කැමරාවක් මිලදී ගැනීමට යන ඕනෑම අයෙකුට පැන නගිනා පොදු ගැටලුවක් තිබේ. එනම් මිලදී ගත යුත්තේ කුමනාකාරයේ කැමරාවක්ද යන්නයි. අවශ්‍ය නම් DSLR හෝ Mirrorless වර්ගයක වඩාත් වෘත්තිය මට්ටමේ කැමරාවක් මිලදී ගැනීමට හැකි වුවත්, ඒ සඳහා විශාල මුදලක් වැය වනු ඇත. එසේම එවැනි වෘත්තීය මට්ටමේ කැමරාවක් භාවිත කිරීමද එතරම් පහසු නොවනා අතර, එයට යම් පළපුරුද්දක් අවශ්‍ය වේ. අවශ්‍ය නම් DSLR හෝ Mirrorless කැමරාවක්ම ආධුනිකයන් සඳහා නිමවා ඇති entry-level සංස්කරණයකින් මිලදී ගැනීමට හැකි අතර, එවිට පූර්ව පළපුරුද්දක් අවශ්‍ය නොවේ.
එසේත් නැතිනම් වඩාත් අඩු මුදලකට මිලදී ගත හැකි Point and Shoot ඩිජිටල් කැමරාද විශාල ප්‍රමාණයක් වෙළෙඳ පොළේ තිබේ. මේවාද අඩු මිල මූලික කැමරාවල සිට වඩාත් ඉහළ මට්ටමේ ලෙන්සයන් සහ හැකියාවන් ඇති වැඩි මිල ඩිජිටල් කැමරා දක්වා ඉහළ පරාසයක වේ. මේවායින්ද ස්වයංක්‍රීය සැකසුම් යටතේ ඕනෑම අයෙකුට ඡයාරූප ගැනීමට හැකිය. නමුත් වෘත්තිය මට්ටමේ කැමරාවකින් සහ විශාල ලෙන්සයකින් ලබාගත හැකි ආකාරයේ සුන්දර ඡායාරූපයන් බලාපොරොත්තුවෙන් ඩිජිටල් කැමරාවන් මිලදී ගන්නවුන්ගේ බලාපොරොත්තු ක්ෂණයකින් සුන්ව යනු ඇත.
මේ අතරේදී වර්තමානයේ වෙළෙඳ පොළේ ඇති බොහෝ ස්මාට්ෆෝන් සමගින් වඩාත් දියුණු කැමරා පද්ධතීන් ඇත. බොහෝ දෙනෙකු ඩිජිටල් කැමරාවක් සඳහා වන මිලටත් වඩා වැඩි මුදලක් ගෙවා ස්මාට්ෆෝනයක් මිලදී ගන්නේ, සිය ඡායාරූප ශිල්පීය කටයුතුද ඒ සමගින්ම ඉටු කරගැනීමට සිතමිනි. සැබවින්ම එයට වරදක් කීමට නොහැක්කේ බුද්ධිමත් තාක්ෂණයන් සහ විවිධ ෆිල්ටරයන් සමගින් වඩාත් සුන්දර ඡායාරූප පහසුවෙන් ගැනීමට පමණක් නොව, වෘත්තිය මට්ටමේ කැමරාවන්ගෙන් ලබාගත හැකි ආකාරයේ පසුතලය බොඳ වූ ඡායාරූපයන් ගැනීමටද හැකියාව ලබාදෙන බැවිනි.
කෙසේ වෙතත් මේ කතාකරන්නට යන්නේ කැමරා අතර මෙම හිඩැස පිරවීම සඳහා නිර්මාණය වී ඇති සෝනි ඩිජිටල් කැමරාවක් සම්බන්ධයෙනි. බොහෝ දෙනෙකු සෝනි ඩිජිටල් කැමරාවක් වෙනුවට ඉහළ මට්ටමේ කැමරා පද්ධතියක් සහිත ස්මාට්ෆෝනයක් තෝරාගන්නට පෙළඹිය හැකි වුවත්, වෙළෙඳ පොළේ බහුලව ඇති කිසිදු ස්මාට්ෆෝනයකට මෙම නව ඩිජිටල් කැමරාව මගින් ලබාදෙන විශේෂත්වය ලබාදීමට නොහැකි වනු ඇත. ඒ, අතිශයින්ම සංයුක්ත කැමරා බඳක් තුළ සැඟවූ අතිවිශාල සූම් ලෙන්සයකි. මේ Sony Cyber-Shot RX100 VI ඩිජිටල් කැමරාවයි.
සෝනි සමාගම මගින් දියත් කළ RX100 කැමරා පෙළෙහි නවතම සාමාජිකයා වන මෙම Cyber-Shot RX100 VI කැමරාවේ විශාල ඇපචර් ලෙන්සයක් තිබෙනා අතර, බැලූ බැල්මට එතරම් විශාල සූම් ලෙන්සයක් මෙවැනි හුරුබුහුටි කැමරාවක සඟවා ඇත්තේ කෙසේද යන්න පිළිබඳව ඔබ මවිත වනු ඇත.
