ශ්රී ලංකාවේ වයස්ගතම ආදිවාසියා වූ හේනානිගල විසූ තලාවරිගේ කළුඅප්පු (114) ගේ අවසන් කටයුතු බෞද්ධ ආගමික වතාවත් සහ ආදිවාසී සිරිත් විරිත් අනුව අද (04දා) හෙන්නානිගලදී සිදුවිය.
කළුඅප්පු භාවිත කළ කෙටේරිය සහ දුන්න ඔහුගේ පුත් තලාවරිගේ සුදුබණ්ඩියා වෙත පිරිනැමීම දේහය මිහිදන් කිරීමෙන් පසු එම ස්ථානයේදී සිදුවූයේ ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලාඇත්තන්ගේ අතිනි. දුන්න සහ කෙටේරිය පිරිනමමින් සුදුබණ්ඩියා හේනානිගල උපනායකයා ලෙස පත්කළ බවද ආදිවාසී නායකයා පැවසීය.
දැනට හේනානිගල වැදි නායකයා (ප්රාදේශීය) වන තලාවරිගේ ගුණබණ්ඩියාට අවනතව හා ආදිවාසී රැහේ අයට හිතවත්ව එම සංස්කෘතිය රැකීමට පොරොන්දු විය යුතු බව ආදිවාසී නායකයා සුදුබණ්ඩියාට දැනුම් දුන් අතර, සුදුබණ්ඩියා තම සුරත ආදිවාසි නායකයාගේ අත මත තබා එසේ කිරීමට පොරොන්දු විය.