ශ්‍රී ලංකාවේ දෙදින නිල සංචාරයක් සඳහා පැමිණි ජපාන අගමැති ෂින්සෝ අබේ මහතා ඊයේ (08දා) උදෑසන කැලණිය රාජමහා විහාරය වෙත පැමිණ ආශීර්වාද ලබා ගත්තේය.
බුදුරාජාණන් වහන්සේගේ පාද ස්පර්ශය ලද පුණ්‍ය භූමියක් ලෙස සැලකෙන කැලණියේ රාජමහා විහාරය වෙත පැමිණි අගමැතිවරයා, විහාරාධිපති මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් ආගමික වතාවත්වලට සහභාගි වූ අතර, එහිදී, සධාතුක කරඬුව ජපන් අගමැතිවරයාගේ හිසෙහි තබමින් ඔහුට ආශිර්වාද කිරීමද විහාරාධිපති හිමියන් අතින් සිදු වූහ.
හෙලේනා විජයවර්ධන ආර්යාවගේ ධන පරිත්‍යාගයෙන් හා පුරෝගාමීත්වයෙන් සෝලියස් මැන්දිස් මහතා විසින් අඳිනලද කැලණි විහාරයේ බිතුසිතුවම් ජපාන අගමැති සහ ආර්යාව නැරඹූ අතර, එම බිතුසිතුවම් අගමැතිවරයාගේ මහත් වූ ඇගයුමට ලක්විය. ජපන් අගමැතිවරයා ඊයේ (08දා) දිවයිනෙන් පිටත්ව ගියේය.
ඡායාරූප AFP