'අද' පුවත්පතේ අපි පසුගිය 20දා විශේෂ කටයුත්තක් වෙනුවෙන් මහියංගණය බලා ගියෙමු. ඒ ඌව පළාතේ මහියංගණය, අරාව, දික්යාය කනිටු විදුහලෙහි ඉගෙනුම ලබන දරු දැරියන් වෙනුවෙන් ඉටුකෙරුණු අධ්‍යාපනික සත්කාරයක් වෙනුවෙනි. හෙට වෙනුවෙන් 'අද' ලෙස නම් කරන මෙම වැඩසටහනේ අරමුණ වූයේ රටේ අනාගතය බාර ගැනීමට සිටින දරු පරපුර ශක්තිමත් කිරීමයි.
මහියංගණය - බදුල්ල පාරේ ආඳාඋල්පත පසුකර යන විට දික්යාය, අරාව ගම්මානය හමු වෙයි. කෘෂිකර්මාන්තයෙන් දිවි ගෙවන බොහෝ පිරිසක් වෙසෙන මේ ගම්මානයේ දුවා දරුවන්ගේ හෙට දවසේ අධ්‍යාපන කටයුතු උදෙසා මේ සත්කාරය දියත් කෙරිණි.
විජය පුවත්පත් සමාගමේ 'අද' පුවත්පත ආරම්භ කොට වසර 06 ක් සපිරෙන්නට ආසන්න සමයක, විජය පුවත්පත් සමාගමේ බෙදාහැරීම් අංශයෙන් ඉදිරිපත් කෙරුණු යෝජනාවක් අනුව ක්‍රියාත්මක කෙරුණු මෙම වැඩසටහනට, 'අද' පුවත්පතෙහි කර්තෘ මණ්ඩල සාමාජිකයන්, බෙදාහැරීම් අංශයේ සමාජිකයන් සහ රත්නපුර ප්‍රා‘දේශීය කාර්යාලයේ සාමාජිකයන් පිරිසක් සහභාගි වූහ.
විජය පුවත්පත් සමාගමේ සභාපතිතුමා ඇතුළු ඉහළ කළමනාකාරීත්වයේ අනුදැනුම හා මගපෙන්වීම මත දියත් කෙරුණු මේ ව්‍යාපෘතිය මගින්, දික්යාය විද්‍යාලයේ ඉගෙනුම ලබන දරු දැරියන් 86 දෙනෙකු වෙනුවෙන් සියලුම පාසල් උපකරණ ලබාදීම, ඩෙස්පුටු ආදිය පිළිසකර කිරීම, පුස්තකාලය සංවර්ධනය කර පුස්තකාලයට අවශ්‍ය පොත් හා ප්‍රථමාධාර ඒකකයට අවශ්‍ය බෙහෙත් ද්‍රව්‍ය ප්රදානය කිරීම සිදු කෙරිණි.
දික්යාය කනිටු විදුහලේ දරු දැරියන් විසින් මෙම වැඩසටහනට සමගාමීව සිය නිර්මාණ හැකියාව ඉදිරිපත් කිරීම සඳහා ප්‍රදර්ශනයක් හා සංස්කෘතික සන්දර්ශනයක් සංවිධානය කර තිබූ අතර, එහිදී එම දරුවන් භාෂා ත්‍රිත්වයෙන්ම නිවේදන කටයුතු සිදු කිරීමද කැපී පෙනෙන අංගයක් විය.
එම විද්‍යාලයේ විදුහල්පතිවරයා, නියෝජ්‍ය විදුහල්පතිවරයා ඇතුළු ආචාර්ය මණ්ඩලය ඇගයීමද මෙහිදී සිදු කෙරිණි. 'රටේ අනාගතය සුරක්ෂිත කිරීමේ ව්‍යාපාරය' යන තේමාව යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරුණු අතර, ඒ යටතේ රටේ හෙට දවස භාරගැනීමට සිටින දරු පරපුර සුරක්ෂිත කිරීම වෙනුවෙන් ඉදිරියේදී ද මෙවැනි සමාජ සත්කාර රැසක් සිදු කිරීමට නියමිතය.
සටහන /ඡයාරූප - ක්රිශන් රණසිංහ / පාලිත ආරියවංශ