අපේ රටේ එදා සිට අද දක්වා ඇති දේශපාලනික මෙන්ම සංවර්ධන වැඩපිළිවෙළවල් පුදුමාකාරය. මේ පුදුමාකාර බව නිසාම ලංකාව එදා සිට අද දක්වාම සංවර්ධනය වෙමින් පවතින රටකි. එයට එක් හේතුවක් වනුයේ කාලයෙන් කාලයට බලයට පැමිණෙන්නන්ගේ පදනමක් නැති සංවර්ධන සැලැස්මවල්ය. සැබවින්ම අපි වෙනස් ජාතියකි. මන්ද රටේ සම්පත් පිටරටට බදුදී කිසිදා සැබෑ නොවෙනා සංවර්ධනයක් ගැන අපි හීන දකින්නෙමු. මේ සම්බන්ධව පක්ෂ විපක්ෂ වශයෙන් ඇත්තේද පුදුමාකාර මතයන්ය. ඒ නිසාම ඒ සම්බන්ධව පක්ෂ විපක්ෂ වශයෙන් අදහස් දැන ගැනීමට 'අද' අප තීරණය කළෙමු.
නැව් එන්නෙ නෑ කියලා ආණ්ඩුව චෝදනා කළ, ගලක් තියනවාය කියන, පිහිනුම් තටාකයක් කියන හම්බන්තොට වරාය ඩොලර් බිලියන 1.1ක් දීලා අපෙන් මිලදී ගන්න චීනා තවමත් කොණ්ඩෙ බඳිනවාද?
උදය ගම්මන්පිල
පසුගිය ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ප්‍රතිපත්ති ප්‍රකාශයේ පොරොන්දු වුණා උපායමාර්ගික වශයෙන් වැදගත් ජාතික සම්පත් විකුණන්නෙ නෑ කියලා. නමුත් අද ඒ පොරොන්දුව අමු අමුවේ උල්ලංඝනය කරමින් ජාතික සම්පත් විකිණීම ආණ්ඩුවේ එකම ආදායම් මාර්ගය බවට පත් කරගෙන තිබෙනවා. මේ වනවිට ශ්‍රී ලංකාව සතු වැදගත් සම්පතක් වන හම්බන්තොට වරාය තුට්ටු දෙකට චීනයට විකුණලා හමාරයි. ඇත්තෙන්ම එතන 'චයිනා හාබර්' හා 'චයිනා මර්චන්ට්' කියන සමාගම් දෙක ඉදිරිපත් කරපු යෝජනා දෙක අධ්‍යයනය කරපු වරාය අධිකාරියේ හිටපු උප සභාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් පංච පුද්ගල කමිටුව, 'චයිනා හාබර්' සමාගමේ යෝජනාව චයිනා 'මර්චන්ට්' සමාගමේ යෝජනාවට වඩා අපට වාසිදායකයි කියා තීරණය කළා. ඇත්තෙන්ම එය ඩොලර් බිලියන එකකින් වැඩියි. නමුත් එවන් පසුබිමක් තිබියදීත් 'චයිනා මර්චන්ට්' සමාගමට මෙය තුට්ටු දෙකට විකුණුවා. ඒ විතරක් නොවේ, ඒ විකිණීම ඇතුළෙ අන්ත දූෂිත ගනුදෙනුවකුත් වෙලා තිබෙනවා. නැතිනම් ඩොලර් බිලියනයක් වැඩියෙන් දුන්න සමාගම නොසලකා ඩොලර් බිලියනයක් අඩුවෙන් දුන්න සමාගමට මේ දේ ලබාදෙන්නෙ නැහැ.
