වර්තමානය වනවිට අපගේ ශරීරයේ කොටසක් යැයි සිතෙනා තරමටම මිනිස් ජීවිතයට සමීපව ඇති ස්මාට්ෆෝනය උපාංගයන් ප්‍රමාණයෙන් වඩ වඩාත් හුරුබුහුටි වීමත්, ප්‍රබලත්වයෙන් වඩ වඩාත් දියුණු වීමත් එහි අනවරත පරිණාමය තුළ නිරන්තරයෙන් සිදුවන දෙයක් යැයි කිව හැක. එය එසේ වුවත්, අප මේ පසුකරන්නේ ස්මාට්ෆෝන් උපාංගයන්ගේ තිර ආකෘතියේ විප්ලවයන් සිදුවන අවධියයි.
ස්මාට්ෆෝනය අතට හසුවන හුරුබුහුටි ප්‍රමාණයක තබාගනිමින් එහි තිර ප්‍රමාණය උපරිමයෙන් වැඩි කිරීමේ වුවමනාව ඔස්සේ ආරම්භ වූ මෙය, Notch නිර්මාණ සැලසුම්වලටත්, infinity නිර්මාණ සැලසුම්, Punch hole Camera නිර්මාණ සැලසුම්, Pop-up Camera නිර්මාණ සැලසුම්, Slider නිර්මාණ සැලසුම්, Flip-up Camera නිර්මාණ සැලසුම්වලටත් යමින් ඉදිරිපස පෘෂ්ඨය පුරාම දාරයන් නොමැතිව තිරය පවත්වා ගැනීමේ අභිලාෂය ඇතිව දියුණුවට ලක්ව තිබේ. මේ අතර OPPO සමාගම විසින් වඩාත් නිර්මාණශිලී, වෙනස් ආකාරයක විසඳුමක් මේ සඳහා ලබාදී ඇත. එනම් Shark-fin pivot rising නිර්මාණ සැලසුමකි. OPPO Reno ස්මාට්ෆෝනය මේ ආකාරයෙන් නිර්මාණය වී ඇති අතර, මෙහි ඉහළ කොටසේ බඳ තුළ සැඟව ඇති මෝර වරලක ආකාර ගත් කොටස අවශ්‍ය විට ඉහළට එසවෙන්නේ එහි ඇති සෙල්ෆි කැමරාව නිරාවරණය කරමිනි. සැබවින්ම මෙය ස්මාට්ෆෝන් ලෝකයට අපූර්ව වෙනසක් බව නොකිවමනායි!
මෙම වසරේ ජූනි මාසයේදී හඳුන්වා දුන් මෙම OPPO Reno ස්මාට්ෆෝනය මෙම මාසයේ සිට ශ්‍රී ලංකාවේ වෙළෙඳ පොළේද දක්නට ලැබෙනා අතර, OPPO වෙබ් අඩවිය පවසන ආකාරයට OPPO RENO 10x Zoom ස්මාට්ෆෝනය රුපියල් 159,990 ක මිලකට ශ්‍රී ලංකාව තුළ නියෝජිත වගකීම සහිතව අලෙවි වේ.
මෙම OPPO RENO 10x Zoom ස්මාට්ෆෝනය අඟල් 6.6ක AMOLED capacitive touchscreen තිරයකින් සමන්විත වන අතර, එහි 1080 X 2340 තිර විභේදනයක්ද තිබේ. මෙම තිරය Corning Gorilla Glass 6 ආරක්ෂණ වීදුරුවකින් ආවරණය වී පවතී. ඇලුමිනියම් බඳකින් යුක්ත මෙහි පසුපස වීදුරු පැනලයද Corning Gorilla Glass 5 ආරක්ෂණ වීදුරුවකින් ආවරණය වී ඇත්තේ, OPPO RENO ස්මාට්ෆෝනයට ඉතාමත් ඉහළ ආරක්ෂාවක් හා කල්පැවැත්මක් ලබාදෙමිනි.
මෙහි නැනෝමීටර් 7ක ප්‍රමාණයේ Qualcomm Snapdragon 855 Octa-Core ප්‍රොසෙසරයක් තිබෙනා අතර, Adreno 640 ග්‍රැෆික් ප්‍රොසෙසරයක්ද මෙහි ඇත. එසේම මෙය Android 9.0 Pie මෙහෙයුම් පද්ධතිය මත පදනම් වූ ColorOS 6 පරිශීලක අතුරු මුහුණත ඔස්සේ ධාවනය වේ. මෙහි 256GB දක්වා බාහිර මතකය microSD කාඩ්පත් ඔස්සේ ඉහළ දැමිය හැක. එසේම මෙය රැම් මතකය හා අභ්‍යන්තර මතකය අනුව සංස්කරණයන් කිහිපයකින් පැමිණේ. එනම් පිළිවෙළින් රැම් මතකය හා අභ්‍යන්තර මතකය 8GB/256GB, 6GB/256GB සහ 6GB/128GB ලෙසින් වන සංස්කරණයන් ත්‍රිත්වයයි.
