ඔබ වෘත්තීයමය ඡායාරූප ශිල්පියෙකු හෝ වීඩියෝ ශිල්පියෙකු නැතිනම් වීඩියෝ බ්ලොගර් කෙනෙකු වුවත්, ඔබ පිටත රූගත කිරීමක් හෝ ඡායාරූප ගැනීමක් සිදුකරන්නේ නම් එයට පිටත් වීමට පෙර සිතිය යුතු කරුණු කාරණා ගණනාවක් තිබේ. ඔබට විය හැකි බොහෝ දෑ, රූගත කිරීමට හෝ ඡායාරූප ගැනීමට ප්‍රථම සැලසුම් කිරීමට සිදුවනු ඇත. ඔබ ගෙන යා යුතු දේ මොනවාද යන්නද එම සැලසුම් කිරීමට අයත් වේ. මෙහිදී ඔබේ කැමරා, ලෙන්ස, අමතර බැටරි, අමතර මතක චිපයන්, ඩ්‍රෝන් යානාවන්, ත්‍රිපාද ඇතුළු අනෙකුත් වුවමනා දහසකුත් එකක් අතිරේක උපාංග හෝ උපකරණයන්ට අමතරව, බොහෝ විට ඔබට ලැප්ටොප් පරිගණකයක්ද තිබීම අවශ්‍ය වනු ඇත. එයට හේතුව වන්නේ ඔබ එක දිගට රූගත කිරීම්, ඡායාරූප ගැනීම් සිදුකරන්නේ නම් එක් මොහොතකදී ඔබට මතක චිපයන්ගේ ඇති අන්තර්ගතයන් සුරක්ෂිත කළ යුතු වෙනත් උපාංගයක් අවශ්‍ය වන බැවිනි. එසේම එම මොහොතේම යම් යම් සංස්කරණයන් සිදු කිරීමටද අවශ්‍ය මෘදුකාංගයන් ස්ථාපිත ලැප්ටොප් උපාංගයකින් සැලසෙන සේවය සුළු කොට තැකිය නොහැකිය.
කෙසේ නමුත් ඔබට අවශ්‍ය සියලුම උපාංග සහ උපකරණ අතරතුර ලැප්ටොප් පරිගණකයක්ද රැගෙන යෑම අසීරු කරුණකි. එහි ආරක්ෂාව සම්බන්ධයෙන් මතුවන ගැටළු මෙන්ම, ඔබට ගෙන යා හැකි උපාංග, උපකරණ ප්‍රමාණයේ සීමාවන්ද මෙම අසීරුතාවට හේතු වනු ඇත.
මෙයට වසර තුනකට පමණ පෙරාතුව හඳුන්වා දුන් Gnarbox උපාංගය ඉදිරිපත් වූයේ මෙම ගැටළුවට සාර්ථක විසඳුමක් ලෙසිනි. සරලව හඳුන්වන්නේ නම් Gnarbox යනු ස්ථාපනය කළ පරිගණක පද්ධතියක් සහිත මතක ධාවකයක් ලෙසින් හැඳින්විය හැකිය. කෙසේ හෝ මේ වනවිට එම නිෂ්පාදන සමාගම සිය නවතම යාවත්කාලීන උපාංගය වන Gnarbox 2.0 මතක ධාවකයද නිර්මාණය කිරීමට පියවර තබා ඇත. මෙම සටහන ඒ සම්බන්ධයෙනි.
පැරණි Gnarbox උපාංගය සහ නව Gnarbox 2.0 උපාංගය සසඳා බලන විට බැලූ බැල්මට පෙනී යන්නේ Gnarbox 2.0 හි නිෂ්පාදකයන් විසින් සඳහන් කරන වැඩිදියුණු කිරීම්වලට අමතරව, වඩාත් හැඩි දැඩි, රළු භාවිතයට ඔරොත්තු දෙන ලෙසින් තැනූ කේසිනයක ආරක්ෂාවද තිබෙන බවයි. ඊට අමතරව මෙහි හැකියාවන් සහ විශේෂාංගයන්ද වඩාත් ප්‍රායෝගික මට්ටමක තිබෙන අතර, පරිශීලකයින්ට තෝරාගත හැකි මතක ධාරිතා සංස්කරණ කිහිපයකින්ම මෙය පැමිණීමද විශේෂත්වයකි.
