මෑතකාලීන ස්මාට්ෆෝන් ලෝකයට මේ වනවිට වේගයෙන් එකතු වූ නව තාක්ෂණික විලාසිතාවන් කිහිපයකි. එයින් එකක් නම් සම්පූර්ණ ස්මාට්ෆෝනයේ ඉදිරිපස රාමුව පුරා, දාරයන් දක්වා විහිදී ගිය තිරයයි. මෙහිදී ස්මාට්ෆෝනයේ ඉදිරිපස පෘෂ්ඨයෙන් කෙතරම් ප්‍රතිශතයක් ස්මාට්ෆෝනයේ තිරය වන්නේද යන සාධකය වැදගත් තැනක් ගනී. මෑතකදී පැමිණි iPhone X ස්මාට්ෆෝනයේ තිරය ඉහළ මධ්‍යයේ කැමරාව සහ මයික්‍රෆෝනය සඳහා වන ඉඩ හැරුණු විට අනෙක් සෑම වර්ග සෙන්ටිමීටරයක්ම අත්පත් කොටගෙන තිබීමත් සමගින් මෙම විලාසිතාව සඳහා උද්යෝගයක් පැන නැගුණි.
තවත් මේ කාලයේ ප්‍රසිද්ධ තාක්ෂණික විලාසිතාවක් වන්නේ, DSLR වැනි වෘත්තීමය කැමරාවන්හි ආකාරයට ඡායාරූපයක ගැඹුරද හුවා දක්වමින් ඡායාරූප ගැනීමට ස්මාට්ෆෝනයට ලබාදී ඇති හැකියාවයි. මේ සඳහා මේ වනවිට ජනප්‍රිය ක්‍රමය වන්නේ පසුපස කැමරා ද්විත්වයක පද්ධතියක් ස්ථාපනය කිරීමයි. ඒ අතරේදී HUAWEI සමාගම මගින් සිය නවතම ෆ්ලැග්ෂිප් ස්මාට්ෆෝනයට කැමරා තුනක පද්ධතියක් ලබාදීම දක්වා මෙම සංකල්පය ඉදිරියට ගෙන ගොස් තිබිණි.
මෙම කරුණු දෙකට අමතරව ඇඟිලි සලකුණු සංවේදකය සහ මුහුණු හඳුනාගැනීමේ හැකියාව නවීන තාක්ෂණික විලාසිතා යැයි කීමට නොහැකි වූවත්, මේ වනවිට ස්මාට්ෆෝන් පරිශීලකයෙකු විසින් ස්මාට්ෆෝනයකින් බලාපොරොත්තු වන අංගයන් බවට පත්ව තිබේ.
මෙම සියලුම අටුවා ටීකා කීමට අවශ්‍ය වූයේ, VIVO සමාගම විසින් පසුගිය මාසයේදි එනම් අප්‍රේල් මස
වෙළෙඳ පොළට දියත් කළ VIVO V9 ස්මාට්ෆෝනය සම්බන්ධයෙන් විස්තර පැවසීම වෙනුවෙනි.
ආකර්ෂණීය පෙනුම
මෙම නවතම VIVO V9 ස්මාට්ෆෝනය බැලූ බැල්මට Apple iPhone X ලෙසින් වරදවා වටහා ගැනීම අහඹුවක් නොවේ. සම්පූර්ණයෙන්ම අනුකරණාත්මක නිර්මාණ සැලසුමක් යැයි කීමට නොහැකි වුවත්, VIVO V9 ස්මාට්ෆෝනය මගින් iPhone X හරහා ඇති කළ ස්මාට්ෆෝනයේ ඉහළ කෙළවර දක්වා විහිද ගිය තිරයේ උන්මාදය සිය නිෂ්පාදනය සඳහාද මනාව උපයෝගී කොට ගෙන ඇත. සැබවින්ම ඔවුන් iPhone X උපාංගයටත් වඩා හොඳින්, වඩාත් අඩු ඉඩ ප්‍රමාණයක් කැමරාවට සහ අනෙකුත් සෙන්සරයන්ට ස්මාට්ෆෝනයේ ඉහළ ගැටියෙන් ලබාදෙමින් සිය VIVO V9 උපාංගයේ ඉදිරිපස පෘෂ්ඨය හා තිරය අතර අනුපාතය නිෂ්පාදකයන් පවසන ආකාරයට 90෴ ක් දක්වා ගෙනැවිත් ඇත. එසේම මෙහි IPS LCD තිරයද අඟල් 6.3 ක් (2280 x 1080) වේ. එනමුත් වර්තමානයේ ඇති තවත් නව තාක්ෂණික හැඩසවීමක් වන තිර අනුපාතය 19:9 දක්වා වෙනස් කිරීම හරහා, විශාල තිරයක් ඇති ස්මාට්ෆෝනයක් අතට පහසුවෙන් අල්වා ගත හැකි ප්‍රමාණයක උස්, සිහින් උපාංගයක් බවට පරිවර්තනය කිරීමට V9 නිෂ්පාදකයන් සමත් වී ඇත. මෙහි දසුන්වල සුපැහැදිලිතාව සහ තියුණු වර්ණයන්ද සැබවින්ම ප්‍රශංසාවට ලක්විය යුතු තරමට ඉහළ ගුණාත්මක මට්ටමක තිබේ.
