පාසල් අසල හා නීතිවිරෝධී ආකාරයෙන් පවත්වාගෙන යන සියලුම සුරාසැල් වෙසක් මාසයට පෙර වසා දැමීමට කටයුතු කරන බවත්, මින් ඉදිරියට අලුතින් කිසිම සුරාසැලක් සඳහා අවසර ලබා නොදීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති බවත් පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ පැවසූහ.
උන්වහන්සේ මේ බව පැවසූවේ ඊයේ (02දා) අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ පැවැති මධ්‍ය හමුවකදීය.
මෙහිදී කුඩුජාවාරම් පිළිබඳවද අදහස් දැක්වූ රතන හිමියෝ පැවසූවේ, බන්ධනාගාර ගත්වූවන්ගෙන් 65% ක් පමණ මත්ද්‍රව්‍ය සම්බන්ධ කටයුතු සඳහා බන්ධනාගාර ගතවූවන් බවත්, බන්ධනාගාරයෙන් පිටතට වඩා ඇතුළත කුඩු තිබෙනව බවත්ය.
වැඩිදුරටත් අදහස් දැක්වූ රතන හිමියෝ මෙසේ පැවසූහ.
“මැගසින් බන්ධනාගාරයේ සිරකරුවන් අතර විශාල වශයෙන් ජංගම දුරකථන භාවිත වෙනවා. ඔවුන් තමයි කුඩු ජාවාරම් මෙහෙය වන්නේ. ඇතුළට ජංගම දුරකථන ලැබෙන්නෙ කොහොමද කියලත් අපි හොයාගත්තා. ඒකට අපි ප්‍රතිකර්මයක් යෝජනා කරලත් තියෙනවා. ඒවා ක්‍රියාවට නංවනවා. ඒ වගේම සිරගෙවල් තුළ පිටතට වඩා කුඩු තියෙනවා. මේ පිළිබඳවත් අපි තවත් විකල්පය යෝජනා කර තිබෙනවා.
නීත්‍යනුකූල මත්පැන් සම්බන්ධයෙන් අධිකාරියේ පනතක් තිබෙනවා. නීත්‍යනුකූල බාර් අලුතින් ඇති නොකිරීමට ජනාධිපතිතුමා තීරණය කර තිබෙනවා.
පාසල් අසල තිබෙන බාර් සහ පනතට අනුව නීතිවිරෝධී බාර් සියල්ල ඉදිරි වෙසක් මාසයට ප්‍රථම වසාදමන්න අපි කටයුතු කරනවා.
ඒ වගේම දේශපාලඥයන්ට සහ ඔවුන්ගේ සහචරයන්ට තිබෙන බාර් ගණන සංගණනය කරලා ඒ පිළිබඳවද විධිමත් පරීක්ෂණයක් කරන්න කියා ඉල්ලා තිබෙනවා.
බාර් ඇමතිවරුන්ට ඉදිරියේදී නාමයෝජනා නොදෙන ලෙසද අපි ප්‍රධාන පක්ෂවලින් ඉල්ලා සිටිනවා" යැයිද සඳහන් කළහ.
මෙම අවස්ථාවට අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සභාපති වෛද්‍ය නිලංග සමරසිංහ මහතා ඇතුළු පිරිසක් එක්වූහ.
ඡායාරූප - ඉසුරු පෙරේරා