ස්මාට්ෆෝන් ලෝකයේ බොහෝ ක්‍රියාකාරකම් සිදුවූ වසරක් අවසන් වී ඇත. ලැබුවා වූ 2019 වසරේදීද පෙර වසරේ දක්නට ලැබුණු සුවිශේෂී ස්මාට්ෆෝන් වෙනස්කම් වැඩි දියුණු වීම මෙන්ම, නව වෙනස්කම් හඳුන්වා දීමද සිදුවනු ඇතැයි අපේක්ෂා කළ හැක. විශේෂයෙන්ම නම්‍යශීලී ස්මාට්ෆෝන් උපාංගයන් මෙම වසරේදී වෙළෙඳ පොළ ආක්‍රමණය කිරීම ආරම්භ කරනු ඇතැයි අපේක්ෂාවන් තබාගැනීමට හැක.
කෙසේ වෙතත් තවමත් පසුගිය වසරේ නිකුත් වූ නව ස්මාට්ෆෝනයන් සම්බන්ධයෙන් කතාබහ කොට අවසන් වී නැත. පසුගිය වසරේ වූ ස්මාට්ෆෝනයන් සෑම එකක්ම පාහේ ස්මාට් තිර අනුපාතයන් ඔස්සේ හුරුබුහුටි ප්‍රමාණයක සැඟවූ විශාල තිරයන්, Notch හෝ Infinity තිර නිර්මාණ සැලසුම් වැනි දෑ සමගින් එකම ආකාරයක් ගෙන ඇතැයි යමෙකුට කිව හැක. සැබවින්ම 2018 වසර ස්මාට්ෆෝන් තිරයන් සම්බන්ධයෙන් විප්ලවීය වසරක් විණි. කෙසේ හෝ 2018 වසරේ නිකුත් වූ ස්මාට්ෆෝන් අතුරින් LG සමාගමේ ජයග්‍රහණයක් වූ LG V40 ThinQ ස්මාට්ෆෝනය පිළිබඳව කතා නොකිරීම අඩුපාඩුවක් වනු ඇත.
මෙම LG V40 ThinQ ස්මාට්ෆෝනය නිකුත් වී යම් කාලයක් ගතවී ඇත. මෙය නිකුත් වූ 2018 වසරේ ඔක්තෝබර් මාසයේ සිට මේ වනවිට මාස තුනකට වඩා වැඩි කාලයක් ගතවී නැතත්, 2018 වසරේ අවසාන කාර්තුවේ ස්මාට්ෆෝනයන් වෙළෙඳ පොළට නිකුත් වූ ශීඝ්‍රතාවය සමගින් බලනා විට LG V40 ThinQ නිකුත් වී යම් කාලයක් ගතවී ඇතැයි පැවසීම සාවද්‍ය නොවනු ඇත.
මෙහි කැමරා පද්ධතිය ඒ වනවිට යම් සුවිශේෂීත්වයක් දැරූ අතර, ඉදිරිපස කැමරා 2ක් හා පසුපස කැමරා 3ක් වූ පද්ධතිය අද වනවිට එතරම් අරුමයක් නොවේ. කෙසේ වෙතත් මෙහි කැමරා පද්ධතියේ ඉහළ ගුණාත්මක තත්ත්වය සම්බන්ධයෙන් සඳහන් කිරීම වටී. ඊට පෙර LG V40 ThinQ හි නිමාව සහ දෘඩාංග, මෘදුකාංග හැකියාවන් පිළිබඳ කතා කළ යුතුවේ.
