ඡායාරූප ශිල්පය සම්බන්ධයෙන් වෘත්තිමය උනන්දුවක් දක්වන්නවුන් සෑමවිටම යොමුවන්නේ අවශ්‍ය පරිදි ලෙන්සයන් මාරු කිරීමට හැකි DSLR හෝ එවැනි කැමරාවක් වෙත වේ. එනමුත් සාමාන්‍යයෙන් ඡායාරූප ශිල්පය පිළිබඳ ඇල්මක් දක්වන ආධුනිකයෙකු නැතිනම් තමන්ගේ විනෝද චාරිකාවකදී ඡායාරූප ගැනීම සඳහා පමණක් කැමරාවක් අවශ්‍ය යැයි සිතන්නෙකුට බොහෝ විට හොඳ වර්ගයේ පොයින්ට් ඇන්ඩ් ෂූට් කැමරාවක් ප්‍රමාණවත් විය හැක. කෙසේ වෙතත් පොයින්ට් ඇන්ඩ් ෂුට් කැමරාවක් සාමාන්‍ය ඡායාරූප ගැනීමක් සඳහා ප්‍රමාණවත් වූවත්, ඇතැම් විටක එවැනි කැමරාවක ඇති සීමිත සූම් හැකියාව වැනි සීමාසහිත බව පරිශීලකයාගේ අපේක්ෂා භංගත්වයට හේතු විය හැක. එසේ වුවත් පොයින්ට් ඇන්ඩ් ෂූට් කැමරාවකට වුවත් සූම් ලෙන්සයක් තිබිය නොහැකිද?
ඒ සම්බන්ධයෙන් දැනගැනීමට නිකෝන් ආයතනය විසින් ඉදිරිපත් කර ඇති නවතම Nikon Coolpix P1000 කැමරාව දෙස බැලීම ප්‍රමාණවත් වේ!
මෙම Nikon Coolpix P1000 කැමරාව නිර්මාණය කොට ඇත්තේ එදිනෙදා ජීවිතයේදී උපන්දින සාදයක් ඡායාරූප ගත කිරීමට පමණක් පොයින්ට් ඇන්ඩ් ෂූට් කැමරාවක් සොයනා අයෙකුට නොවන බව මෙය දකිනා විගසම පැහැදිලි වනු ඇත. 125x ඔප්ටික් සූම් ලෙන්සයක් සහිත මෙම කැමරාව සෑම අයෙකුටම වුවමනා නොවනු ඇති අතර, එසේ නම් මෙම කැමරාව වැදගත් වන්නේ සුවිශේෂී පරිශීලක පිරිසකට වනු ඇත. මෙම කැමරාව මගින් ඔබට යම් වස්තුවක් 125 වාරයක් විශාලනය කර බැලීමේ හැකියාව ලබාදෙනු ඇත යන්නෙහි අර්ථය වන්නේ මෙය පොයින්ට් ඇන්ඩ් ෂූට් කැමරාවක් මෙන්ම ටෙලස්කෝප් එකක් ලෙසින්ද භාවිතා කළ හැකි බවද?
මේ සම්බන්ධයෙන් සඳහන් කරනා නිකෝන් සමාගම පවසන්නේ සැබවින්ම මෙම ලෙන්සය සඳෙහි තොරතුරු පවා මනාව දැකගැනීමට හැකි තරම් ප්‍රබලත්වයකින් යුතු බවයි. එසේම ඔබ කුරුල්ලන් නැරඹීම වැනි විනෝදාංශයක් ඇත්තෙකු නම්, ඒ සඳහාද මෙම ප්‍රබල විශාලන ලෙන්සයක් සහිත Nikon Coolpix P1000 පොයින්ට් ඇන්ඩ් ෂූට් කැමරාව මහඟු පිටුවහලක් වනු ඇති බවයි.
ඔබට මෙම කැමරාවෙන් කළ හැක්කේ සඳේ ආවාට ඡායාරූප ගත කිරීම පමණක් නොවේ. මෙහි ඇති මැක්රෝ ආකාරය භාවිතා කොට අවශ්‍ය නම් පුළුල්-කෝණ ස්ථානයක තබා අඟල් 0.4 ක් තරම් සමීපයේ ඇති වස්තුවක් වුවත් ඡායාරූපගත කළ හැක. එසේම මෙහි ඇති බොත්තම ඔස්සේ ඔබට මෙම සූම් ලෙන්සය ක්ෂණිකව හකුළුවා, සාමාන්‍ය දුරක ඇති වස්තුවක් ඡායාරූප ගත කිරීමට හැක. එසේම එම ලෙන්සයේ ඔප්ටික් සූම් හැකියාවද ප්‍රමාණවත් නොවේ යැයි යමෙකුට සිතෙන්නේ නම්, මෙහි තවත් දුරට යා හැකි ඩිජිටල් විශාලන හැකියාවක්ද පවතී. එහිදී ඔබට සැබෑ විශාලනයකදී මෙන් ගුණාත්මක භාවයක් බලාපොරොත්තු විය නොහැකි බවද සිහිතබා ගැනීම වටී.
