Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2025 පෙබරවාරි මස 24 වන සඳුදා
2025 පෙබරවාරි මස 24 වන සඳුදා
තොරණ යනු අප මහත් උත්සවශ්‍රීයෙන් සමරන වෙසක් මංගල්‍යයේ අසිරිය තව තවත් දිදුළවන නිර්මාණයක් බව අමුතුවෙන් කිවයුතු නැත. සුපුරුදු ලෙස මෙවර වෙසක් උත්සවය වෙනුවෙන් කොළඹ කේන්ද්‍රකොටගෙන නැඟුණු තොරණ අතරින් වැලිකඩ බන්ධනාගාරය විසින් ඉරිපත් කිරීමට යෙදුණු තොරණ බොහෝ සුවිශේෂී වූයේ එය මෙතෙක් කොළඹ කේන්ද්‍ර‘කොටගෙන නිමැවුණු විශාලතලම තොරණ වීම නිසාවෙනි.
'ස්වර්ණ මයුර' ජාතකය රැගත් මෙම තොරණ මෙවර ඉදිවූයේ නවවන වරට වුවද ඉහත කී විශේෂත්වය නිසාත්, එහි තිබූ අලංකාරත්වය නිසාත් ජනතාවද එය නැරඹීමට දැක්වූයේ මහත් වූ උනන්දුවකි. මේ අපූරු තොරණේ නිර්මාණකරුවන් වූයේ 'සිරකරුවෝ මනුෂ්‍යයෝය' පාඨය ඇතුළත් වැලිකඩ බන්ධනාගාරයේ සිටිනා විශ්වකර්මයන් පිරිසකි. ජීවිතයේ යම් තැනකදී වැරදුණද අද ඔවුන් සමාජයේ සිටින බොහෝ අයට වඩා යහපත් මිනිසුන් බවට පත්වී හමාරය. එසේ ඔවුන්ගේ නිර්මාණශීලීත්වය මතුකරමින් සැබෑ මිනිසෙකු බවට පත්කළ හැක්කේ විධිමත් පුනරුත්ථාපන ක්‍රියාවලියක් තුළිනි.
“බන්ධනාගාරයක දැක්ම වෙන්නේ රැකවරණය, ආරක්ෂාව සහ පුනරුත්ථාපනය කියන කරුණු තුනයි. මේ කරුණු තුන අපි අතින් නිසි ආකාරයෙන් සිදුවුණොත් තමයි ජීවිතේ යම් අවස්ථාවක වැරදිලා දඬුවම් නියමව බන්ධනාගාරයට එන මනුස්සයෙක් ඉන් පිටවෙද්දී යළි බන්ධනාගාරයකට නොඑන පෙර සිටියාට වඩා යහපත් මිනිසෙක් වෙන්නේ.
ඒ කරුණු මෙම බන්ධනාගාරය තුළදී නිසි ලෙස ඉටුකරන නිසයි අපිට හැකිවුණේ මේ නිර්මාණය සිදුකරන්න. මේ තොරණ හදන්න ආරම්භ කරලා, වැඩ නිම කරලා, නැවත තොරණ ගලවා ඉවත් කරන අවස්ථාව වෙනකම්ම මේ කාර්යයේ නියැළී හිටපු රැඳවියන් පිරිස විශාල කැපකිරීමක් එක්ක විශාල වෙහෙසක් දැරුවා. පුදුමාකාර උනන්දුවකිනුයි ඔවුන් මේ කාර්යයේ නියැළී සිටියේ.ඔවුන් කෑමබීම ගැන සිතුවේ නැහැ. හරිහැටි නින්දක් තිබුණේ නැහැ. අවදානම් පවා දරපු අවස්ථා තිබ්බා.
ඉහළ වැඩ කරද්දී අපේ නිලධාරීන් පවා ඒ කැපකිරීම සිදුකළා. මේ තොරණ නිර්මාණය කරන්න අපිට තිබුණේ දින 40ක කාලයක් විතරයි. රැඳවියන් 40ක පමණ පිරිසක් මීට දායක වුණා. මෙහි චිත්‍ර ශිල්පියා අපේ බන්ධනාගාරයේම සිටින රැඳවියෙක්. ඔහු ඉතාමත් දක්ෂ පුද්ගලයෙක්. මෙහි එන්න පෙර ඔහු තොරණවල චිත්‍ර නිර්මාණය කර තිබුණා. තොටළඟ තොරණ නිර්මාණයට ඔහු දායකත්වය ලබා දී තිබුණා.