මෙම LG V40 ThinQ ස්මාට්ෆෝනයේ ඉදිරිපස මෙන්ම පසුපසද වීදුරු පැනලයන් තිබෙනා අතර, මෙම ඉදිරිපස තිර පැනලය මෙන්ම පසුපස වීදුරු පැනලයද Gorilla Glass 5 ආරක්ෂිත පැනලයන්ගෙන් ආවරණය වී ඇත. අඟල් 6.4ක් වූ P-OLED capacitive touchscreen තිරය 19:5:9 තිර අනුපාතයට නිර්මාණය වී ඇති බැවින්, මෙය LG V-series ස්මාට්ෆෝන් පෙළෙහි විශාලතම තිර ප්‍රමාණයෙන් යුතු ස්මාට්ෆෝනය වුවත් එය අතට පහසුවෙන් ග්‍රහණය කරගත හැකි ප්‍රමාණයකින් නිමවී ඇත. ඇලුමිනියම් නිමාවකින් යුතු බඳ, ඔප දැමූ නිමාවකින් යුතුව මනාව වක්‍ර වී ඇත. මෙයින් ස්මාට්ෆෝනයට වඩාත් සුඛෝපභෝගී පෙනුමක් ලැබී තිබුණත්, එය අතින් ලිස්සා යෑමේ හැකියාව අවම කිරීමට නම් ඔබ වර්තමානයේ ඇති ඉතා සිහින් නිමාවෙන් යුතු ස්මාට්ෆෝනයන් මැනවින් ග්‍රහණය කර ගැනීමේ කලාව ප්‍රගුණ කොට සිටිය යුතුය. එසේම LG සමාගම මගින් පවසන පරිදි මෙම ස්මාට්ෆෝනය වඩාත් දැඩි නිමාවකින් යුතු වේ. එය එසේම වුවත් ග්‍රෑම් 168ක් පමණක් වන LG V40 ThinQ ස්මාට්ෆෝනය සැලකිය යුතු තරමේ සැහැල්ලු බවකින් යුතුවේ.
මෙම LG V40 ThinQ ස්මාට්ෆෝනයේ තිරය Dolby Vision සහ HDR10 සහායෙන් යුක්ත වන අතර, අවශ්‍ය නම් මෙහි ඇති Always-on display පහසුකම භාවිතා කර ඔබට නිරන්තරයෙන්ම වේලාව සහ අනෙකුත් අවශ්‍ය තොරතුරු තිරයේ දර්ශනය වන ලෙසින් සැකසුම් කළ හැක. මෙය Android 8.1 Oreo මෙහෙයුම් පද්ධතිය මත පදනම් වූ LG UX 7.1 පරිශීලක අතුරු මුහුණත ඔස්සේ ක්‍රියාත්මක වන අතර, Android 9 Pie යාවත්කාලීනවද මෙයට ලැබෙනු ඇතැයි සඳහන් වේ.
මෙම ස්මාට්ෆෝනය බලගැන්වෙන්නේ නැනෝ මීටර 10ක Qualcomm SDM845 Snapdragon 845 චිප පද්ධතිය මත නිර්මාණය වූ Octa-core ප්‍රොසෙසරයකින් වේ. මෙම ඉහළ මට්ටමේ ප්‍රොසෙසරය සහ ගිගාබයිට්
6ක රැම් මතකය හා එක්ව LG V40 ThinQ ස්මාට්ෆෝනයට, වඩා ඉහළ පරිගණක බලයක් සහ කාර්යක්ෂමතාවයක් ලබා දී ඇත. මෙහි Adreno 630 ග්‍රැෆික් ප්‍රොසෙසරයක් ඇත. අභ්‍යන්තර මතකය ගිගාබයිට් 64ක සහ
ගිගාබයිට් 128ක සංස්කරණයන් දෙකකින් මෙය එළිදැක්වේ. මෙහි බාහිර මතකය microSD චිපයක් ඔස්සේ ගිගාබයිට් 512ක් දක්වා ඉහළ දැමිය හැකි වුවත්, ඒ සඳහා දෙවෙනි සිම් ද්වාරය භාවිතා කිරීමට සිදුවනු ඇත.