මෙම සුවිසල් විශාලන බලයක් සහිත 125x ලෙන්සය සහිත Coolpix P1000 කැමරාව මෙගාපික්සල් 16 ක විභේදන බලයක් ඇති අඟල් 1/2.3 ක සෙන්සරයකින් සමන්විත වේ. එනම් මෙහි 100 සිට 6400 දක්වා වන ISO පරාසයක්ද තිබෙනා අතර, RAW ඡායාරූපයන්ද ග්‍රහණය කරගැනීමට මෙයට හැකියාව තිබේ. මෙහි පූර්වජයන් හා සසඳා බලන විට එය සැබවින්ම ජයග්‍රහණයකි. එසේම මෙයට තත්පරයකට රාමු 7 ක් ග්‍රහණය කරගනිමින් ක්‍රියාත්මක විය හැකි Burst Mode එකක්ද තිබේ. අවශ්‍ය නම් 4K ගුණාත්මක භාවයෙන් යුතු වීඩියෝද තත්පරයකට රාමු 30 ක ශීඝ්‍රතාවකින් හසු කරගැනීමට හැක. මෙහි ඇති Dual Detect Optical VR තාක්ෂණය සහ ඒ හරහා ලැබෙන optical image stabilization හැකියාව සමගින් ඔබට සූම් ලෙන්සය භාවිතා කොට ඉතා ඈත ඇති දර්ශනයක් පවා සෙලවීමකින් තොරව, ඉහළ ගුණාත්මක භාවයකින් වීඩියෝගත කිරීමට හැකියාව ලැබීමම අමතර වාසියක් වනු ඇත.
මෙම Coolpix P1000 කැමරාවේ පසුපස මිලියන 2.36 ක පික්සල් ප්‍රමාණයකින් යුතු OLED වීව්ෆයින්ඩරයක් තිබෙනා අතර, ඉතාම දුරින් ඇති දර්ශනයන් පවා පහසුවෙන් හසුකරගැනීමට එම වීව්ෆයින්ඩරය හරහා හැකියාව ලැබේ. එසේම ඔබට අවශ්‍ය පරිදි හැරවිය හැකි අඟල් 3.2 ක LCD තිරයක්ද මෙහි තිබෙනා නිසාවෙන් ඔබට වීව්ෆයින්ඩරය භාවිතා කළ නොහැකි අපහසු කෝණයන්ගෙන් පවා ඡායාරූප ගැනීමේ හැකියාව ලැබෙනු ඇත. එනම් අවශ්‍ය නම් ඔබට සෙල්ෆි ඡායාරූපයක් පවා මෙම කැමරාවෙන් අපහසුවෙන් හෝ ලබාගැනීමට හැක!
මෙම කැමරාවේ ඇති විශාලන ලෙන්සයත් සමගින් බැලූ බැල්මට මෙය DSLR කැමරාවක ආකාරය ගනී. කෙසේ වෙතත් මෙය පොයින්ට් ඇන්ඩ් ෂූට් කැමරාවක සහ DSLR කැමරාවක අතර මැද ඇති කැමරාවක් ලෙසින් හඳුන්වා දීම වඩාත් උචිත වේ. සූම් ලෙන්සය සම්පූර්ණයෙන්ම භාවිතා කරනා විට මෙහි දිග අඟල් 14 ක් පමණ වන අතර, කෙසේ වත් ඔබට මෙය එක් අතකින් පරිහරණය කළ නොහැක. කෙසේ වුවත් මෙහි බඳ නිර්මාණය කොට ඇත්තේද වඩාත් වෘත්තීය මට්ටමේ කැමරාවක මෙන් දැඩිව ග්‍රහණය කරගැනීමට හැකි ආකාරයකින් වේ. මෙහි manual exposure control හැකියාව, 1/4000 ෂටර් වේගය සමගින් බාහිර මයික්‍රෆෝන සහායද තිබේ. ඊට අමතරව Wi-Fi සහ Bluetooth රැහැන් රහිත සම්බන්ධතාවයන්ද මෙහි තිබේ. මෙහි බැටරි ආයුකාලය එක් ආරෝපණයකින් ඡායාරූපයන් 250 ක් පමණ ගැනීමට සෑහෙන අතර, එය වීඩියෝ පටිගත කිරීමේදී ප්‍රමාණවත් නොවනු ඇතිදැයි සැකයක් මතුවේ. එසේම මෙහි මිලද මූලිකව ඇමරිකානු ඩොලර් 999.95 ක් ලෙස සටහන් කොට ඇති බැවින්, ශ්‍රී ලංකාව වැනි රටකට ගෙන්වා ගැනීමේදී සැලකිය යුතු ඉහළ අගයක් ගනු ඇත. එවැනි මිලකට මෙම Coolpix P1000 කැමරාවේ වටිනාකමක් ඇතිද? සැබවින්ම එය තීරණය වන්නේ ඔබගේ ඡායාරූප අවශ්‍යතාවන් මත වනු ඇත.