මෙහි මුල් උපාංගය සේම Gnarbox 2.0 ද නිර්මාණය කොට ඇත්තේ ඡායාරූප හෝ වීඩියෝ ශිල්පියෙකුට නැතිනම් ඡායාරූප/වීඩියෝ අවශ්‍යතා ඇති ඕනෑම අයෙකුට තම ලැප්ටොප් උපාංගය වෙනුවට භාවිත කළ හැකි වඩාත් ජංගම, හුරුබුහුටි, ප්‍රමාණයෙන් කුඩා උපාංගයක් ලෙසිනි. මෙහිදී සැලකිල්ලට ගත යුත්තේ Gnarbox 2.0 උපාංගය ලැප්ටොප් උපාංගයක් වෙනුවට භාවිත කළ හැක්කේ වීඩියෝ හෝ ඡායාරූප බැක්-අප් කිරීම, කළමනාකරණය කිරීම, සංස්කරණය කිරීම හෝ රෙන්ඩර් කිරීම වැනි කාර්යයන් සඳහා මිස වෙනත් එදිනෙදා පරිගණක අවශ්‍යතා සඳහා නොවන බවයි.
මෙම උපාංගය මූලිකවම බාහිර SSD (Solid State Drive) මතක ධාරිතා උපාංගයක් වන අතර, එහි NVMe SSD මතකයක් තිබේ. එය ගිගාබයිට් 128 සිට ටෙරාබයිට් 1 දක්වා වන ධාරිතා සංස්කරණයන්ගෙන් වෙළෙඳ පොළට පැමිණෙනු ඇත. එසේම සම්මත සාම්ප්‍රදායික බාහිර මතක ධාවකයක දක්නට නොලැබෙන ලෙසින් මෙහි 2.4GHz Intel quad-core Atom ප්‍රොසෙසරයක්, ගිගාබයිට් 4 ක LPDDR3 රැම් මතකයක්, 4 Core Intel HD Graphics ග්‍රැෆික් ප්‍රොසෙසරයක් ස්ථාපනය කොට ඇත. මෙහි SD Card චිපයන් ඇතුළු කිරීම සඳහා විවරයක් මෙන්ම රැහැන් රහිත Wi-Fi හැකියාවද තිබේ. එසේම මෙහි USB-C ද්වාරයන් දෙකක් හා Micro HDMI ද්වාරයන් ද තිබේ. 3200mAh Lithium ion බැටරියක්ද මෙහි ඇත.
මෙහි ඉදිරිපස කුඩා OLED තිරයක් මෙන්ම එයට පහතින් සුවිශේෂී බොත්තම් හතරක පාලක යාන්ත්‍රණයක්ද පිහිටුවා ඇති අතර, ඔබට පහසුවෙන්ම වෙනත් උපාංගයක උපකාරය රහිතව SD කාඩ්පතකින් හෝ ෆ්ලෑෂ් මතක ධාවකයකින් හෝ සෘජුවම USB සම්බන්ධතාව ඔස්සේ දත්ත මෙම Gnarbox 2.0 මතක ධාවකයට සුරක්ෂිත කිරීමට හැකිය. මෙහිදී SD කාඩ්පත් සඳහා වන වේගය තත්පරයකට මෙගාබයිට් 75-100 දක්වා වන අතර, USB සම්බන්ධතාවය හරහා දත්ත උඩුගත කරන්නේ නම් තත්පරයකට මෙගාබයිට් 400-500 දක්වා වේගයක් ලැබෙනු ඇත. මෙයද වෙනත් ක්රමයන් ඔස්සේ ලැප්ටොප් උපාංගයකට ඔබේ කැමරාවන්ගේ දත්ත උඩුගත කිරීමේදී ලැබෙන සාපේක්ෂ දුර්වල වේගය වෙනුවට වැඩිදියුණු වීමක් ලෙසින් ගණන් ගැනීමට හැකිය. එසේම මෙහි බැටරි බලය ඔබට
එකදිගට පැය පහක පමණ කාලයක් දත්ත බැක්-අප් කිරීමටද, පැය තුනක පමණ කාලයක් සංස්කරණ කටයුතු සඳහාද අවකාශය ලබාදෙනු ඇත. එසේම මෙම බැටරිය ඔබට පහසුවෙන් ගලවා ඉවත් කළ හැකි බැවින්, අමතර බැටරියක් ගෙන යෑම පමණක් වඩාත් වැඩි කාලයක් Gnarbox 2.0 උපාංගයේ මෙහෙයුම් බලය ලබාගැනීම සඳහා ප්‍රමාණවත් වනු ඇත.