අනිත් පැත්තෙන් තව වසර නවයකින් තායිලන්තය හරහා ඉදිවෙන ට්රා ඇළ ඉදිවීමට නියමිතයි. සිංගප්පූරුව හරහා යන නැව් වලින් 95%ක් ගමන් කරන්නෙ ට්රා ඇළ හරහායි. එදාට සිංගප්පූරු වරාය පාළු වරායක් බවට පත්වෙනවා. නව සේද මුහුදු මාවතේ සන්ධිස්ථානය බවට පත්වන්නේ හම්බන්තොට වරායයි. නැව් එන්නෙ නෑ කියලා ආණ්ඩුව චෝදනා කළ, ගලක් තියනවාය කියන, පිහිනුම් තටාකයක් කියන හම්බන්තොට වරාය ඩොලර් බිලියන 1.1ක් දීලා අපෙන් මිලදී ගන්න චීනා තවමත් කොණ්ඩෙ බඳිනවාද? චීනා දන්නවා අනාගත ලෝකයේ වැඩිම ආදයම් ලබන වරාය හම්බන්තොට වරාය බව. ඒ නිසා අපේ රටට සංවර්ධිත රටක් වීමට තිබූ ස්වර්ණමය අවස්ථාව මේ හරහා ඉවත් කරගෙන තිබෙනවා.
ඒ වගේම මේ දෙයින් නතර වෙන්නෙ නැහැ. දැනට තිබෙන අධිවේගී මාර්ග තුනම චීනයේ ෂැංහොන් සමාගමට මිලියන 600කට විකුණන්න බලාපොරොත්තු වෙනවා. මත්තල ගුවන්තොටුපොළත්, ත්‍රිකුණාමල වරායත් ඉන්දියාවට විකුණන්න බලාපොරොත්තු වෙනවා. ඇමරිකාවට කොළඹ වරයේ ජැටියක් විකිණීමට බලාපොරොත්තු වෙනවා. මේ සියල්ල විකුණාගෙන ගියාට පස්සේ ඊළඟ පරම්පරාවට මොනවාද ඉතුරු වෙන්නේ? අන්තිමට මේ රටේ ඉතිරි වෙන්නෙ මහා ණය කන්දත්, ජනතාවත් විතරයි. එදාට අනාගත ආණ්ඩුවකට මේ රටේ ජනතාව ණයට හිලව් වෙන්න විකුණන්න සිදුවේවි. අපිට මතකයි අප්‍රිකානු ගෝත්‍රික නායකයෝ සාමාන්‍ය ජනතාව ඇමරිකාවට වහල් සේවයට විකුණලා ආදායම් මාර්ගයක් බවට පත්කර ගත්තා.
මේ මහා විකිණීම තවදුරටත් කරගෙන ගියොත් අනාගත ආණ්ඩුවලට එකම ආදායම බවට මේ රටේ ජනතාව වහල් සේවයට විකිණීම පමණක් ඉතිරි වේවි. අවුරුදු 5කට බලයට පැමිණි ආණ්ඩුවකට උපායමාර්ගික වශයෙන් වැදගත් දේපළ අවුරුදු 99කට, අවුරුදු 55කට බදු දෙන්න සදාචාරාත්මක අයිතියක් නැහැ. ඒ අයගේ ජනවරම අවුරුදු 5යි. ඒ නිසා තමන්ගේ ජනවරම ඉක්මවා යමින් උපායමාර්ගික දේපළ සම්බන්ධයෙන් තීන්දු නොගත යුතුයි කියා වගන්තියක් ව්‍යවස්ථාවට එකතු කළ යුතු යැයි අපි විශ්වාස කරනවා.
