ත සෞඛ්‍ය ඉහළ නැංවීමට රුපියල් මිලියන 450ක්, විද්‍යාගාර ලබාදීමට රුපියල් මිලියන 250ක් වෙන්කළේය.
සියලුම සිසුන් වසර 13ක් පාසලෙහි හා වෘත්තීය අධ්‍යාපනයේ යෙදීම අනිවාර්ය කළ අතර, පංතිකාමරයක සිටින ළමුන් සංඛ්‍යාව 35ට සීමා කළේය. 2016 වසරේ සිට නිල ඇඳුම් ලබාදීමේදී වවුචර් ක්‍රමයක් හඳුන්වාදීමටද යෝජනාවිය.මහපොළ විශ්වවිද්‍යාලය නමින් නව විශ්වවිද්‍යාලයක් මාලඹේ ස්ථාපිත කරන අතර තොරතුරු තාක්ෂණය, ව්‍යාපාර පරිපාලනය, ඉංග්‍රීසි භාෂාව ආදී රැකියා වෙළෙඳ පොළ ඉලක්ක කරගත් පාඨමාලා එහිදී ආරම්භ කිරීමට නියමිතය. ඒ සඳහා රුපියල් මිලියන 3000ක් වෙන්කෙරේ.
කිලිනොච්චියේ ඉංජිනේරු පීඨයක් ඉදිකිරීමටත්, වවුනියාවේ කෘෂිකර්ම පීඨයක් ඉදිකිරීමටත් යෝජනා කළ අතර, පාලි හා බෞද්ධ අධ්‍යාපන පශ්චාද් ආයතනය සඳහා නව ගොඩනැගිල්ලක් ඉදිකිරීමට රුපියල් මිලියන 500ක් වෙන්කළේය.විශ්වවිද්‍යාල සිසුන්ට ලැප්ටොප් පරිගණක ලබාගැනීම සඳහා වසර 03ක පොලී රහිත ණය මුදලක් යෝජනා කළ අතර, සියලුම විශ්වවිද්‍යාල වයිෆයි කලාප බවට පත්කිරීමට රුපියල් මිලියන 300ක් වෙන් කළේය.
බටන්ගල ප්‍රදේශයේ විශ්වවිද්‍යාල කොලීජියක් ඉදිකිරීමට යෝජනා ඉදිරිපත් කර තිබේ. ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයට ඇතුළත් කරගන්නා සිසුන් සංඛ්‍යාව 2000කින් වැඩි කිරිමට යෝජනා විය. ජාතික යොවුන් සේනාංකවල ඉදිරි කටයුතු සඳහා රුපියල් මිලියන 3000ක් වෙන්කර තිබේ.ආනයනික පොත්පත් සහ සඟරා සඳහා ආනයනික බදු ඉවත් කිරීමට යෝජනා කර තිබේ.
වකුගඩු රෝගයට පිළියම් වශයෙන් රුධිර කාන්දුකරණ මධ්‍යස්ථාන 1000 ක් ස්ථාපිත කිරීමට රුපියල් මිලියන 6500ක වකුගඩු රෝගීන් සඳහා විශේෂ පහසුකම්වලින් යුතු රෝහලක් මින්නේරිය ප්‍රදේශයේ ඉදිකිරීමට රුපියල් මිලියන 2000ක් වෙන් කර තිබේ. නල්ලූර්, මාතලේ සහ මහනුවර විශේෂ පිළිකා රෝහල් 03ක් ඉදිකිරීමට රුපියල් මිලියන 3000ක්, අනුරාධපුර, කුරුණෑගල හා යාපනය රෝහල්වල පහසුකම් වර්ධනයට රුපියල් මිලියන 3000ක් සහ ජංගම ආරෝග්‍ය ශාලා සඳහා රුපියල් මිලියන 200ක් වෙන් කර තිබේ. ජයවර්ධනපුර රෝහල නවීකරණයට රුපියල් මිලියන 1500ක්, එයට අනුබද්ධ හෙද පාසල සංවර්ධනයට රුපියල් මිලියන 2500ක් වෙන් කරන ලදී.
විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය යටතේ නවෝත්පාදන මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමට රුපියල් මිලියන 3000ක්, නැණසල උසස් කිරීම සඳහා රුපියල් මිලියන 100ක් වෙළෙඳ නාම පනත සංවර්ධනය කිරීමට බුද්ධිමය දේපළ කාර්යාංශයට රුපියල් මිලියන 100ක් වෙන්කරන ලදී.
