රූපවාහිනී යන්ත්‍රයක් යනුවෙන් අසූව හා අනූව දශකයන් තුළ හඳුනාගත් හැඩි දැඩි යන්ත්‍රය මේ වනවිට අතීතයට එක් වී හමාරය. එම අවදියේදී තිබූ විශාලතම රූපවාහිනී යන්ත්‍ර අඟල් ප්‍රමාණයන් පවා මේ වනවිට අතිශයින්ම සාමාන්‍ය වී තිබේ. කෙසේ නමුත් අතිශයින්ම සිහින් නිමාවෙන් යුතු පැතලි තිර සහ වක්‍ර තිර රූපවාහිනීවල යුගය තවමත් පැවතියත්, එයද අනාගතයේදී නිමා වනු ඇතැයි සිතෙනා නව රූපවාහිනී සංකල්පයන් මේ වනවිට වෙළෙඳ පොළට හඳුන්වා දෙමින් පවතී.
මෙයින් එක් සංකල්පයක් වන්නේ බිත්තියේ එල්විය හැකි තරම් සැහැල්ලු සහ සිහින්, යෝධ පින්තූරයන් වැනි රූපවාහිනී යන්ත්රයන්ද වේ. එලෙසින්ම බිත්තියට සෘජුව දසුන් ප්රක්ෂේපණය කළ හැකි ප්රක්ෂේපණ රූපවාහිනී යන්ත්රද වැඩි වැඩියෙන් එළිදකිනු දකින්නට හැකිවේ.
සැබවින්ම ප්රක්ෂේපණ යන්ත්රයන් නැතිනම් පහසු වහරකින් හැඳින්වෙන ලෙසට ප්‍රොජෙක්ටරයන් යනු අද ඊයේ නිර්මාණය වූ යන්ත්‍රයක් නොවේ. එසේ වුවත් මේවා රූපවාහිනී යන්ත්රයන් ලෙසින් භාවිත කිරීමට නොහැකි වූ ප්‍රධාන බාධකය වූයේ බිත්තියේ හෝ තිරයේ සිට ප්‍රමාණවත් දුරකින් එය තැන්පත් කළ යුතු වීමත්, ප්‍රක්ෂේපණයේ දසුන්වල ගුණාත්මකභාවය ඉතා අවම වීමත් වේ. කෙසේ නමුත් හඳුන්වා දෙන නව ප්‍රොජෙක්ටර් රූපවාහිනී උපාංගයන් ඉලක්ක කරන්නේ මෙම ගැටළු ජයගැනීමයි.
එයට හොඳම උදාහරණ ලෙසින් මෑතකදී එළිදැක්වුණු Sony සහ LG සමාගම්වල නිර්මාණයන් වූ ප්‍රොජෙක්ටර් රූපවාහිනී යන්ත්‍ර ද්විත්වයක් පෙන්වා දිය හැකිය.
Sony LSPX-A1 Projector
හඳුන්වා දෙන Sony LSPX-A1 කෙටිදුර ප්රක්ෂේපණ යන්ත්‍රය ඔබට බිත්තියට අඟල් 9.6ක පමණ දුරකින් තැන්පත් කර තැබිය හැකි අතර, එය ඩිජිටල් උපාංග තැන්පත් කර තබනා සාමාන්‍ය කැබිනෙට්ටුවක් ලෙසින් දිස්වනු ඇත. ඔබ ප්රක්ෂේපණ යන්ත්‍රය ක්‍රියාත්මක කළ විට එය බිත්තියේ ඇති දැවැන්ත රූපවාහිනී යන්ත්‍රයේ පාදම ලෙස ක්‍රියාත්මක වනු ඇත.
ලේසර් බලගැන්වුම් ප්‍රොජෙක්ටරයක් වන මෙයට බිත්තියට අඟල් කිහිපයක් මෙපිටින් ස්ථානගතව තිබුණත් අඟල් 120ක වපසරියක් පුරා දසුන් මැවීමේ හැකියාව තිබේ. වෙනත් ලෙසකින් පවසන්නේ නම් මෙය අඟල් 120ක රූපවාහිනියක් ලෙසින් ක්‍රියාත්මක වනු ඇත. ඔබගේ විසිත්ත කාමරයට අඟල් 120ක රූපවාහිනියක් ප්‍රමාණයෙන් විශාල යැයි හැඟෙන්නේ නම් ඔබ කළ යුත්තේ ප්‍රොජෙක්ටරය බිත්තියට තවත් ආසන්න කිරීම පමණි. එය බිත්තිය ආසන්නයටම ගෙන ආ විට ඔබට අඟල් 85ක තිරයක් ලැබෙනු ඇත.
එසේම මෙයට 4096x2016 ක විභේදනයකින් යුතුව දසුන් මවනු ඇත. එනම් ඔබට 4K අන්තර්ගතයන් පවා එම ගුණාත්මකභාවයෙන්ම යුතුව මෙම ප්‍රොජෙක්ටර් රූපවාහිනිය හරහා නැරඹීමට හැකියාව තිබේ.
මෙයට ලුමන් 2500ක උපරිම දීප්තියක් ලබාදීමට හැකියාව තිබෙනා බැවින්, ඔබට සුපැහැදිලි දීප්තිමත් දසුන් ඉහළ තීව්රතාවකින් යුතුව නැරඹීමට හැකියාව තිබේ. එසේම මේ සමගින් පැමිණෙන Sony Triluminos තාක්ෂණය නිසා මෙම දසුන් ගුණාත්මක තත්ත්වය සැලකිය යුතු පරිද්දෙන් ඉහළ යනු ඇත.