මෙම ස්මාට්ෆෝනයේ ඉදිරිපස සෙල්ෆි කැමරාව මෙගාපික්සල් 8ක (f/1.9) සෙන්සරයකින් සහ මෙගාපික්සල් 5ක වයිඩ් සෙන්සරයකින් (f/2.2) යුක්ත වේ. මෙහි ප්‍රධාන කැමරා පද්ධතිය පසුපස පැනලය මත එක් පෙළකට වඩාත් ප්‍රියජනක අයුරින් පිහිටුවා ඇත. ඊට සියලුම නවීන හැකියාවන්ගෙන් සපිරි මෙගාපික්සල් 12ක (f/1.5) අඟල් 1/2.6 ප්‍රධාන සෙන්සරයක් අයත් වන අතර, එහි අතර එහි අක්ෂ 3 ක OIS හැකියාවන්ගෙන් සහ dual pixel PDAF පහසුකම තිබේ. මෙගාපික්සල් 12ක (f/2.4)දෙවෙනි ටෙලිෆොටෝ ලෙන්සයද OIS, PDAF හැකියාවෙන් සහ 2X ඔප්ටික් සූම් හැකියාවෙන් යුක්ත වේ. තුන්වනුව මෙගාපික්සල් 16ක (f/1.9) අඟල් 1/3.1 අල්ට්රා වයිඩ් ලෙන්සයක් ඔටෝෆෝකස් හැකියාව රහිතව ඇත. මෙම පද්ධතියට LED ෆ්ලෑෂරයක් ඇත.
මෙහි ඇඟිලි සලකුණු කියැවීමේ සෙන්සරය පසුපස කැමරා පද්ධතියට පහතින් පිහිටුවා ඇත. මෙහි Bluetooth 5.0, Wi-Fi, NFC යන රැහැන් රහිත සම්බන්ධතාවයන් ඇත. ස්ටීරියෝ එෆ් එම් රේඩියෝවක්ද RDS හැකියාව සමගින් තිබේ. 2018 වසරේ අවසානය වනවිට පැමිණි ඉහළ මට්ටමේ ස්මාට්ෆෝනයන්ට වෙනස් ලෙසින් මෙම ස්මාට්ෆෝනයේ තවමත් 3.5mm ඕඩියෝ ජැක් එක අන්තර්ගතව තිබේ. එසේම PowerDelivery 2.0 තාක්ෂණයද සහිතව USB 2.0 Type-C 1.0 reversible කනෙක්ටරයක් මෙහි ඇත.
මෙහි 3,300mAh බලයකින් යුක්ත ලිතියම් පොලිමර් බැටරියක් ඇත. කෙසේ වෙතත් මේ හා සමගාමීව නිකුත් වූ අනෙකුත් ඉහළ මට්ටමේ ස්මාට්ෆෝනයන් හා සංසන්දනය කරනා විට LG V40 ThinQ හි බැටරි බලය සහ එක් ආරෝපණයකින් වැඩ කළ හැකි කාලය සම්බන්ධයෙන් එතරම් සෑහීමකට පත් විය නොහැකි බව පොදුවේ මීට නැගෙනා චෝදනාවකි. කෙසේ වුවත් මෙහි සුඛෝපභෝගී මිලාධික පෙනුම, වීදුරු පසුපස පැනලය සමගින් වුවත් ඉතාමත් සැහැල්ලු ආකාරයෙන් නිර්මාණය වී තිබීමත්, විශිෂ්ට ශ්‍රව්‍ය ප්‍රතිදානයත්, සමස්තයක් ලෙසින් ගත් විට කැමරා පද්ධතියේ මනා ගුණාත්මක භාවයත් ප්‍රශංසාවට ලක්ව තිබේ. මෙය New Platinum Gray, Carmine Red, New Aurora Black, New Moroccan Blue යන වර්ණයන්ගෙන් ලබාගැනීමට ඇත.
පැතුම් පුංචිහේවා