ස්මාට් උපාංගයන් අතර වන බෙදීම් රේඛාවන් ක්‍රමයෙන් මැකී යමින් පවතින කාලයකි මේ. ඒ අනුව මෙතෙක් කාලයක් ස්මාට්ෆෝන් සහ ෆැබ්ලට් උපාංගයන් වෙන් කොට හඳුනාගැනීමට හැකි වුවත් නව තිර ප්‍රමාණ අනුපාතයන් සමගින් පැමිණෙන, අත්ලට හසුකරගත හැකි ප්‍රමාණයේ නමුත් වැඩි තිර ප්‍රමාණයන්ගෙන් යුතු උපාංග සමගින් එම කියූ වෙනස මැකී ගොස් ඇත. ඊට හොඳම උදාහරණයක් වන්නේ අභිනවයෙන් වෙළෙඳපොළට දියත් කිරීමට සූදානම් වන Samsung Galaxy Note 9 ස්මාට්ෆෝනයයි. ස්මාට්ෆෝන් ලෝකයේ චිර ප්‍රසිද්ධ Samsung නාමය යටතේ පැමිණෙන Galaxy Note පෙළෙහි මෙම වසර වෙනුවෙන් වන නවතම ආගමනය ලෙසින් සඳහන් කළ හැකි ස්මාට්ෆෝනය මෙම මස 24 වැනිදා වෙළෙඳ පොළට නිකුත් කෙරෙනු ඇති අතර, දැනටමත් පෙර ඇණවුම් භාර ගැනීම ඇරඹී ඇත.
මෙම නව Galaxy Note 9 ස්මාට්ෆෝනය යනු S-Pen සමගින් එන වඩාත් විශාල Galaxy S9+ උපාංගයක් යැයි බොහෝ දෙනා පැවසුවත්, එම තත්ත්වය අතිසරල කිරීමක් විනා නිරවද්‍ය අදහසක් නොවේ. විශේෂයෙන්ම මේ වනවිට සැම්සුන්ග් සමාගම සතුව ප්‍රායෝගික තත්ත්වයේ ඇති අති නවීනතම තාක්ෂණයන්ගෙන් Note 9 ස්මාට්ෆෝනය සමන්විත වේ යැයි ප්‍රවේසම් සහගතව අනුමාන කළ හැක. විශේෂයෙන්ම සැම්සුන්ග් සමාගම මගින් S-Pen උපාංගය වඩාත් වැඩිදියුණු කොට, Note 9 ස්මාට්ෆෝනය හා එක්ව ඉහළ වැඩ කොටසක් ඉටු කළ හැකි දිගුවක් ලෙසින් හඳුන්වා දී ඇත.
තිරය සහ නිමාව
පසුගිය වසරේ නිකුත් වූ Galaxy Note 8 ස්මාට්ෆෝනයට වඩා Galaxy Note 9 ස්මාට්ෆෝනය ප්‍රමාණයෙන් මඳක් විශාල වනවා සේම බරින් ද මඳක් වැඩි වී ඇත. Note 9 ස්මාට්ෆෝනය අඟල් 6.37ක් උසින්, අඟල් 3.01ක් පළලින් යුතු වන අතර අඟල් 0.35ක් තරම් සිහින් වේ. එහි බර ග්‍රෑම් 201 කි. මෙහි තිරය අඟල් 6.4ක් වන අතර, Super AMOLED capacitive touchscreen පැනලයක් Gorilla Glass 5 තිර ආරක්ෂණයද සමගින් තිබේ. මෙහි තිර පැනලය HDR10 අනුකූලතාවයෙන් සහ Always-on පහසුකමින්
යුතු වේ. මෙහි ඉදිරිපස මෙන්ම පසුපසද වීදුරු නිමාවකින් යුක්ත වන අතර, බඳ ඇලුමිනියම් නිමාවකින් යුක්ත වේ. මෙසේ මානයන්ගේ සහ බරෙහි සුළු වෙනස්කමත්, පසුපස පැනලයේ සෙන්සරයන් පිහිටුවා ඇති ආකාරයේ වෙනසත් හැරුණු විට, නිමාව අතින් ගත් කළ Note 9 උපාංගය එහි පූර්වජයාගෙන් වෙනස් වී නොමැති බව දැකගත හැක. Note 8 හි දක්නට ලැබුණු ආකාරයේ දෙපසින් වක්‍ර වී දාරයන් නොමැතිව පැතිර යන Infiniti තිරයද Note 9 හි එලෙසින්ම ස්ථාපිතව තිබේ.