වයෝවෘද්ධ පුද්ගලයන් සඳහා ජාතික කවුන්සිලයක් පිහිටුවීමට රුපියල් මිලියන 10ක්, පූර්ව ළමාවිය සංවර්ධනයට රුපියල් මිලියන 7000ක්, ළමා රක්ෂණ අධිකාරියේ කාර්යභාරය ශක්තිමත් කිරීමට රුපියල් මිලියන 100ක් වෙන්කරන ලදී.
පොලිස් ස්ථාන 428 ක ප්‍රමාණය600 දක්වා වැඩි කිරීමට රුපියල් මිලියන 1000ක්,පොලිස් දෙපාර්තමේන්තුවේ වැටුප් විෂමතා ඉවත් කිරීමට රුපියල් මිලියන 3000ක් වෙන්කරන ලදී.
රජයේ සියලු ව්‍යාපාර එක් සමාගමක් යටතට ගැනීමට යෝජනා කර තිබේ. ලංකා හොස්පිටල්, හොටෙල් ඩිවලොපර්ස් සමාගම (හිල්ටන්), හියියාට් රෙසිඩෙන්සිස්, වෝටර්ස් එජ්, ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලය, සෙලින්කෝ හොස්පිටල් හා මොබිටෙල් යන ව්‍යාපාරවල උපායශීලී නොවන ආයෝජන කොළඹ කොටස් වෙළෙඳ පොළේ ලැයිස්තුගත කර ඒවා සම්පූර්ණයෙන් හෝ අර්ධ වශයෙන් රජයෙන් ඉවත්වීමට තීරණය කර තිබේ. වාණිජ ගුවන්යානා සඳහා 20%ක පියාසර ගාස්තුවක් 2016 ජනවාරි සිට අයකිරීමට යෝජනා කර තිබේ.
මිහින් ගුවන් සේවයේ මෙහෙයුම් අභ්‍යන්තරයට සීමා කිරීමටත්, තෝරාගත් ජාත්‍යන්තර ගුවන්මාර්ග සඳහා යොදා ගැනීමටත් තීරණය කර තිබේ. මත්තල ගුවන්තොටපළ ගුවන් බඩු මෙහෙයුම් කේන්ද්‍රස්ථානයක් බවට පත්කිරීමටද යෝජනා කර තිබේ.
අතිරික්ත සේවකයන් සිටින රජයේ ආයතනවලින් සේවක හිඟයක් ඇති රජයේ ආයතනවලට සේවකයන් ඇතුළත් කිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ගේ සංචිතයක් ඇති කෙරේ.රජයට වාහන මිලදී නොගැනීමටත්, කල්බදු ක්‍රමයට වාහන ලබාගැනීමටත් යෝජනා කර තිබේ. තමන්ගේ වාහන භාවිත කරන රාජ්‍ය සේවකයන් සඳහා ඉන්ධන දීමනාවට අමතරව මාසිකව රුපියල් 50,000ක් ලබාදීමටත් යෝජනා කර තිබේ.ජූලි වර්ජකයන් සඳහා එක්වරක් පමණක් ගෙවන රුපියල් 250,000ක් ලබාදෙන අතර, ඒ සඳහා රුපියල් මිලියන 500ක් වෙන්කර තිබේ.
නීති පද්ධති හා පනත් අවශ්‍ය ලෙස නවීකරණයට රුපියල් මිලියන 500ක්, නීතිපති දෙපාර්තමේන්තුවේ, නීති කෙටුම්පත් හා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ ධාරිතාව වැඩි කිරීමට රුපියල් මිලියන 500ක් වෙන් කරතිබේ. 2016 ජනවාරි 01 වැනිදා සිට රජයේ සේවයට බැඳෙන අය සඳහා දායකත්ව විශ්‍රාම වැටුප් ක්‍රමයක් හදුන්වා දී තිබේ. යෝජිත ඊ.පී.එෆ්/ඊ.ටී.එෆ් අරමුදල් ඒකාබද්ධ කරනුයේ වෘත්තීය සමිති සමග එකඟතාවකින් පසුවය.
