දුමින්ද සංජීව බාලසූරිය
ජනාධිපතිවරණය අවසන් වූ වහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුවට පැමිණ සක්‍රීය දේශපාලනයේ තවදුරටත් යෙදීමට ඉඩ ඇති බව 'අද'ට වාර්තා වේ.
ජනාධිපතිවරණය අවසන් වූ වහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුවට පැමිණ සක්‍රීය දේශපාලනයේ තවදුරටත් යෙදෙන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ බහුතරයක් ඉල්ලා ඇති බව 'අද'ට වාර්තා වේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන අනාගතය ශක්තිමත් කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සේවය තවදුරටත් අත්‍යවශ්‍ය බව පෙන්වා දුන් ශ්‍රී ලනිපයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් ජනාධිපතිවරයාගෙන් මෙම ඉල්ලීම කර තිබේ.
එළඹෙන මහ මැතිවරණය හා පළාත් සභා මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග සන්ධානගත වී සැලකිය යුතු මන්ත්‍රී ආසන ගණනක් දිනා ගැනීම ශ්රීලනිපය ජ්‍යෙෂ්ඨයින්ගේ අරමුණ වී තිබේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරයෙකු යටතේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට පාර්ලිමේන්තු නියෝජනයක් හා සුදුසු කැබිනට් අමාත්‍ය ධුරයක් හෝ ව්‍යවස්ථා සංශෝධනයක දී සුදුසු තනතුරක් ලබාදීම පිළිබඳව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයන්ද අකැමැත්තක් නොදක්වා ඇති බවද වාර්තා වේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හා ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ නායකයන් අතර පැවැති සාකච්ඡා වාරවලදී අවස්ථා ගණනාවකදීම මේ පිළිබඳව දීර්ඝව සාකච්ඡා කර ඇති බවද වාර්තා වේ.
එක්සත් ජනතා නිදහස් සන්ධාන ජාතික ලැයිස්තුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පාර්ලිමේන්තුව නියෝජනය කිරීම සඳහා අවශ්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය වෙනුවෙන් දැනට සන්ධාන ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරයෙකු ඉල්ලා අස්වීමට මේ වන විටත් කැමැත්ත පළකර ඇති බවද වැඩිදුරටත් 'අද'ට වාර්තා වේ.