මෙම Infiniti තිරයෙන් සහ පසුපස වීදුරු පැනලයෙන් Note 9 උපාංගයට වඩාත් නවීන, වඩාත් සුඛෝපභෝගී පෙනුමක් ලැබෙනා බවද කිව යුතු වේ.
දෘඩාංග හා මෘදුකාංග හැකියාවන්
Note 9 ස්මාට්ෆෝනය ධාවනය වන්නේ Android 8.1 Oreo මෙහෙයුම් පද්ධතියෙනි. මෙම ස්මාට්ෆෝනයෙහි දෘඩාංග බලය ගත් විට මෙම වසරේම මාර්තුවේදී නිකුත් වූ S9+ උපාංගය සහ මෙය අතර වැඩි වෙනසක් දක්නට නොලැබේ. මෙය Qualcomm Snapdragon 845 octa-core ප්‍රොසෙසරයක් මගින් බලගැන්වෙන අතර, Adreno 630 ග්‍රැෆික් ප්‍රොසෙසරයක් මෙහි තිබේ. මෙහි රැම් මතකය සහ අභ්‍යන්තර මතකය සංස්කරණ දෙකකින් පැමිණේ. එක් සංස්කරණයක ගිගාබයිට් 6ක රැම් අගයක් සහ ගිගාබයිට් 128ක අභ්‍යන්තර මතකයක් තිබෙනා අතර, අනෙක් සංස්කරණයේ ගිගාබයිට් 8ක රැම් අගයක් සහ ගිගාබයිට් 512ක අභ්‍යන්තර මතකයක් තිබේ. එනම් Samsung සමාගම විසින් Note 9 හි වැඩි ධාරිතා සංස්කරණයේ මතකය දෙගුණයකින් වැඩි කොට ඇත. මෙහි ලබාදී ඇති 4k ගුණාත්මකභාවයේ වීඩියෝ පටිගත කිරීම් හැකියාවන්ද සමගින් එවැනි සුවිශාල මතක ධාරිතාවක් කිසිසේත්ම අනවශ්‍ය නොවනු ඇත. මෙම සංස්කරණයන් දෙකේම බාහිර මතක ඉහළ දැමීමේ සීමාව ගිගාබයිට් 512 ක් ලෙසින් සඳහන් වේ.
මෙහි සඳහන් කළ යුතුම දෘඩාංග විශේෂත්වයක් වන්නේ බැටරි බලයයි. සාමාන්‍යයෙන් අතීතයේ ස්මාට්ෆෝන් උපාංගයන් සමගින් පැමිණි ප්‍රධානතම ගැටළුව වූ දැඩි භාවිතය සමගින් එක් දිනක් පුරාවටවත් ආරක්ෂා කර ගත නොහැකි බැටරි බලය, නවීන ස්මාට්ෆෝන් උපාංගයන්හි කාර්යක්ෂමතාව වැඩි කොට බල පරිභෝජනය අඩු කිරීම ඔස්සේ
යම්තාක් දුරකට ජය ගැනීමට ස්මාට්ෆෝන් නිෂ්පාදකයින් සමත්ව ඇත. කෙසේ වෙතත් එම සීමාවන් තව තවත් උරගා බැලීමෙන් ඔවුන් වැළකී නොමැත.