මෙහි මෙගාපික්සල් 20 ක 1.0-type Exmor RS CMOS සෙන්සරයක් තිබෙනා අතර, වඩාත් උපරිම වේගයක් ලබාදීම සඳහා කැමරා පද්ධතියේ ස්ථාපනය කළ DRAM චිපයක් තිබේ. එසේම සෝනි සමාගමේ ඉහළ මට්ටමේ Mirrorless කැමරාවන්හි දක්නට ලැබෙනා ආකාරයේ BIONZ X ඉමේජ් ප්‍රොසෙසරයක්ද මෙහි ඇත. සෝනි සමාගම සඳහන් කරනා ආකාරයට මෙම නව ප්‍රොසෙසරය සමගින්, 315-point autofocus tracking හැකියාවට තත්පර 0.03ක් තරම් ක්ෂණික කාලයක් තුළදී ඡායාරූපයට බඳුන් වන තැනැත්තාව හෝ වස්තුව ඉලක්ක කරගැනීමට අවකාශය ලැබෙනු ඇත. එසේම continues shooting ආකාරයේදී පවා තත්පරයට රාමු 24 ක් දක්වා ශීඝ්‍රතාවකින් ඉහත වේගයම පවත්වා ගැනීමට එම ඉමේජ් ප්‍රොසෙසරයට හැකියාව ලැබෙනු ඇත. මෙම ආකාරයේදී කැමරාවට හැසිරවිය හැකි උපරිම සීමාව වන්නේ සේයාරූ 233ක් වන නිසා, ඉහළ වේගයකින් එක දිගට ඡායාරූප ගැනීමේදී පවා කිසිදු මන්දගාමීත්වයක්, සිරවීමක් අත්විඳින්නට නොලැබෙනු ඇත.
මෙහි ඇති ප්‍රධානතම විශේෂත්වය වන දැවැන්ත 24-200mm ප්‍රමාණයේ ලෙන්සයේ f අගය2.8 සිට 4.5 දක්වා වේ. මෙවැනි ලෙන්සයක් සාමාන්‍යයෙන් සංයුක්ත ඩිජිටල් කැමරාවක් දක්නට නොලැබේ. එයට ප්‍රධාන හේතුව වන්නේ වීදුරු කොටස් 15 කින් පමණ තැනුණු, 8X සූම් බලයක් සහිත ටෙලිෆොටෝ ලෙන්සයක් කුඩා ඩිජිටල් කැමරා බඳක අන්තර්ගත කිරීම සැබවින්ම අභියෝගයක් වන බැවිනි. එනමුත් සෝනි සමාගම එම අභියෝගය සාර්ථකව ජය ගෙන ඇති සැටියක් පෙනේ.
මෙම Cyber-Shot RX100 VI කැමරාවේ ස්පර්ෂ තිරයක් තිබෙනා අතර, එය ඔබට ග්‍රහණය කර ගැනීමට අවශ්‍ය දර්ශනය නැරඹීමට පමණක් නොව ඇඟිලි තුඩින් ඔබට නාභිගත කිරීමට අවශ්‍ය ප්‍රදේශය පිළිබඳව විධානයක් ලබාදීමටද භාවිත කළ හැකිය. මෙය මින් පෙර සංස්කරණයන්හි දක්නට ලැබුණු එකට වඩා අතිශයින්ම පරිශීලක මිත්‍රශීලී බව නොකිවමනායි. එසේම මෙම ස්පට්ෂ තිරය අංශක 180ක් දක්වා කරකැවීමට හැකි බැවින් ඔබට අපහසු කෝණයන්ගෙන් ඡායාරූප ගැනීමට මෙන්ම සෙල්ෆි ඡායාරූප ගැනීමටද පහසුවෙන්ම මෙම ඩිජිටල් කැමරාව භාවිත කළ හකිය. එසේම මේ සමගින් OLED ඉලෙක්ට්‍රොනික වීව්ෆයින්ඩරයක්ද තිබෙනා අතර, එය කැමරාවෙන් පිටතට අවශ්‍ය විට ගැනීමට හැකි යාන්ත්‍රණයක්ද තිබේ.
මෙයට අමතරව මෙහි වීඩියෝ පටිගත කිරීමේ හැකියාවන් සම්බන්ධයෙන් සඳහන් කරන්නේ නම්, ඊට 4K ගුණාත්මක තත්වයේ වීඩියෝ තත්පරයට රාමු 30ක ශීඝ්රතාෙවන් සහ 1080p ගුණාත්මකභාවයේ වීඩියෝ අන්තර්ගතයන් තත්පරයට රාමු 120 ක ශීඝ්‍රතාවකින් ග්‍රහණය කරගැනීමට හැකියාව ඇත. එසේම මෙහි HDR හැකියාවන් තිබෙනා අතර, පසු-නිෂ්පාදනයේදී විශාල වශයෙන් වර්ණ සීරුමාරු කිරීමට උත්සුක වන පරිශීලකයන් සඳහා Hybrid Log-Gamma picture ප්රොෆයිලයක්ද තිබේ. මෙහි උපරිම වීඩියෝ පටිගත කිරීමේ ශීඝ්‍රතාව වන්නේ තත්පරයට රාමු 1000ක් වන අතර, එහිදී වීඩියෝවේ ගුණාත්මකභාවය 480p දක්වා පහත බසිනු ඇත. මෙසේ ශීඝ්‍ර වේගයකින් සිදුවන ක්‍රියාදාමයන් පවා මෙම කැමරාව මගින් ඔබට ග්‍රහණය කරගැනීමට හැකියාව ලැබෙනු ඇත. නමුත් මෙහි ඇති එක් ගැටලුවක් වන්නේ මෙහි මයික්රෆෝනයක් නොමැති වීමයි.
මෙම Sony Cyber-Shot RX100 VI කැමරාව ලබන මාසයේ සිට වෙළෙඳ පොළට නිකුත් වනු ඇත.