බදු දෙන එක අද ලෝකයේ බොහොම ප්‍රචලිත මුදල් උපයන ක්‍රමයක්? ඒ නිසා මම එහි වරදක් දකින්නෙ නැහැ
රංජන් රාමනායක
රටක සම්පත් විකිණීම සහ බදු දීම අද වනවිට ලෝකයේ බොහෝ දියුණු රටවල පවා කරන ක්‍රමවේදයක්. ඔස්ට්‍රේලියාවේ වරායකුත් චීන සමාගමකට බදු දීලා තිබෙනවා. ඒ වගේම මාගම්පුර වරාය නඩත්තු කරන්නම මිලියන ගණනක් යනවා. එතකොට අපිට මේ දේට තව ණය ගන්න සිදුවෙනවා. භූමිය සහ භූමියේ තිබෙන වටිනාකම කවදාවත් නැතිව යන්නෙ නැහැ. අපි කියන්නේ ඒ දේට මිලියන ගාණක් වියදම් කරලා කරන්න ගියොත් අපි ට්‍රිලියනයක් ණය නම් තව ට්‍රිලියන දෙකක් ණය වෙයි. බදු දීමෙන් කරලා තිබෙන්නේ සුදුඅලියෙක් සල්ලි උපයන, සල්ලි හදන මැෂිමක් බවට පත්කිරීම පමණයි.
කොමියුනිස්ට් රටවල් පවා මේ දේවල් කරලා තිබෙනවා. හොඳම උදාහරණය තමයි මත්තල ගුවන්තොටුපොළේ මාසික අදායම රුපියල් දාසයදාහයි. ඉතිං ඒ වගේ සුදුඅලි නඩත්තු කරන ව්‍යාපෘති ගණනාවක්, කොමිස් මුදල්වලට දේශපාලඥයෝ කරපු දේවල් බොහොමයක් තිබෙනවා. රාජපක්ෂ රජය චීන ජනාධිපතිවරයා චීන භාෂාවෙන් ජාතික ගීය කියලා, චීන භාෂාවෙන් රට අමතලා සින්නක්කර ගන්න ගිය එක තමයි අපි බොහොම අමාරුවෙන් ඒ ගිවිසුම් වෙනස් කරලා බදු ක්‍රමයකට ගෙන ආවේ.
බදු ක්‍රමයට ගෙනාවම ලංකාවෙ ඉදිරි පරම්පරාවට ඒ දේවල් හිමි වෙනවා. ෂැංග්‍රිලා එකට යුද හමුදාවේ ආයුධ ගබඩාව තිබූ තැන දුන්නෙ සින්නක්කර. ඒ දේවල් කළේ රාජපක්ෂ රෙජිමය. නමුත් අපි කරන්නේ බදු දෙන එක. මේ බදු දෙන එක අද ලෝකයේ බොහොම ප්‍රචලිත මුදල් උපයන ක්‍රමයක්. ඒ නිසා මම එහි වරදක් දකින්නෙ නැහැ.
බොරු දේශප්‍රේමීන් මව්බිම මව්බිම කියා පපුවට ගසා ගනිමින් ඡන්ද ගන්න මේ දේවල් සම්බන්ධව බොරුවට ජනතාව උසි ගන්නනවා. නමුත් ඒ අය තමයි අද කෝටි නවලක්ෂයක් වියදම් කරමින් තමුන්ගේ නම් ගහගෙන මේ දේවල් කළේ. තමුන්ගේ නම් වලින්ම ගුවන්තොටුෙපාළවල් හදලා ජනතාවගේ මුදල් විනාශ කළා. නමුත් අපි ඒ වගේ දේවල් කරන්නෙ නැහැ. අපි කරන්නේ ජනතාව වෙනුවෙන් මේ ණය ගෙවන්න මේ වගේ උපක්‍රමශීලී ක්‍රම අනුගමනය කිරීම පමණයි. එය මේ දේවල් විකිණීමක් ලෙස අර්ථ දක්වනවා නම් වැරදියි.
මේ ආණ්ඩුවට තිබෙන ජනවරම මොකද්ද මේ දේවල් විකුණන්න
සුනිල් හඳුන්නෙත්ති
බදු දෙන මුවාවෙන් විකුණන එක සම්පූර්ණ වැරදියි. බදු දුන්නා කියන්නේ විකුණනවා කියන එකම තමයි. අවුරුදු 99න් පස්සෙ පරම්පරා දෙකක් පමණ ඉවර වුණාම ඒ හදලා සංවර්ධනය කරපු දේ අපිට නැවත ප්‍රයෝජනයට ගන්න පුළුවන් දෙයක්ද? ඉතිහාසෙට අනූව පරංගි ලංකාවට ආවේ ගෙරි හමකටනේ. ඒ ඉතිහාසෙ දන්න පාලකයොම තමා මේ දේවල් කරන්නේ.
