පලස්තීන රජය විසින් එරට ඉහළම සම්මානය වන 'පලස්තීන තාරකාව' (Star of Palestine) නමැති සම්මානය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත පිරිනමා තිබේ.
මැද පෙරදිග සංචාරයක නිරතව සිටින ජනාධිපතිවරයා දෙදින නිල රාජ්‍ය චාරිකාවක් සඳහා ජෝර්දානයේ සිට අද (6දා) පලස්තීනයට ළඟා වූයේය.
"ශ්‍රී ලංකාව හා පලස්තීන රාජ්‍යයන් අතර සබඳතා විශේෂයි. පලස්තීන රාජ්‍යයට හා පලස්තීනයේ මිත්‍රශීලී ජනතාවට උපරිම සහයෝගය දීමට අප බැඳී සිටිනවා" යැයි සම්මාන ප්රදානෝත්සවය අමතමින් රාජපක්ෂ මහතා පවසා සිටියේය.
ජනාධිපති රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ ජනතාව වෙනුවෙන් පලස්තීන හිටපු ජනාධිපති යසර් අර්ෆත් මහතා සහ වත්මන් ජනාධිපති මහමුද් අබ්බාස් මහතා වෙත 'ශ්‍රී ලංකා මිත්‍ර විභූෂණ' සම්මාන ප්රදානය කිරීමද මෙහිදී සිදුවිය.
ජෝර්දානය, පලස්තීනය හා ඊශ්‍රායලය යන රටවල නිල රාජ්‍ය චාරිකාවක් සඳහා ජනාධිපති රාජපක්ෂ මහතා, ආර්යා ශිරන්ත රාජපක්ෂ මහත්මිය සහ ශ්‍රී ලංකා දූත පිරිසක් මේ වනවිට මැද පෙරදිගට ගොස් සිටිති.