ඊට හොඳ උදාහරණයක් වන්නේ Note 9 ස්මාට්ෆෝනය සමගින් ඔවුන් 4,000mAh ප්‍රමාණයේ දැවැන්ත බැටරියක් ස්ථාපනය කිරීමට සමත්ව තිබීමයි.
මෙවැනි බැටරියක් සමගින් වුවද Note 9 උපාංගයේ සිහින් හැඩය සහ හුරුබුහුටි ප්‍රමාණය වෙනස් නොකොට, S-Pen උපාංගයට පවා ස්මාට්ෆෝන් බඳෙහි ඉඩ ඉතිරි කරගැනීමට නිෂ්පාදකයින් සමත්ව තිබීම සැබවින්ම ජයග්‍රහණයකි. එසේම මෙම බැටරිය පුපුරා නොයනු ඇති බවද ප්‍රවේසම් සහිතව අනුමාන කළ හැක!
කැමරා පද්ධතිය
Note 9 ස්මාට්ෆෝනයේ ඉදිරිපස කැමරාව මෙගාපික්සල් 8 කින් සහ f/1.7 ක සෙන්සරයකින් යුක්ත වේ. මේ වනවිට තිබෙනා ඉදිරිපස සෙල්ෆි කැමරාව වැඩි විභේදන බලයකින් නිර්මාණය කිරීමේ විලාසිතාවට ස්මාට්ෆෝනය අනුගත වී නොතිබුණත්,
එහි ගුණාත්මක භාවය ඉතා හොඳ මට්ටමක ඇත. එසේම මෙහි ප්‍රධාන කැමරා පද්ධතිය ලෙසින් මෙගා පික්සල් 12 ක සෙන්සරයන් දෙකක් පවතී. එයින් ප්‍රධාන සෙන්සරයේ වෙනස් කළ හැකි ඇපචර් ලෙන්සයක් ඇති අතර, එයින් f/1.5 හෝ f/2.4 අගයන් තෝරාගත හැක. අනෙක් සෙන්සරය ටෙලිෆොටෝ ලෙන්සයක් වන අතර මෙම කැමරා සෙන්සරයන් දෙකේම Stabilization හැකියාවන් ඇතුළත් වී ඇත.
මෙහි dual pixel phase-detection autofocus හැකියාවද පවතී. මේ වනවිට වෙළෙඳ පොළේ ඇති බොහෝ කැමරා මූලික ස්මාට්ෆෝනයන්හි වෙළෙඳ උපක්‍රමයක් වන 'කෘත්‍රීම බුද්ධිය' තම කැමරා පද්ධතියේද ඇතැයි සැම්සුන්ග් සමාගම කිසිවිටකත් නොකියයි.
ඒ වෙනුවට ඔවුන් තම Note 9 ස්මාට්ෆෝනයත් සමගින් 'ස්මාට්' කැමරා පද්ධතියක් හඳුන්වා දී ඇත.
මෙයට ඔබ ග්‍රහණය කරගැනීමට සැරසෙන දර්ශනයන් හඳුනා ගත හැකිවා මෙන්ම, ඔබ ගන්නා ඡායාරූපය බොඳ වී ඇතිනම්, ඡායාරූපයට පෙනී සිටින්නාගේ දෑස් වැසී ඇතිනම් හෝ ලෙන්සය පවිත්‍ර කළ යුතු නම් ඔබට දැනුම් දීමේ හැකියාවෙන්ද යුක්ත වේ.
S-Pen සහ වෙනත් හැකියාවන්
මෙහි Wi-Fi සහ Bluetooth 5.0 රැහැන් රහිත සම්බන්ධතා හැකියාවන් තිබෙනා අතර, සම්බන්ධතාවය සඳහා කනෙක්ටරයක් තිබේ. මෙහි පසුපස කැමරාවට යටින් පහසුවෙන් අත පෙවිය හැකි ලෙසින් ඇඟිළි සළකුණු හඳුනාගැනීමේ සෙන්සරයක් තිබෙනා අතර, ඔබේ ඇස් ඉංගිරියාව හඳුනා ගැනීමේ හැකියාවද මෙහි තිබේ. මෙහි ඇති අනෙකුත් සාමාන්‍ය සෙන්සරයන්ට අමතරව හෘද ස්පන්දනය හඳුනා ගැනීමේ සෙන්සරයක් සහ රුධිරගත ඔක්සිජන් ප්‍රමාණය හඳුනාගැනීමේ සෙන්සරයක්ද ඇත.