ඒ වගේම විකුණලා හරි බදු දීලා හරි ලැබෙන ආදායමෙන් අපි මොනවද කරන්නේ. ඒ ආදායම නැවත පොළී ගෙවන්න, ණය ගෙවන්න නම් පාවිච්චි කරන්නේ, මූල්‍ය අර්බුදයට උත්තර හොයන්න නම් පාවිච්චි කරන්නේ, මැතිවරණයක් ළං වෙද්දී බඩු මිල අඩුකරලා පෙන්නලා මිනිස්සු රවට්ටන්න නම් උත්සාහ කරන්නේ ඒ දෙයින් වෙන්නෙ රටේ තිබෙන සම්පත් විනාශ වෙන එක විතරයි. නැවත ඒ ණය අර්බුදය විසඳන්න ණයට ගන්න වෙනවා.
මේ විකුණන හේතුව ගත්තොත් රටේ ආර්ථිකය හරි හෝ රටේ සංවර්ධනය ඉලක්ක කරගෙන නෙවෙයි සිදුකරන්නේ. මේ දේවල් වල තියෙන්න ඕන යම්කිසි පදනමක්. මෙයින් වෙන්නේ රටේ අනාගතය විනාශයට පත්වෙන එක.
හම්බන්තොට වරාය චීනයට පවරන එකෙන් වෙන්නෙත් රටේ අනාගතය විනාශ වෙන එකයි. ඒ දෙයින් ඉන්දියාවෙන් එන බලපෑමට ඉන්දියාවට මත්තල ගුවන්තොටුපොළ දීලා හරියන්නෙත් නැහැ. මෙහෙම දීලා අනාගතයේදී ඇතිවෙන දේශපාලන අරගලයකදී ඒ රටවල් වල යුද්ධයක් එහෙම ඇති වුණොත් අපි තමයි ගුටි කන්න ඕන. එතකොට මේ පාලකයෝ නැති වෙයි. නමුත් රටේ ජනතාව ජීවත් වෙන්න ඕන. විකුණන පාලකයෝ මේ රටේ නැති වුණාට විකිණීමෙන් පීඩාවට පත්වෙන ජනතාව නැති වෙන්නෙ නැහැ. විකිණීම සහ බදු දීම යන දෙකම එකයි. දෙකේම වෙනසක් නැහැ.
ඒ වගේම ඊළඟ ප්රශ්නය මේ ආණ්ඩුවට තිබෙන ජනවරම මොකද්ද මේ දේවල් විකුණන්න. යු.ඇන්.පී. පාක්ෂිකයා හරි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාක්ෂිකයා හරි ඡන්දෙ දීලා නැහැ රටේ වරාය, ගුවන්තොටුෙපාළ, තෙල් ටැංකි ටික, ඛණිජ සම්පත් විකුණන්න කියලා.
මේ ආණ්ඩුව කළේ විකිණීම හෝ බදු දීමක් නෙමේ හවුල් ව්‍යාපාර පටන් ගත්ත එකයි
මහින්ද අමරවීර
ඇත්තටම රටේ සම්පත් විකිණීම කිසිසේත් වෙන්නෙ නැහැ. ඒ වගේම ආයෝජන ගෙනදීමක් තමයි සිද්ධ වෙන්නෙ. බදු දීම කියන වචනයට වැඩිය වෙන්නෙ විදේශ රටවල් සමග හවුල් ව්‍යාපාර පවත්වාගෙන යාමක්. ලෝකයේ දියුණු වුණ රටවල් සියල්ලම වගේ දියුණු වෙලා තිබෙන්නෙ විදේශ ආයෝජනත් සමගයි. විදේශ ආයෝජන නිකන් උන්නට ලැබෙන්නෙ නැහැ. ඒ අයට අපි ඉඩමක් දුන්නෙ නැත්නම් ඒ වගේ ආදායම් ලබන්න බැහැ.