ත්‍රිරෝද රථ, කුලී රථ හා පාසල් වෑන් රථ හා භාණ්ඩ ප්‍රවාහනය සඳහා නව නීතිරීති හඳුන්වාදීමට නියමිතය. ත්‍රිරෝද රථ විදුලියෙන් ධාවනය කිරීමට හැකි පරිදි පරිවර්තනය කිරීමට රුපියල් 15,000ක සහන ණයක් ලබාදීමට යෝජනා වී තිබේ. ලියාපදිංචි කර ඇති වාහන සඳහා රථවාහන සංකේත උපකරණයක් සවිකිරීමට රුපියල් මිලියන 500ක් වෙන් කරතිබේ.
ගාස්තුවකට යටත්ව භාණ්ඩ ප්‍රවාහනයට සහ සංචාරක කර්මාන්තය සඳහා දුම්රිය මාර්ග හවුලේ භාවිත කිරීමට පෞද්ගලික අංශයට ඉඩ ලබාදීමටත්, දුම්රිය සංවර්ධන සභාවක් පිහිටුවීමටත් යෝජනා කර තිබේ. කැලණිවැලි දුම්රිය මාර්ගය නවීකරණයට රුපියල් මිලියන 1500ක්, ජා ඇල, කඩවත, අවිස්සාවේල්ල, පානදුර හා පිළියන්දල දුම්රිය හා බස් රථ ප්‍රවාහනය දියුණු කිරීමට රුපියල් මිලියන 3000ක් වෙන්කර තිබේ. මීගමුව, කටුනායක හා කොළඹ සම්බන්ධ කරමින් මොනෝ රේල් පද්ධතියක් ඉදිකිරීමටද නියමිතය. ශ්‍රී ලංකා වරාය අධිකාරියට ඇතුළත් වන වාහනයකට වසරකට රුපියල් 10,000ක ගාස්තුවක් අයකිරීමට නියමිතය.
හම්බන්තොට, රයිගම, මහඔය හා ත්‍රිකුණාමලයේ කර්මාන්ත සංවර්ධන කලාප පිහිටුවීමට රුපියල් මිලියන 500ක් වෙන්කර තිබේ.
රුවන්පුර අධිවේගී මාර්ගය, ගාලු සමුද්‍රීය මාර්ගයට සමාන්තරව දුම්රිය මාර්ගය පානදුර දක්වා දීර්ඝ කිරීමට, දඹුල්ල, පොළොන්නරුව, මුලතිව් හා යාපනය යා කෙරෙන අධිවේගී මාර්ගය ඉදිකිරීමට, පාමංකඩ රත්මලාන මාර්ගය දියුණු කිරීම, කැලණි ගඟ හරහා නව පාලමක් ඉදිකිරීම, ඇතුළු කටයුතු සඳහා රුපියල් මිලියන 15000ක්, කොටා පාරේ සිට කඩවත දක්වා කුලුනු මත ඉදිකෙරෙන මාර්ගයක් සඳහා රුපියල් මිලියන 1000ක්, කැලණි පාලම හරහා කොළඹ කොටුව ප්‍රවේශ මාර්ගය ඉදිකිරීමට රුපියල් මිලියන 4000ක් වෙන් කර තිබේ. වාරිමාර්ග - යාන් ඔය ව්‍යාපෘතියට මිලියන 1000ක් සහ මොරගහකන්ද ව්‍යාපෘතියට මිලියන 1000 ක් වෙන්කර තිබේ.
නගර ආශ්රිත සංවර්ධනය, නාගරික ඝන අපද්‍රව්‍ය කළමනාකරණය වැනි ව්‍යාපෘති සඳහා රුපියල් මිලියන 10,000ක්, පිරිසුදු ජලය සැපයීම් වැනි කටයුතු සඳහා නාගරික ජල සම්පාදන අමාත්‍යාංශයට තවත් මිලියන 2500ක්ද වෙන් කර තිබේ.දක්ෂිණ සංවර්ධනයට මිලියන 1000ක්, වයඹ සංවර්ධනයට මිලියන 2500ක්, පුබුදමු පොළොන්නරුවට රුපියල් මිලියන 10,000ක්, උතුරු නැගෙනහිරට රුපියල් මිලියන 14,000ක්, වතුයටිතල පහසුකම් සඳහා රුපියල් මිලියන 100 ක්,පළාත් පාලන ආයතන ශක්තිමත් කිරීමට රුපියල් මිලියන 1500ක් වෙන්කර තිබේ.
දක්ෂ කලාකරුවන් සඳහා විශ්‍රාම වැටුපක් පිහිටුවීමට රුපියල් මිලියන 15ක් වෙන් කර තිබේ.
