(UPDATE) වරාය සේවකයන් සියයකට අධික පිරිසක් යොදාගෙන එක්සත් ජාතික පක්ෂයට මඩ ගැසීමට අවශ්‍ය මඩ පෝස්ටර්, බැනර් සහ ඩිජිටල් තිර 28 ක් නිර්මාණය කිරීමේ රහසිගත වැඩපිළිවෙළක් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ආරක්ෂක පුහුණු පාසල තුළ සිදුවන බව එක්සත් ජාතික පක්ෂ ගවේෂණ කණ්ඩායමේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා සඳහන් කළේය.
එක්සත් ජාතික පක්ෂයට මඩ ප්‍රහාර එල්ලකිරීමට රහසිගත එක් වැඩපිළිවෙළකුත්, ජනාධිපතිවරයාගේ ප්‍රතිරූපය ඉහළ නැංවීමට අවශ්‍ය කටයුතු කිරීමට තවත් වැඩපිළිවෙළකුත් එම ස්ථානයේ සිදුවෙමින් තිබෙන බවද ඔහු පවසා සිටියේය.
මේ පිළිබඳව ලැබුණු තොරතුරක් මත ඊයේ (21දා) මෙම ස්ථානය පරීක්ෂාවට ලක්කළ බවත්, එහිදී එක්සත් ජාතික පක්ෂයට විරුද්ධව මඩ පෝස්ටර් නිර්මාණය කරන ආකාරය සහ ජනාධිපතිවරයාගේ ජයග්‍රහණය වෙනුවෙන් සකස් කළ පෝස්ටර් බැනර් දැකගන්නට ලැබුණු බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.
මීට අමතරව දැවැන්ත වේදිකා 25කට අධික ප්‍රමාණයකට අදාළ කොටස් සකස් කරමින් තිබෙන බව සහ අඩි 15‘x20 ඩිජිටල් තිර 28 ක් සකස් කර තිබෙන බව දැකගන්නට ලැබුණු බවත්, නිල් බළකායට අයත් දැවැන්ත බැනර්, පෝස්ටර්ද දැකගන්නට ලැබුණු බවත් අජිත් පී. පෙරේරා මහතා පවසා සිටියේය.
අදාළ නිරීක්ෂණයෙන් පසු ආරක්ෂක පුහුණු පාසලෙන් පිටතට විත් මාධ්‍ය වෙත අදහස් දක්වමින් සිටියදී ගවේෂණ චාරිකාවට එක්වූ මන්ත්‍රීවරුන් හතර දෙනාට යම් ප්‍රහාරයක් එල්ල කෙරිණි. මෙම ප්‍රහාරය නිසා ආර්. යෝගරාජ් මන්ත්‍රීවරයාට අයත් රථයටද හානි සිදුවිය. මීට අමතරව මාධ්‍ය‘වේදීන් දෙදෙනෙකුද ප්‍රහාරයට ගොදුරු වූ අතර, එහිදී ඡායාරූප ශිල්පියෙකුගේ කැමරාවටද හානි සිදුවිය.