ස්මාට් නිවාස යන සංකල්පය සම්බන්ධයෙන් මෙයට දශකයකට දෙකකට පෙර අපගේ සිත තුළ තිබුණේ අතිශයින්ම ඉහළ තාක්ෂණික අංගෝපාංගයන්ගෙන් හෙබි, සුඛෝපභෝගී යමක්ය යන අදහසයි. එසේම ස්මාට් නිවසක මිලෙන් අධික තාක්ෂණික උපාංගයන් ස්ථාපනය කළ යුතු වූ බවද එම චිත්‍රයට ඇතුළත් වුණි. කෙසේ නමුත් වර්තමානය වන විට එම අදහස බොහෝ සරල වී ඇත. උදාහරණයක් ලෙසින් මේ වනවිට ලෝ පුරා ප්‍රසිද්ධ වී ඇති බුද්ධිමත් ඩිජිටල් සහකරුවන්ගේ සේවය සමගින් නිමවී තිබෙන ස්පීකර් පද්ධතීන් පෙන්වා දිය හැක. ඇමසන් සමාගම විසින් ලොව පුරා ජනප්‍රිය කළ මෙම සංකල්පය මේ වනවිට ලෝකයේ ප්‍රධාන පෙළේ තාක්ෂණික නිෂ්පාදන සමාගම් ගණනාවකින්ම අනුගමනය කරමින් තමන්ගේම නිෂ්පාදන එළි දක්වයි.
මෙම ස්පීකර් පද්ධතීන් වෙත තිරයක් එක් කරමින් එහි හැකියාවන් සහ ශක්‍යතාවන් තවත් වැඩි දියුණු කිරීමටද බොහෝ සමාගම් උත්සාහ කරන ලදී. මින් පෙර එළිදැක්වුණු Amazon Echo Show සහ Amazon Echo Spot වැනි උපාංග ඊට උදාහරණ වේ. දැන් JBL සමාගමද මෙම තරගයට එක් වෙමින් තිරයක්ද සහිත බුද්ධිමත් ස්පීකර් උපාංගයක් එළි දක්වා තිබේ. මෙය JBL Link View ලෙසින් හැඳින්වේ.
මෙම JBL Link View ස්පීකර් උපාංගය දෙකට කැපූ ෆුට්බෝලයක් මෙන් හැඩයකින් යුක්ත වන අතර, මඳ ආනතියක් සහිතව මේසයක් මත සිටුවා තැබීමට හැකි ආකාරයෙන් නිර්මාණය කර තිබේ. මෙය තිරය හා කටයුතු කිරීම වඩාත් පහසු කරවන අතර, තිරය දෙපස ස්පීකරයන් ස්ථානගත කර තිබේ. මෙහි දෙපස එක එකක් වොට් 10 බැගින් වන ස්පීකරයන් දෙකක් තිබෙනා අතර, මෙහි ඇති පැසිව් රේඩියේටරයන් මගින් වඩාත් ගැඹුරු, ගුණාත්මක බේස් හඬක් ලබාදෙන්නට සහාය වනු ඇත. සාමාන්‍යයෙන් JBL ස්පීකරයන් වෙළෙඳ පොළේ ඇති ඉහළ ගුණාත්මක තත්ත්වයේ ශ්‍රව්‍ය ප්‍රතිදානයක් ලබාදෙන උපාංගයන් වීම නිසා මෙහි තත්ත්වය සම්බන්ධයෙන් ඉහළ බලාපොරොත්තු තබාගැනීමට හැකියාව තිබේ. එසේම මෙයට HD Audio ගොනුද වාදනය කිරීමට හැකියාව ඇති බැවින් Hi-res සංගීත ගොනුවලටද මේ හරහා සවන් දීමට හැකියාව තිබේ.
මෙයට Google Assistant බුද්ධිමත් ඩිජිටල් සහකරුගේ සේවය ස්ථාපනය වී ඇති බැවින්, ඔබ Google Assistant හෝ Google Home හරහා ඉටු කරගන්නා ඕනෑම කටයුත්තක් ඔබේ හඬ විධානයන් ඔස්සේ ඉෂ්ට කර ගැනීමට හැකියාව ලැබෙනු ඇත. එය උදෑසන ප්රවෘත්ති සිරස්තලවලට සවන් දීමේ සිට ඔබේ ප්‍රියතම ගීත වාදනය කිරීම දක්වා, ඔබේ ගුවන් ගමන් වාරයන් පිළිබඳව සෝදිසි කිරීමේ සිට කාලගුණ තොරතුරු දැනගැනීම දක්වාත්, ඔබේ ස්මාට්ෆෝනය හා ක්‍රියාත්මක වීමේ සිට ඔබේ ස්මාට් නිවස පාලනය කිරීම දක්වාත් වැනි පුළුල් පරාසයක වැඩ කටයුතු ප්‍රමාණයක් ආවරණය කරනු ඇත.
මෙහි ඇති අඟල් 8ක ස්පර්ෂ තිරය JBL Link View උපාංගය මධ්‍යයේ ස්ථානගත කර ඇති අතර, එයට 1080p ගුණාත්මක තත්ත්වයේ අන්තර්ගතයන් දර්ශනය කරවීමට හැකියාව තිබේ. මෙය ස්මාට් ස්පීකරයක දක්නට නොලැබෙන ආකාරයේ විශාල තිරයක් වන නිසා ඔබට වෙබ් අඩවි තුළ සැරිසැරීමේ සිට වීඩියෝ නැරඹීම දක්වා වැඩ කටයුතු සඳහාත්, හඬ විධානයන් ලබාදීමට අකමැති විටක සෘජුව JBL Link View උපාංගය හා ගනුදෙනු කිරීමටත් භාවිත කළ හැක. මෙහි Chromecast පහසුකමද ස්ථාපනය කර තිබෙනා බැවින්, ඔබට ඔබේ ස්මාට්ෆෝනය මෙම ස්පීකර් උපාංගයට සම්බන්ධ කර පහසුවෙන්ම ශ්‍රව්‍ය දෘෂ්‍ය විකාශනයන් කිරීමේ හැකියාව තිබේ.
මෙයට අමතරව JBL Link View උපාංගය ඉදිරිපස මෙගා පික්සල් 5.0ක කැමරාවක්ද ස්ථාපනය් කර තිබේ. ඒ මගින් ඔබට පහසුවෙන්ම වීඩියෝ ඇමතුම් ලබාගැනීමට හැකියාව තිබේ. කෙසේ නමුත් මෙම කැමරාව භාවිත කරමින් උපාංගයේ හැකියාවන් වඩාත් විශාල පරාසයක, එනම් බේබි මොනිටරයක් ලෙසින් හෝ වීඩියෝ පටිගත කරනයක් ලෙසින් භාවිත කළ හැකිදැයි දැනට කිව නොහැක.
මෙය සාමාන්‍ය නිවෙසක පරිහරණයට නිපදවා ඇති බැවින් ජලය විසිරීමකදී හෝ තෙතමනයෙන් ආරක්ෂා වන ලෙසින් නිර්මාණය කර ඇති බැවින් ඔබට හිතේ සැකයකින් තොරව මෙම උපාංගය නිවසේ ඕනෑම තැනකදී භාවිත කිරීමට හැකිවනු ඇත. එසේම මෙහි හුරුබුහුටි නිමාව නිසා එහා මෙහා ගෙනයෑමද පහසු කටයුත්තක් වනු ඇත.