ගම්පහ දිස්ත්‍රික්කයේ ගම්පහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බුළුගහගොඩ ග්‍රාමයේ මෙම ඓතිහාසික ජයසුමනාරාම රජමහා විහාරය පිහිටා තිබේ.
උතුරින්, දකුණින්, නැගෙනහිරින් සහ බටහිරින් කෙත්යායකින් වට වූ ඉතාමත් රමණීය භූමියක පිහිටා තිබෙන මෙම ඓතිහාසික සිද්ධස්ථානය පිළිබඳව සිදුකරන ලද පුරා විද්‍යාත්මක ගවේෂණ තුළින් අනාවරණය කරගෙන තිබෙන්නා වූ කරුණු වලට අනුව මෙම විහාරස්ථානයේ ආරම්භය ක්‍රි.ව. 9-11 වන සියවස් තරම් ඈතට දිවයයි.
මෙම ස්ථානයේ තිබෙන්නා වූ ස්ථම්භ ශීලා ලේඛනයෙන් එය තවදුරටත් තහවුරු වේ. විහාරස්ථානය සතුව පවතින පුරාණ ලිපි ලේඛන තුළ විහාරස්ථානය හඳුන්වා ඇත්තේ බොල්ලතේ විහාරය නමිනි.
මුල් යුගයේ මෙම ස්ථානයේ දේවාලයක් පැවති බවට පුරාවිද්‍යාත්මක සාධක ඇත. ශෛලමය ස්ථම්භයේ ඉර සඳ හා ත්‍රිශූලය යන සංකේත දක්නට ලැබේ.
ජයසුමනාරාම විහාරස්ථානයේ ආදිකර්තෘ හිමිවරුන් විසින් විහාරස්ථානය සංවර්ධනය කර පවත්වාගෙන ආ අතර, මේ වනවිට මෙම විහාරස්ථානය පුරාවිද්‍යා සංරක්ෂණ විහාරස්ථානයක් ලෙස නම්කර තිබේ.
ප්‍රදේශයේ වෙනත් ස්ථානවල දක්නට නොලැබෙන සුවිශේෂී ධර්ම ශාලාවක් විහාස්ථානය තුළ ඉදිකර තිබීම සහ තවත් පුරාවිද්‍යාත්මක සාධක රැසක් මෙම ස්ථානයෙන් හමුවීම ඊට හේතුවයි.
වර්තමානයේ විහාරස්ථානයේ විහාරාධිපති ධුරය ශාස්ත්‍රපති පූජ්‍ය බෝහෙට්ටියේ ආනන්ද හිමියන් විසින් හොබවන අතර, විහාරාධිකාරී හිමියන් ලෙස කටයුතු කරන්නේ පූජ්‍ය උණවටුනේ පඤ්ඤානන්ද හිමියන්ය.
ඓතිහාසික සිදුවීම් රැසකට පාදක වී තිබෙන ජයසුමනාරාම විහාරස්ථානය අනාගත පරම්පරාවටද ඉතිරිකර තැබීමට අවශ්‍ය සහයෝගය ලබාදිය යුතු අතර, එම විහාරස්ථානයේ තිබෙන්නා වූ තවත් පුරාවිද්‍යා වටිනාකමක් ඇති ස්ථාන සොයා සංරක්ෂණය කිරීම බලධාරීන්ගේ වගකීමය.