ඒ වගේම මෙහි විදුලි කාර්මික ශිල්පියා ලෙස කටයුතු කළේ මරණ දඬුවම නියම වෙලා දැනට අභියාචනා ඉදිරිපත් කර සිටින අයෙක්. ඔහු මීට පෙර දක්ෂ විදුලි කාර්මික ශිල්පියෙක් ලෙස කටයුතු කරලා තිබුණා. අනෙක් විශේෂත්වය තමයි මේ තොරණ සෑදීම ආරම්භයේ සිට අවසානය දක්වා සෑම කටයුත්තක්ම සිදුකළේ බොහොම ආගමානුකූලව සහ නැකැත් චාරිත්‍ර නිසි ලෙස ඉටුකිරීමෙන් අනතුරුවයි. චිත්‍ර ඇඳීම සිදුකළේ පිරිත් දෙසුම් මැද්දේ. මේ සියලු නැකැත් සෑදීම සහ කතාව තෝරා ගැනීම සිදුකළේ බන්ධනාගාරගතව සිටින පාරම්පරික නැටුම් ශිල්පියෙක් වුණු ගුරුන්නාන්සේ කෙනෙක්.
මේ කාර්යයට පුවක් කොට 140කට වැඩි ප්‍රමාණයක්, චිත්‍ර පුවරු 100කට වැඩි ප්‍රමාණයක්, විදුලි බල්බ 15000ක්, හෝල්ඩර 15000ක් යොදා ගත්තා. පුවක් කොට අපිට නොමිලේ ලැබුණා බන්ධනාගාර නිලධාරීන්ගේ පරිත්‍යාග විදියට. බෞද්ධ සංගමයේ සහ මගේ පෞද්ගලික හිතවතුන්ගේ ආධාර පවා මීට ලැබුණා"
"අපි මේ වෙද්දී මේ බන්ධනාගාරයේ විවිධ අංශයන්ගෙන් දක්ෂතා තිබෙන රැඳවියන් හඳුනාගෙන සිටිනවා. සතුටුදායකම කාරණය තමයි මේ වෙද්දි අපේ බන්ධනාගාරයේ රැඳවියන්ගෙන් 99%ක ප්‍රමාණයක් පුනරුත්ථාපන ක්‍රියාවලියට අනුගත වෙලයි ඉන්නේ. ඒ නිසා මෙවැනි කටයුතු කරන්න අපිට ගොඩක් පහසුයි.
තොරණ සම්බන්ධ කාර්යයේදී මේ රැඳවියන් අතර පුදුමාකාර විනයක්, කැපවීමක් දකින්නට ලැබුණා. ඔවුන්ට තිබුණ නිදහස් පරිසරය තුළ ඔවුන්ට හැකියාව තිබුණා පැනයන්න පවා. නමුත් එහෙම දෙයක් තබා සුළු විනය විරෝධී ක්‍රියාවක් වත් ඔවුන් අතින් සිදුවුණේ නැහැ. මම දැක්කා එක් රැඳවියෙක් පැය 3-4ක කාලයක් තුළ විසි පාරක් විතර කටුතොරණට වරින් වර නැගලා අඩුපාඩු සකස් කළා. කෑමබීම ගැනවත් නොසිතා ඔවුන් වැඩකළේ. ඒ හැම කෙනෙක් තුළම තිබුණේ මේ තොරණ හොඳම තොරණ බවට පත්කිරීමේ අරමුණ විතරයි. වැලිකඩ බන්ධනාගාරය තුළ තිබෙන සාර්ථක පුනරුත්ථාපන යාන්ත්‍රණය තමයි මේ සෑමදෙයක්ම පසුපස තිබෙන්නේ"
“මේ තොරණේ කටයුතු සිදුකරන්න අපිට තිබුණේ දින 40ක් වගේ සුළු කාලයක්. අපේ අධිකාරීතුමා මේ ගැන මාව දැනුවත් කළාම මටත් ඒක අලුත් අභියෝගයක් වුණා. නමුත් ඒ අභියෝගයට බය වෙන්න අවශ්‍ය වුණේ නැහැ මට. මොකද මා සමග හොඳ කණ්ඩායමක් සිටිය නිසා. අප බන්ධනාගාරයේ නැටුම් කණ්ඩායම, බාලදක්ෂ කණ්ඩායම සහ මරණ දඬුවම නියමවූවන් තිදෙනෙක් ඇතුළත් මේ පිරිස තමයි මේ කාර්යයට එක් වුණේ. අපේ අධිකාරීතුමා පියෙක් වගේ නිවැරදි නායකත්වයක් සමග අප පසුපස සිටිය නිසා ඒක අපිට ලොකු ශක්තියක් වුණා.