නමුත් කලින් සිදුවීම් ගත්තම පෝට් සිටි එක චීනයට විකිණුවා. නමුත් මේ ආණ්ඩුව ආවම ඒක අනූනම අවුරුද්දට බද්දට හරව ගත්තා. ඒ වගේම හම්බන්තොට වරාය අනූනව අවුරුද්දට ලංකාවත් එක්ක හවුල් ව්‍යාපාරයක් පටන් ගත්තෙ. චීන සමාගමක් ඇවිත් ලංකාවේ සමාගමක් විදියට ලියාපදිංචි වෙන්නෙ. ඒක අවුරුදු හැත්තෑවකදී අපට ගන්න පුළුවන්කම තිබෙනවා. මේ ආණ්ඩුව කළේ විකිණීම හෝ බදු දීමක් නෙමේ හවුල් ව්‍යාපාර පටන් ගත්ත එකයි.
ණය නිසා නම් වාරාය විකුණන්න සිද්ධ වෙන්නේ ආණ්ඩුවට තිබුණා ඒ ගන්නා ණය ප්‍රමාණය අඩු කරන්න
මොහාන් සමරනායක
හම්බන්තොට වරාය බදු දීමේ ගිවිසුම රටට හානි කරනවා. එහිදී රටේ ජනතාවට ආණ්ඩුව කියන තර්ක සහ සංඛ්‍යා පිළිබඳ බරපතළ සැක තිබෙනවා. මොවුන් කියනවා හම්බන්තොට වරාය බදු දෙන්න සිදුවුණේ අධික ණය බර උසුල ගන්න බැරි නිසා කියලා. නමුත් මේ රජය බලයට පැමිණි පසුවත් විශාල වශයෙන් ණය අරගෙන තිබෙනවා. ණය නිසා නම් වාරාය විකුණන්න සිද්ධ වෙන්නේ ආණ්ඩුවට තිබුණා ඒ ගන්නා ණය ප්‍රමාණය අඩු කරන්න. ඒ වගේම මේ ආණ්ඩුව බලයට එන්න පෙර කීවා හම්බන්තොට වරාය කියන්නේ සුදුඅලියෙක් කියලා. එතකොට සුදුඅලියෙක් ඩොලර් කෝටි 120ක් පමණ ගෙවලා මිලදී ගන්න තරම් විශේෂ යමක් තිබෙනවාද? එහෙම ගත්තනම් එහි තේරුම අනාගතයේදී මේ වරායෙන් ප්‍රයෝජන ගන්න පුළුවන් කියන එකයි.
තමන්ගේ සම්පත් අනුන්ට විකුණලා ධනවත් වූ කිසිම රටක් මේ ලෝකයේ නැහැ. තමන්ගේ ආර්ථිකය දේශීය, විදේශීය ධනවතුන්ට රිසි සේ භුක්ති විඳීමට ඉඩ දීලා ඒ තැනට ආපු රටක් නැහැ. ශක්තිමත් ආර්ථිකයක් ගොඩනඟා ගැනීමෙන් අනතුරුව තමන්ගේ රටේ තිබෙන සම්පත් නිසි පරිදි ප්‍රයෝජනයට ගනිමින් තමයි අද ආර්ථික වශයෙන් ඉහළ තැනක සිටින සෑම රටක්ම ඉහළ තැනකට ළඟා වී තිබෙන්නේ. ඉන්පසුව තමයි ලෝක වෙළෙඳ පොළේ විශාල කොටසක් අත් කරගෙන ඔවුන් වෙළෙඳ පොළට පිවිසෙන්නේ.