මෙහි S-Pen උපාංගය Note 9 උපාංගය සමගින් කතාබහට ලක්වන තවත් සුවිශේෂී අංගයක් වේ. මෙය බ්ලූටූත් සම්බන්ධතාවය ඔස්සේ ස්මාට්ෆෝනය හා සම්බන්ධව තිබෙනා අතර, S-Pen ස්ටයිලසය ස්මාට්ෆෝනයේ බඳට ඇතුළු කළ විට එහි ඇති බැටරිය ආරෝපණය වීම ඇරඹෙයි. අවශ්‍ය විටක දුරස්ථ පාලකයක් ලෙසින්ද ක්‍රියාත්මක වන මෙම S-Pen උපාංගයේ බඳෙහි පාලක බොත්තමක් දක්නට ඇත. එය ස්මාට්ෆෝනයේ කැමරාවට සම්බන්ධ වේ. එය දීර්ඝව තද කරගෙන සිටි විට කැමරා යෙදුම විවෘත වේ. එක් ක්ෂණික තද කිරීමකින් ඡායාරූපයක් ගැනීමට හැක. ක්ෂණික තද කිරීම් දෙකකින් ඔබට ඉදිරිපස සහ පසුපස කැමරා අතර මාරු විය හැක. අවශ්‍ය නම් තුන්වන පාර්ශවයේ යෙදුම් ප්‍රවර්ධකයන් හටද මෙම S-Pen උපාංගයේ ඇති දුරස්ථ පාලක හැකියාව තමන්ගේ යෙදුම් වල ක්‍රියාකාරීත්වයට සම්බන්ධ කිරීමේ අවස්ථාවද ලබා දී තිබෙනා බව සැම්සන්ග් සමාගම පවසයි. එසේ බලනා විට මෙම S-Pen උපාංගයේ තවත් පැතිර ගිය හැකියාවන් අනාගතයේදී දැකගැනීමට ලැබෙනු ඇත.
Note 9 ස්මාට්ෆෝනය ඔබට වඩාත් පහසුවෙන් පරිගණකයකට සම්බන්ධ කිරීමට හැකියාව ඇත. ඔබට අවශ්‍ය වන්නේ USB-C to HDMI ඇඩැප්ටරයක් පමණි. ක්ෂණයකින් පරිගණකය හා සම්බන්ධ වන Note 9 තිරය ට්‍රැක් පෑඩයක් ලෙසින් භාවිතා කිරීමට ඔබට හැකියාව තිබෙනා අතර, යමක් ටයිප් කිරීමට අවශ්‍ය වූ විට යතුරු පුවරුව දිස් වනු ඇත. එසේම පරිගණකයට සම්බන්ධ කොට තිබෙනා අතරවාරයේදී එහි යම් කාර්යයක් සිදුවන අතරේදි වුවද ඔබට ස්මාට්ෆෝනයේ යෙදුම් වෙත ප්‍රවිෂ්ට වීමටද හැකියාව ඇත.
Note 9 ස්මාට්ෆෝනයේ නිල වර්ණය වන්නේ Ocean Blue වන අතර, ඒ සමගින් කහ පැහැති S-Pen උපාංගයක් පැමිණේ. මෙයට අමතරව Midnight Black, Lavender Purple සහ Metallic Copper යන වර්ණයන්ගෙන් Note 9 උපාංගය වෙළෙඳ පොළට නිකුත් වනු ඇත.
පැතුම් පුංචිහේවා