මේ පිරිස අතර පැය 48ක් පුරාම තොරණ උඩ හිටිය පිරිස් හිටියා. අධිකාරීතුමා සෑමවිටම මේ පිරිසේ ආරක්ෂාව සොයා බලලා ආරක්ෂිත බඳපටි පවා ගෙනත් දුන්නා. මේ කාර්යයේ නියුතු පිරිසට සුළු සීරීම් තුවාලයක් වත් වුණේ නැහැ. විනය පවා උපරිම මට්ටමේ තිබුණා. අපිට අවශ්‍ය වුණා මෙවර ලොකු වෙනසක් කරන්න. ඒ නිසයි මේ දරුවෝ එක්ක එකතු වෙලා කොළඹ උසම තොරණ හදන්න තීරණය කළේ. ඒ අනුව මාර්තු මාසේ 09 වැනිදා වැඩ අරඹපු මේ තොරණේ උස අඩි 71.5ක් වුණා.
ලොකුම අභියෝගය වුණේ මෙය නිර්මාණය කරන්න සිදුවුණේ තැනිතලා පොළවක නොවීම. මුලින්ම අපිට ලැබුණේ විදුලි බුබුළු පාට දෙකකින් විතරයි. අපි ඒ විදුලි බුබුළු තිනර් යොදලා, වර්ණ ඉවත් කරලා අලුතින් වර්ණ ගැන්වූවා. මේ වගේ අභියෝග රාශියක් ජයගෙන තමයි මේ කාර්යය අපි සිද්ධ කළේ"
මෙතැන් සිට දිගහැරෙන්නේ මෙම නිර්මාණය පිටුපස සිටින විශ්වකර්මයන් පිරිසගේ කතාවයි.
“මේ තොරණේ වැඩකටයුතු සිද්ධ කරන්න අවශ්‍ය සියලු නැකැත් නිර්මාණය කළේ මම. තොරණ ශාස්ත්‍ර‘යේදී තොරණක රඳා පැවැත්ම තීරණය වෙන්නේ නැකැත් සහ චාරිත්‍රයන් මත. ඒ දේවල් නිසි විධියට සිදුකරපු නිසයි රටේ අනිත් තොරණ සියල්ලම වගේ ආපදාවන්ට ලක්වෙද්දී අපේ තොරණට කිසිම හානියක් නොවුණේ. අඩුම තරමේ අපේ පිරිසෙන් කිසිම කෙනෙකුට සීරීම් තුවාලයක් වත් වුණේ නැහැ. මට වයස 66ක් වෙනවා. ඒ වයසත් එක්ක ශ්‍රමයෙන් කරන්න පුළුවන් දේවල් ටිකයි තිබුණේ. ඒත් මං මේ හැම කෙනාවම දිරිමත් කරමින් කාර්යය සාර්ථක කරගන්න උරදුන්නා.