විදේශීය රැකියා නියුක්තිකයන් සඳහා ඇ.ඩො.300 ක අවම වැටුපක් නියමවිය. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය එක් සේවකයෙකුගෙන්එකතු කරන නියෝජිත ගාස්තුව 15,000 ක් දක්වා වර්ධනය කළේය.
අර්තාපල් සඳහා පනවා ඇති වෙළෙඳ බද්ද රුපියල් 25කින් අඩුකිරීමටත්, ලොකු ලූනු සඳහා පනවා ඇති වෙළෙඳ බද්ද රුපියල් 25කින් අඩුකිරීමටත්, ළදරු කිරිපිටි කිලෝවක මිල රුපියල් 100කින් පහළ දැමීමටත්, ග්‍රෑම් 425 සැමන් ටින් එකක මිල රුපියල් 125 දක්වා අඩු කිරිමටත්, හාල්මැස්සන් කිලෝවකට රුපියල් 410ක උපරිම සිල්ලර මිලක් නියම කිරීමටත්, පරිප්පු කිලෝවකට රුපියල් 169ක උපරිම සිල්ලර මිලක් නියම කිරීමටත්, කට්ට කරවල කිලෝවකට රුපියල් 1100ක උපරිම සිල්ලර මිලක් සහ සාලයා කරවල කිලෝවකට රුපියල් 425ක උපරිම සිල්ලර මිලක් නියම කිරීමටත්, කඩල කිලෝවකට රුපියල් 169ක උපරිම සිල්ලර මිලක් නියම කිරීමටත්, කිලෝග්‍රෑම්12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 150කින් පහළ දැමීමටත්, භූමිතෙල් ලීටරයක මිල රුපියල් 10කින් අඩුකිරීමටත් යෝජනා විය.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම ශක්තිමත් කිරීමට රුපියල් මිලියන 500ක්, පාර්ලිමේන්තු ක්‍රමය ශක්තිමත් කිරීමට රුපියල් මිලියන 250ක්, ජේ.ආර්. ජයවර්ධන කේන්ද්‍රයට රුපියල් මිලියන 50ක් වෙන්විය.
කොටස් ගනුදෙනු බද්ද, ඉදිකිරීම් කර්මාන්ත ඇපකර බද්ද, සුඛෝපභෝභී හා අර්ථ සුඛෝපභෝගී මෝටර් වාහන බද්ද, සංචාරක සංවර්ධන බද්ධ ඉවත්කෙරේ.
උපයන විට බදු නොගෙවන සීමාව රුපියල් මිලියන 2.4ක් දක්වා වැඩි කළ අතර, ඊට වැඩි සියලු ආදායම් සඳහා 15%ක එකමබදු අනුපාතයක් අය කෙරේ.
තවද දුම්කොළ මද්‍යසාර සහ කැසිනෝ බද්ද මගින් දුම්කොළ මද්‍යසාර සහ කැසිනෝ සමාගම්වල ආදයම් බද්දෙන් 25% ක අධිබදු පැනවීමට තීරණය කර ඇති අතර, තොග සහ සිල්ලර වෙළෙඳාම මෙවර වැට් බද්දෙන් නිදහස්කර තිබේ.වැට් බද්ද ගෙවීම සඳහා වන අවම සීමාව වාර්ෂිකව රුපියල් මිලියන 12ක් දක්වා වැඩි කිරිමටත්, කැසිනෝ පිවිසුම් බද්ද ඉවත් කිරීමටත්,ඔට්ටු හා සූදු සඳහා පනවනු ලැබූ වාර්ෂික බද්ද රුපියල් මිලියන 400 දක්වා වැඩි කිරීමටත් යෝජනා කර තිබේ.
ධාරිතා ඝන සෙන්ටිමීටර් ප්‍රමණය මත පදනම් වූ නිෂ්පාදන බද්දක් හඳුන්වා දීමටත්, සූර්යතාපයෙන්, හයිඩ්රජන් හෝ හීලියම් මගින් ක්‍රියාත්මක වාහන සඳහා නිෂ්පාදන බද්ද 2.5%ක් දක්වා අඩු කිරීමටත් යෝජනා විය.