මෙම Gnarbox 2.0 උපාංගයේ පරිගණක පද්ධතිය සමගින් ඔබට ස්මාට්ෆෝනයේ හෝ ටැබ්ලට් උපාංගයේ ස්ථාපනය කළ හැකි මොබයිල් ඇප් හතරක් ලැබෙනු ඇත. ඒවා නම් වශයෙන් Safekeep, Selects, Sequence සහ Showcase ලෙසින් දැක්වේ. මෙයින් Safekeep යනු Dropbox සහායද සහිත බැක්-අප් සහ ගොනු කළමනාකරණ මෙවලමක් වේ. ඡායාරූප සහායක යෙදුමක් වන Selects මගින් RAW ඡායාරූප නැරඹීමට සහ මූලික වර්ණ නිවැරදි කිරීම් සිදුකිරීමට අවකාශ සපයනු ඇත. එසේම වීඩියෝ සංස්කරණ යෙදුමක් වන Sequence මගින් වීඩියෝ ක්ලිපයන් සඳහා මූලික සංස්කරණයන් කිරීමට ඉඩ ලබාදීම සහ වීඩියෝ ක්ලිපයන් රෙන්ඩර් කිරීමට සහ වෙනත් යෙදුම් වෙත එක්ස්පෝට් කිරීමට පහසුකම් සලසයි. අවසාන වශයෙන් Showcase මගින් ඔබට විශාල තිරයකට උපාංගය HDMI ද්වාරය ඔස්සේ සම්බන්ධ කොට, වීඩියෝ සහ ඡායාරූප නැරඹීමට ඉඩ සලසයි. මෙම යෙදුම් සතරට අමතරව Adobe Lightroom CC, Lumafusion, සහ Gnarbox Classic යන මෘදුකාංගයන් හා සම්පූර්ණ අනුකූලත්වය සමගින් Gnarbox 2.0 උපාංගය වෙළෙඳ පොළට පැමිණෙනු ඇත.
මෙම සම්පූර්ණ උපාංගයම දැඩි, රළු භාවිතයට ඔරොත්තු දෙන බාහිර ආවරණයකින් නැතිනම් කේසිනයකින් යුක්ත වන අතර, එය දුහුවිල්ලෙන් සහ ජලයෙන් ආරක්ෂා වන බවට පැවසෙන IP67 සහතිකයද අත්පත් කොටගෙන ඇත. එසේම මෙහි මානයන් අඟල් 6 X 3 X1.16 ප්‍රමාණයේ වන අතර, ඔබට මෙය ඕනෑම රළු වාතාවරණයක භාවිත කිරීමට හැකිවාක් මෙන්ම පහසුවෙන් ඔබේ කැමරා බෑගයේ සුළු ඉඩක තැන්පත් කොට එහා මෙහා ගෙන යෑමටද හැකියාව ලැබෙනු ඇත.
මෙය මෙම වසර අවසාන කාර්තුවේදී පමණ වෙළෙඳ පොළට නිකුත් කිරීමට Gnarbox 2.0 නිෂ්පාදකයන් බලාපොරොත්තු වේ.
වැඩි විස්තර සඳහා:
goo.gl/HqAkEv