මෙම Sony LSPX-A1 උපාංගයෙන් ලබාදෙන ඉහළ ගුණාත්මක තත්ත්වයේ ලේසර් දසුන් ප්රක්ෂේපණයට සමපාත වන ලෙසින් මෙහි ශ්‍රව්‍ය ප්‍රතිදානයද ඉහළ මට්ටමක තිබේ. මෙහි ඇති ඉහළ මට්ටමේ තාක්ෂණය මගින් ඔබේ විසිත්ත කාමරය සැබෑ ලෙසින් හැඟී යන සුපැහැදිලි හඬින් පුරවාලනු ඇත. මෙහි ශ්‍රව්‍ය පද්ධතිය සඳහා මධ්‍යම දුර ඩ්රයිවරයන් තුනක් සහ වීදුරු ටියුබ ට්වීටරයන් දෙකක් තිබෙනා අතර, එය වොට් 23ක ඇම්ප්ලිෆයරයකින් බලගැන්වේ.
එසේම මීට අමතරව වොට් 50ක සබ්වූෆරයක්ද මෙහි ස්ථාපනය වී තිබේ. මෙම පද්ධතිය එක්ව ගත් විට ඔබට මේ සඳහා වෙනම හෝම් තියෙටර් පද්ධතියක් හෝ වෙනත් සමාන සැකැස්මක් යොදාගැනීමට අවශ්‍යතාවක් පැන නොනගිනු ඇත.
මෙය අඟල් 35.25ක් පමණ දිගු, අඟල් 4.5ක් පළල සහ අඟල් 8.9ක් පමණක් උස කැබිනෙට්ටුවක් පමණක් වන බැවින් පහසුවෙන් කාමරයකින් කාමරයකට ගෙන යෑමටද අපහසුවක් නොමැත. මෙය ඇලුමිනියම් රාමුවකින් සහ දැවමුවා නිමාවකින් යුතු වන අතර, මෙහි HDMI පෝට් තුනක් සහ බ්ලූටූත් දුරස්ථ පාලකයක්ද තිබේ.
LG HU8OKA Projector
පසුගිය දින කිහිපයේදී කථාබහට ලක්වූ තවත් කෙටි දුර ප්‍රොජෙක්ටර් උපාංගයක් වන්නේ LG සමාගමෙන් හඳුන්වා දුන් වඩාත් කුඩා නිමාවක් ඇති මෙම LG HU8OKA උපාංගයයි. මෙය උස්, සිහින්, පෙට්ටියක හැඩයක් ගන්නා අතර, විසිත්ත කාමරයේ අවම ඉඩක් ගන්නා ලෙසින් නිර්මාණය වී ඇත. එසේ වුවත් මෙයට සැලකිය යුතු තරමේ විශාල තිරයක් මැවීමටත්, එහි 4K ගුණාත්මකභාවයේ අන්තර්ගතයන් දර්ශනය කරවීමටත් හැකියාව තිබේ.
මෙය LG සමාගම මගින් හඳුන්වා දුන් ප්‍රථම UHD ප්‍රොජෙක්ටරය ලෙසින් දැක්විය හැකි අතර, මෙයද ලුමන් 2500ක උපරිම දීප්තියකින් යුතුව සුපැහැදිලි දසුන් මැවීමට සමත් වනු ඇත. වෙනත් ලෙසකින් පවසන්නේ නම් ඔබේ විසිත්ත කාමරයේ විදුලි බල්බයන් දල්වා ඇති අවස්ථාවකදී වුවද ඔබට කිසිදු අපහසුවකින් තොරව පැහැදිලි දසුන් හා දීප්තිමත් වර්ණයන්ගෙන් යුතු අන්තර්ගතයන් මෙයින් නැරඹීමට හැකිවනු ඇත. මෙයට ලබාදිය හැකි උපරිම තිර ප්‍රමාණය අඟල් 150කි.
මෙයට 4K අන්තර්ගතයන් දර්ශනය කරවීමට හැකියාව තිබෙනා අතර, HDR අන්තර්ගතයන් සඳහාද මෙය සහාය ලබාදේ. එසේම මෙය එතරම් හොඳ ශ්‍රව්‍ය ප්‍රතිදාන පද්ධතියකින් සමන්විත නොවූවත්, වොට් 7 බැගින් වන ස්පීකරයන් දෙක මගින් ඔබට තෘප්තිමත් විය හැකි නාද සංකලනයන් ලබාදෙන්නට සමත් වනු ඇත. කෙසේ නමුත් ඔබට HDMI පෝට් හරහා හෝ බ්ලූටූත් හරහා හෝ ඔප්ටිකල් කනෙක්ටරය හරහා පහසුවෙන් සවුන්ඩ් බාර් එකක් හෝ වෙනත් ස්පීකර් පද්ධතියක් මෙයට ඈඳීමටද හැකියාව තිබේ.
මෙම LG HU8OKA උපාංගය හා LG සමාගමේ webOS 3.5 Smart TV පරිශීලක අතුරු මුහුණතද ස්ථාපනය වී පැමිණෙන බැවින්, ඔබට මෙය පහසුවෙන්ම රූපවාහිනියක් ලෙසින් මෙන්ම Netflix, Hulu හෝ YouTube වැනි යෙදුම් ක්‍රියාත්මක කළ හැකි ස්මාට් ටීවී උපාංගයක් ලෙසින්ද භාවිත කළ හැකිය. අවශ්‍ය නම් මෙහි ඇති USB පෝට් හරහා බාහිරින් මතක ධාරිතාවන් හෝ ධාවකයන් සම්බන්ධ කිරීමද පහසු කටයුත්තක් වනු ඇත.