මෙහෙ නැටුම් කණ්ඩාම පුරුදු පුහුණු කිරීමේ කටයුතු කරන්නේ මම. හොඳම සිරකරු විදියට මම ලංකාවෙන්ම තුන්වරක් තේරුණා. ජනාධිපති සම්මාන දෙවරක් දිනාගෙන තියෙනවා. සෑම පොදු කටයුත්තකදීම මූලිකත්වය අරගෙන ක්‍රියා කරනවා. දැනට නව වතාවක් නිවාස නිවාඩු ගිහින් තියෙනවා. මේ අවස්ථාවන් අපිට බන්ධනාගාරය ලබාදීල තියෙන්නේ අපි පුනරුත්ථාපනයට හොඳින් අනුගත වුණ නිසයි"
“ජානක මහත්තයා තමයි මට කිව්වේ අලුතෙන් හදන තොරණට හොඳ සැලැස්මක් හදන්න කියලා. ඒ අනුව මම දවස් එකහමාරක් ඇතුළත පොඩි කාඩ්බෝඩ් එකක සැලසුම ඇන්දා. පිටුපසට දාගැබක හැඩයකුත්, ඉදිරියෙන් නෙළුම්මලක් උඩ වැඩ ඉන්න බුදුන්වහන්සේගේ රුවත් සහ අපේ බන්ධනාගාරයේ බල දක්ෂ කණ්ඩායමේ ලාංඡනය මධ්‍යයට තිබෙන ආකාරයේ සැලසුමකුයි මම නිර්මාණය කළේ. සැකිල්ල නිර්මාණය කරද්දී ඒ කටයුතුත් සිදුකරන්න දායක වුණා"
"බන්ධනාගාරයේ මම ඇන්ද පළමු තොරණ තමයි මේක. මගේ උපන් ගමත් තොටලඟ ප්‍ර‘දේශය. මගේ අයියාත් චිත්‍ර ශිල්පියෙක්. පුංචි කාලේ ඉඳලම අයියා තොරණවල චිත්‍ර අඳින්න එක්ක ගියා. මේ හැකියාව උපතින්ම පිහිටපු දෙයක් කියලයි මම හිතන්නේ. තොරණ මැද්දෙන් ඇඳපු අඩි 19ක හිටි බුදුරුව තමයි මම මුලින්ම ඇන්දේ. එය ඇන්දේ නැකතට පිරිත් දෙසුම් මැද්දේ. චිත්‍ර කොටස් 13ක් තිබුණා. තොරණවල චිත්‍ර ඇඳීම වෙනම කලාවක්. මේ අඳින සෑම කොටසකින්ම තොරණේ තේමාව පැහැදිලි වෙන විදියටයි නිර්මාණය කරන්න ඕන. කොහොම වුණත් අභියෝග ගොඩක් මැද අපිට පුළුවන් වුණා දවස් 8ක් ඇතුළත චිත්රවල වැඩ අවසන් කරන්න"
“මම වෘත්තියෙන් ගොඩනැගිලි ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවෙක්. මීට පෙරත් තොරණ 10ක විතර විදුලි කාර්මික වැඩ කළා. මම මෙහෙට ආපු කාලෙ ඉඳලා කළේ මගේ පාඩුවේ ගෙදර ගැන හිත හිත හිටපු එක. ඒත් දවසක් මම ගැන දැනගෙන ජානක මහත්තයා ඇවිල්ලා දරුවෝ මෙහෙම වැඩක් තියෙනවා, කරමුද කියලා ඇහුවා. මං බොහොම කැමැත්තෙන් මේකට සම්බන්ධ වුණා. කලින් අත්දැකීම් එක්ක පළපුරුද්ද තිබුණ නිසා බයක් දැනුණේ නැහැ. තොරණේ වැඩ ඉවර කරලා මුලින්ම ලයිට් දැම්මට පස්සේ පුදුම සතුටක් හිතට දැනුණා"
සැබැවින්ම මේ මිනිසුන්ට අවශ්‍ය වන්නේ අනුකම්පාව නොවේ. ඔවුන්ට අවැසිව ඇත්තේ මුළු මහත් සමාජයේම ආදරය පමණක් වුවද අවාසනාවකට සමාජයේ මුල් බැසගත් දුර්මතයන් නිසා ඔවුන්ට නොලැබෙන්නේද ආදරයයි.
ඔවුන්ට හිරුඑළිය ලබා නොදෙමින්, හුස්ම ගැනීමට වාතය නොදෙමින්, පය ගසාගෙන සිටින්නට පොළොවේ ඉඩ නොදෙමින් සොබාදහම ඔවුන්ව කොන්කොට නැත. එබැවින් ඔවුන් කොන් කිරීමට කිසිදු අයිතියක් නොමැති බව කිවයුතුය. ඒ අපේම මිනිසුන්ය. මේ තොරණේ කටයුතු සඳහා දායක වූ සියලුදෙනාටම දළදා වහන්සේ වැඳපුදා ගැනීමට වැලිකඩ බන්ධනාගාරය මේ වන විට අවස්ථාව සලසා දී තිබෙන අතරම, වැලිකඩ බන්ධනාගාරයේ පුනරුත්ථාපන ක්‍රියාවලිය මෙලෙස සාර්ථකව ක්‍රියාත්මක වීම අවසාන වශයෙන් පැසසිය යුතුය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd