බලන්ගොඩ, පහළ වලේබොඩ ප්‍රදේශයේ රක්ෂිතයක වන ලැහැබක සැඟව තිබූ මෙතෙක් දේශීය විදේශීය සංචාරකයන්ගේ ඇස නොගැටුණු අඩි සියයක් පමණ උසින් යුත් දිය ඇල්ලක් සොයාගත් බව ප්‍රදේශවාසීහු පවසති.
සමනල රක්ෂිතයෙන් පෝෂණය වී පහළට ගලා බසින බුදුගේ ඔයේ ගල් පොත්තකින් නිර්මාණය වී ඇති මෙම දිය ඇල්ල පහළ ඇති කළු ගල්වලින් නිර්මාණය වුණු අපූරු ජල තටාකය මතට ඇද වැටේ.
මෙම දිය ඇල්ල සොයාගත් ප්‍රදේශවාසීහු කිහිපදෙනෙක් මෙලෙස අදහස් දැක්වූහ.
ඉමුලපේ ප්‍රාදේශීය සභාවේ හිටපු උපසභාපති එස්.ඒ. රත්නපාල වලේබොඩ මහතා,
"මෙම දිය ඇල්ල උතුරු වලේබොඩ හා කට්ටඩිකන්ද ග්‍රාම සේවා වසම් දෙකට අයත් පහළ වලේබොඩ ප්‍රදේශයේ බුදුගේ ඔයෙන් නිර්මාණය වී තිබෙනවා. දිය ඇල්ල මෙතෙක් දේශීය හෝ විදේශීය සංචාරකයන්ගේ ආකර්ෂණයට ලක්ව නැහැ. මේක අපි අලුතෙන් සොයාගත් දිය ඇල්ලක්. මේ දිය ඇල්ල බුදුගේ ඔයෙන් ගලා බසින නිසා අපි 'බුදුඔය ඇල්ල' ලෙස නමක් යෝජනා කරනවා. මෙම දිය ඇල්ල ඇති ස්ථානය සඳහා මාර්ගයක් ඉදිකර සංචාරකයන්ට දිය ඇල්ල හා අවට පරිසරය නැරඹීම සඳහා පහසුකම් සලසා දෙන ලෙස සබරගමුව පළාතේ සංචාරක අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටිනවා"
පැණි පංගුව උපතැපැල් ස්ථානාධිපති එස්. ඒ. ජයසේකර මහතා,
"මෙම දිය ඇල්ල අඩි සියයක් පමණ උසින් යුක්තයි. අඩි හැටක් පමණ පළලයි. දිය ඇල්ල පිහිටා තිබෙන ප්‍රදේශයට පහසුවෙන් ගමන් කිරීමට හැකියාවක් තිබෙනවා. සිත්ගන්නා සුලු ආකාරයේ රමණීය දිය ඇල්ලක් කියලා මේ අලුත් දිය ඇල්ල හඳුන්වන්න පුළුවන්. බලන්ගොඩ නගරයේ සිට ගුරුබැව්ල හරහා පහළ වලේබොඩ මාර්ගයේ හෝ බලන්ගොඩ සිට සීතගල හරහා පහළ වලේබොඩ මාර්ගයේ කිලෝමීටර් විස්සක් පමණ ගමන් කළ විට මෙම දිය ඇල්ල නැරඹීමට හැකියාව පවතිනවා"
වලේබොඩ ධර්මදාස මිණින්කුඹුර මහතා,
"ගේත් ගතටත් සිතටත් ප්‍රබෝදයක් ගෙන එන මෙම දිය ඇල්ල වරක් දෙවරක් නොව සිය වරක් නැරඹුවත් අමුතු චමත්කාරයක් ගෙනදෙන්නක්. රත්නපුර දිස්ත්‍රික්කයේ ඇති අනිත් දිය ඇලි බොහොමයක් නරඹන්න තියෙන්නේ දිය ඇල්ලේ ඉහළ ප්‍රදේශයේ සිටයි. ඒත් මේ දිය ඇල්ලේ විශේෂත්වය තමයි මේක ඔනෑම සංචාරකයෙකුට මෙන්ම කුඩා දරුවකුට වුවත් පහසුවෙන් පහළ සිට නැරඹීමේ හැකියාව තිබෙනවා. මෙතැන ඉතා ආරක්ෂිත ස්ථානයක්. මෙම දිය ඇල්ල පහළ ඇති කළුගල්වලින් නිර්මාණය වුණු අපූරු ජල තටාකයකට එකතු වෙනවා."
බලංගොඩ රෝහණ වසන්ත