ජාතික සංවිධායක එකමුතුව විසින් හෙට (12දා) කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පවත්වන රැලියට තමන් සහභාගී නොවන බවත්, එහෙත් තමන් රට වෙනුවෙන් ගන්නා තීරණ සුදුසු පරිදි ඒ ඒ අවස්ථාවට උචිත පරිදි ගන්නා බවත් තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
එම රැලියට සහභාගි වන්නැයි නිල ලිඛිත ආරාධනය ෆැක්ස් මාර්ගයෙන් තම කාර්යාලයට ලැබී තිබුණේ ඊයේ (10දා) දහවල් 11.00 ට පමණ බවත්, කලින් යොදාගත් වැඩකටයුතු කිහිපයක් තිබෙන බැවින් ජාතික සංවිධායක එකමුතුව කළ එම ආරාධනය ප්‍රතික්ෂේප කිරීමට සිදුවන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
එහෙත් මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් 'එක පෙරමුණක් ගොඩනගමු' යැයි ජාතික සංවිධායක එකමුතුව කිසිම අවස්ථාවකදී දැනුම්දීමක් නොකළ බවද රණවක මහතා පවසා සිටියේය. සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ සංවිධානය කරන 'රට ආපස්සට අදින පරගැති මෙහෙයුම් පරදවමු' නම් රැලියට සහභාගී වන්නැයි ඊයේ ලැබුණු ෆැක්ස් පතක සඳහන්ව තිබුණද, මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය උදෙසා එය පවත්වන බව එහි කිසිම තැනක සඳහන් නොවූ බව හෙතෙම අවධාරණය කළේය.
මේ දක්වා ජාතික සංවිධායක එකමුතුවේ කිසිදු නියෝජිතයෙකු තමන් මුණ නොගැසුණු බව සඳහන් කළ පාඨලී රණවක මහතා, 12 වැනිදා පවත්වන වැඩසටහන් කිහිපයක් සඳහා කාලය වෙන්කරගෙන තිබූ බැවින් හදිසියේ පැමිණි ෆැක්ස් පතේ ආරාධනය පිළිගැනීමටත් එම සමුළුවට සහභාගීවීමටත් නොහැකි බව වැඩිදුරටත් සඳහන් කළේය.