යතුරුපැදියක් හා ත්‍රිරෝද රථයක් සඳහා වාහන හිමිකම් ගාස්තුව රුපියල් 2000ක් ලෙසද, මෝටර් රථ සඳහා එම ගාස්තුව 15,000ක් ලෙස හා අනෙකුත් වාහන සඳහා එම ගාස්තුව 10,000ක් ලෙසද සංශෝධනය කෙරේ.මෝටර් රථයක් සඳහා දුම් පරීක්ෂණ බලපත්‍ර ගාස්තුව 5000ක් කර තිබේ.රටතුළ එකලස් කරන සහ වාහන ලියාපදිංචි කිරීමේදී වෙළෙඳ වාහනයක් සඳහා රුපියල් 750,000ක්ද, මෝටර් රථයක් සඳහා රුපයල් 100,000ක්ද අය කිරීමටත් සුපිරි වාහන අංක තහඩු ක්‍රමයක් හඳුන්වාදීමටත් නියමිතය.මන්ත්‍රීවරුන්ට සහ රජයේ නිලධාරීන්ට ලබාදෙන සහනදායී වාහන බලපත්‍ර ක්‍රමය අහෝසි කර තිබේ. මන්දිර බද්ද ඉවත්කර තිබේ.
ස්කාගාරයක් සඳහා වාර්ෂික මත්පැන් නිපදවීමේ ගාස්තුව රුපියල් මිලියන 150ක් කර තිබෙන අතර, මත්පැන් නිෂ්පාදකයෙකුගෙන් රුපියල් මිලියන 150 ක මුදලක් වාර්ෂික අවසර පත්‍ර ගාස්තුව ලෙස අයකිරීමටද නියමිතය.මද්‍යසාර නිෂ්පාදන කරන හා ස්කාගාරද අයිති ආයතනවලින් වාර්ෂිකව රුපියල් මිලියන 250ක් හා මද්‍යසාර පමණක් නිෂ්පාදන කරන ආයතනවලින් මාසිකව රුපියල් මිලියන 50ක සුරාබද්දක් අයකිරීමටත් නියමිතය. මත්පැන් මිල වැඩි කිරීමට අනුරූපීව එතනෝල් මත පැනවෙන බදු වැඩි කිරීමටත් නියමිතය. බීඩි නිෂ්පාදකයන්ගේ බලපත්‍ර ගාස්තුව රුපියල් 1500 සිට 5000 දක්වා වැඩි කර තිබේ.
ගුවන්ගත වීමේ හා නැව් නැගීමේ ගාස්තුව ඩොලර් 25 සිට ඩොලර් 30 දක්වා වැඩිකර ඇත. ගුවන් ගමන් බලපත්‍ර එක්දින සේවාවේ ගාස්තුව රුපියල් 7500 සිට 10,000 දක්වා වැඩි කර තිබේ.ද්විත්ව පුරවැසි ගාස්තුව රුපියල් 30,000 දක්වා වැඩි කර ඇති අතර අයදුම්පත්‍ර ගාස්තුව ඩොලර් 20බවට පත්කර තිබේ.
පිටරටක සිට ලැබෙන ඇමතුම් සඳහා මිනිත්තුවකට අයකළ ඩොලර් ශත 9 ගාස්තුව ඩොලර් ශත 3 දක්වා අඩු කිරීමට කටයුතු කර තිබේ.
රුපියල් මිලියන 25කටවැඩි වාර්ෂික ආදායම් බදු ගෙවන්නන්ට විශේෂ පහසුකම් ලබාදීමට නියමිත අතර අනුව ඔවුන්ට ගුවන්තොටුපොළේ VIP පහසුකම්, රජයේ ආයතනවලදී ප්‍රමුඛතාව, රජයේ උත්සව සඳහා ආරාධනය, ජනපති හා අගමැති අතර හමුවක් ලබාදීමටද නියමිතය.
උළු කර්මාන්තය වසර තුනක් දක්වා ආදායම් බද්දෙන් නිදහස්ය.
මාර්ග අනතුරකදී පොදු දේපළට සිදුවන හානියට අමතරව රුපියල් 10,000ක වන්දියක් ගෙවිය යුතුය.
ඒ අනුව මුදල් අමාත්‍යවරයා ඉදිරිපත් කළ අයවැය යෝජනාවට අනුව 2016 වර්ෂය සඳහා රජයේ මුළු ආදායම සහ ප්‍රදාන රුපියල් බිලියන 2047 කි. මුළු වියදම රුපියල් බිලියන 2787 කි. ඒ අනුව අයවැය හිඟය දල දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 5.9%කි.
බඩුමිල අඩුවීමේ ආස්වාදය මාස 2 කයි
මේකත් කොත්තමල්ලි අයවැයක් - මහින්ද
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd