(PHOTOS) විස්සයි 20 ලෝක කුසලානය දිනූ ලසිත් මාලිංගගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ උපහාරය අද (09දා) පිරිනැමිණි.
කණ්ඩායම් හැඟීමෙන් ධෛර්යය සම්පන්නව ක්‍රීඩා කර ප්‍රබල ඉන්දීය කණ්ඩායම පරදා මවුබිමට ගෙනදුන් කීර්තියට මෙසේ උපහාර පුද කෙරිණි.
කණ්ඩායමේ සියලු ක්‍රීඩකයන් පාර්ලිමේන්තු සංකීර්ණයේ විශේෂ අමුත්තන් සඳහා වූ ගැලරියට කැඳවාගෙන එනු ලැබූ අතර, ඔවුන්ට උපහාර පිදීමේ යෝජනාව සභානායක නිමල් සිරිපාලද සිල්වා මහතා ප.ව. 5.00 ට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක හා වැඩබලන විපක්ෂ නායක ජෝන් අමරතුංග මහතා එම යෝජනාව ස්ථීර කළේය.
ඉන් අනතුරුව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක දිනේෂ් ගුණවර්ධන, ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහත්වරු උපහාර කතා පැවැත්වූහ.
මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග මහතා කතා කරමින් "ප්‍රධාන බලවත් රටවල් තුනක් ලංකාවට විරුද්ධව අයි.සී.සී තුළින් අභියෝග එල්ල කිරීමට බලන වෙලාවක මේ ජයග්‍රහණය ලැබීමෙන් ජාත්‍යන්තරයට අපිටත් පුළුවන් බව පෙන්වීමට හැකි වූවා.
96 වසරේදී ලෝක කුසලානය දිනූ පසු මෙම ලෝක කුසලානය දිනූ එක විශිෂ්ටත්වයක්. මේ පහසු නොවන දෙයක් නොවෙයි. ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් කැපවුණු ගාමිණී දිසානායක ඇතුළු සැම කෘතවේදීව සිහිපත් කළ යුතුයි" යැයි පැවසීය.
අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, නියෝජ්‍ය කාරක සභා සභාපති මුරගේසු චන්ද්‍රකුමාර, එ.ජා.ප. පා.ම. එරාන් වික්‍රමනායක, ඩීව් ගුණසේකර මහත්වරුද මෙහිදී අදහස් දැක්වූහ.
සංජීව ධර්මසේන, කැළුම් බණ්ඩාර ඡායාරූප ශමීර රාජපක්ෂ