මෙම Oppo Reno 10x zoom සංස්කරණය සම්බන්ධයෙන් හදිසියේම විශේෂ උනන්දුවක් පැන නැගී ඇති බව කීමට හැක. ඒ එහි ප්‍රධාන කැමරා පද්ධතිය නිසාවෙනි. මෙහි කැමරා තුනක් එක් පෙළට පිහිටුවා ඇත. මෙගාපික්සල් 48ක (f/1.7, 26mm) වයිඩ් සෙන්සරය, මෙගාපික්සල් 13ක (f/3.0, 130mm) ටෙලිෆොටෝ පෙරිස්කෝප් සෙන්සරය සහ මෙගාපික්සල් 8ක (f/2.2, 16mm) අල්ට්‍රාවයිඩ් සෙන්සරය ඔස්සේ සමස්ත කැමරා පද්ධතිය සෑදේ.
මේ සම්බන්ධයෙන් අපට විශේෂ උනන්දුවක් ඇත්තේ මෙහි 10X ප්‍රමාණයේ සූම් බලයක් ලබාදීම සම්බන්ධයෙනි. OPPO සමාගම මෙය 10x දෙමුහුම් සූම් හැකියාවක් ලෙසින් හැඳින්වුවත්, කෙතරම් ප්‍රමාණයක ඔප්ටික් සූම් හැකියාවක් සැබවින්ම ලැබේද යන්න නොපවසයි. පෙරිස්කෝප් ලෙන්සයේ සහ වයිඩ් ලෙන්සයේ යන දෙකේම Optic Image Stabilizer හැකියාව තිබුණද, වඩාත් වැදගත් වන්නේ මෙම පද්ධතියට කෙතරම් දුරට ඔප්ටික් සූම් හැකියාව ලබාදීමට හැක්කේද යන වග වන බව නොකිවමනායි. කෙසේ නමුත් මෙම එක් එක් ලෙන්සයේ නාභි දුරද සැලකිල්ලට ගෙන බලන විට මෙම පද්ධතියට උපරිම ලබාදිය හැකි ඔප්ටික් සූම් හැකියාව වන්නේ 5x පමණ බව තාක්ෂණවේදීන්ගේ මතයයි.
කෙසේ වෙතත් සමස්තයක් ලෙසින් ගත් විට මෙම ත්‍රිත්ව සෙන්සර කැමරා පද්ධතිය සහ එහි හැකියාවන්, ස්මාට්ෆෝන් ඡායාරූපකරණයේ යෙදෙන්නන්ට ඉතාමත් සතුටුදායී අත්දැකීමක් ලබාදෙනු ඇති බව නොඅනුමානය.
මෙහි 3.5mm ජැක් එක නොපවතී. රේඩියෝ පහසුකමද තවදුරටත් දක්නට නැත. සම්බන්ධතාවය සඳහා Wi-Fi, Bluetooth, NFC රැහැන් රහිත සම්බන්ධතාවයන්ට අමතරව USB Type-C 1.0 රිවර්සිබල් කනෙක්ටරයක්, USB On-the-Go හැකියාවක් සහිතව පිහිටුවා ඇත. මෙහි ඇඟිලි සළකුණු හඳුනා ගැනීමේ සෙන්සරය තිරය මත පිහිටුවා ඇති අතර, එය මෙන්ම සෙල්ෆි කැමරාව ඔස්සේ මුහුණු හඳුනා ගැනීමේ හැකියාවද ඉතාමත්ම ක්ෂණික ක්‍රියාකාරීත්වයකින් යුක්ත වේ.
මෙහි ඉවත් කළ නොහැකි 4,065mAh බලයක් සහිත ලිතියම් පොලිමර් බැටරියක් තිබෙනා අතර, OPPO නිෂ්පාදන වෙත ආවේණික වූ VOOC Flash Charge ශීඝ්‍ර ආරෝපණ හැකියාවද මෙහි ඇත.
මෙම ස්මාට්ෆෝනය Ocean Green (Fog Sea Green), Jet Black (Extreme Night Black) සහ Mist Pink යන වර්ණයන්ගෙන් ලබාගැනීමට හැක.
OPPO සමාගමේ අනෙකුත් ස්මාට්ෆෝනයන් හා සසඳන විට මෙම Oppo Reno 10x zoom උපාංගය වඩාත් නවීන ෆ්ලැග්ෂිප් ස්මාට්ෆෝනයක ගතිලක්ෂණයන්ගෙන් යුක්ත වන බව කිව හැක. එනිසා මෙහි මෙහෙයුම් පද්ධතිය ඔස්සේ ලබාදෙන විශේෂාංගයන්, දෘඪාංග ප්‍රබලත්වය සහ සුවිශේෂී නිර්මාණ සැලසුමත්, ස්මාට්ෆෝනයේ ඇති නවීන හා සුඛෝපභෝගී පෙනුම හා නිමාවත් සලකා බලන විට ශ්‍රී ලංකා රුපියල් 159,990ක මිලකට Oppo Reno 10x zoom උපාංගය අලෙවි වීම නොවටිනා මිලක් ලෙසින් කිසිසේත්ම සලකුණු කළ නොහැක.
පැතුම් පුංචිහේවා