අභාවප්‍රාප්ත දකුණු අප්‍රිකාවේ හිටපු ජනාධිපති නෙල්සන් මැන්ඩෙලාට අවසන් ගෞරව දැක්වීම සඳහා ලොව පුරා රාජ්‍ය නායකයෝ 60කට අධික පිරිසක් පැමිණෙන බවට මේ වනවිටත් දැනුම්දී ඇතැයි එරට රජය පවසයි. ඉහළම රාජ්‍ය ගෞරව සහිතව මැන්ඩෙලාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන 15 වැනි ඉරිදා සිදු කිරීමට නියමිතය.
මේ අතර අද දිනයේදී සොවේතෝ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත අනුස්මරණ උත්සවය සඳහා ඇමෙරිකානු ජනාධිපති බරුක් ඔබාමා සහ ඔහුගේ බිරිඳත්, ප්‍රංශ ජනාධිපති ප්රංශුවා හොලන්ඩේ සහ බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන්ද සහභාගි වන බව සඳහන්ය. මීට අමතරව එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී මුන්, ජර්මානු ජනාධිපති ජෝචිම් ගයුක්, යුරෝපා කොමිසමේ සභාපති ජොසේ මැනුවෙල්, නෙදර්ලන්ත රජු සහ ස්පාඤ්ඤයේ ඔටුන්න හිමි කුමරාද ඉදිරි දින කීපයේදී දකුණු අප්‍රිකාවට පැමිණෙන රාජ්‍ය නායක පිරිසට අයත්ය.
එසේම මැන්ඩෙලා ලෝකයේ කතාබහට ලක්වූ චරිතයක්ව සිටි අවධියේදී ඇමෙරිකාව පාලනය කළ හිටපු ජනාධිපතිවරැන් වන ජෝර්ජ් ඩබ්ලිව් බුෂ්, බිල් ක්ලින්ටන් සහ ජිමී කාටර්ද අවමංගල්‍ය සඳහා සහභාගි වන බව දන්වා එවා ඇතැයි සඳහන්ය. මේ අතරම ඉන්දියානු ජනාධිපති ප්රනාබ් මුඛර්ජි, බ්‍රසීල ජනාධිපතිනී ඩිල්මා රොයුසෙෆ් සහ පලස්තීන ජනාධිපති මොහොමඩ් අබ්බාස් ද මේ සඳහා සහභාගි වන බව ප්‍රකාශ කර ඇත.
කෙසේ වෙතත් ඉරාන ජනාධිපති හස්සන් රොයුහානි තම සහභාගිත්වය ගැන අවසන් නිවේදනයක් නිකුත් කර නැත. දේහය මිහිදන් කෙරෙන ඉරිදා දිනයේදී කටයුතු සඳහා බ්‍රිතාන්‍යයේ විලියම් කුමරු සහභාගිවීමට නියමිතව තිබේ. එසේම වර්ණභේදවාදයට විරුද්ධව මැන්ඩෙලා සමගින් කටයුතු කළ කලාකරුවන් පිරිසක්ද අවමංගල්‍ය සඳහා සහභාගිවිමට නියමිතය. මැන්ඩෙලාට අවසන් ගෞරව දැක්වීම සඳහා ගෙවුනු දින කීපය තුළදී මිලියන ගණන් පිරිසක් පැමිණ තිබෙන බවත් එරට මාධ්‍ය පවසයි.