මෙහි ඉදිරිපස පෙනුම මගින් V9 ස්මාට්ෆෝනයට වඩාත් නවීන, ඉහළ පරාසයේ ස්මාට්ෆෝනයක පෙනුම ලැබී ඇත. කෙසේ වෙතත් මෙහි පසුපස ප්ලාස්ටික් නිමැවුමක් වීම නිසා හොඳ සහ නරක තත්ත්වයන් දෙකක් ඇතිවී තිබේ. හොඳ නම් ඒ මගින් වඩාත් සැහැල්ලු ස්මාට්ෆෝනයක් නිර්මාණය කිරීමට ඉඩ ලැබී තිබීමයි. නරක වන්නේ ප්ලාස්ටික් පසුපස නිසා ස්මාට්ෆෝනයේ ඉදිරිපස ඇති පෙනුමට මඳ හානියක් සිදුවී තිබීමයි.
දෘඪාංග සහ මෘදුකාංග ප්‍රබලත්වය
මෙහි Qualcomm MSM8953-Pro Snapdragon 626 චිප පද්ධතිය මත නිර්මාණය වුණු Octa-core 2.2 GHz Cortex-A53 ප්‍රොසෙසරයක් ස්ථාපනය කොට ඇත. එසේම Adreno 506 ග්‍රැෆික් ප්‍රොසෙසරයක්ද තිබේ. මෙහි ගිගාබයිට් 4ක රැම් මතකයක් තිබෙන අතරම අභ්‍යන්තර මතක ධාරිතාව ගිගාබයිට් 64 ක් වේ. එසේම microSD කාඩ්පත් හරහා ගිගාබයිට් 256 ක් දක්වා ඉහළ නැංවිය හැකි බාහිර මතකයක්ද තිබේ.
සාමාන්‍යයෙන් මධ්‍යම-පරාසයේ ස්මාට්ෆෝනයක් සම්බන්ධයෙන් සිතන්නෙකුට මෙම දෘඪාංග හැකියාවන් අතිශයින්ම ප්‍රමාණවත් වේ. නමුත් ගැටලුව වන්නේ VIVO V9 ස්මාට්ෆෝනය එම සන්නාමයේ ඉහළ-පරාසයේ ස්මාට්ෆෝනයක්ය යනුවෙන් බොහෝ විට වටහා ගැනීම් තිබීමත්, ඒ අනුව එය මිලදී ගැනීමට යන පරිශීලකයන්ගේ අපේක්ෂාවන් මෙම දෘඪාංග පිරිවිතර මගින් ඉටු නොවීමත් වේ. ඔවුන් බලාපොරොත්තු වනු ඇත්තේ ගිගාබයිට් 6 ක රැම් මතකයක් සහ වඩාත් ප්‍රබල ප්‍රොසෙසරයකි. සැබවින්ම VIVO V9 අයත් වන්නේ කුමන පරාසයටද යන්න සම්බන්ධයෙන් අප අදහස් නොදක්වමු.
මෙම VIVO V9 ස්මාට්ෆෝනය Android 8.1 Oreo මෙහෙයුම් පද්ධතිය මතින් දිවෙන අතර, මෙහි පරිශීලක අතුරු මුහුණත ලෙසින් VIVO සඳහා ආවේණික Funtouch OS 4.0 මෙහෙයුම් පද්ධතිය ඇත. V9 ස්මාට්ෆෝනය සමගින් පෙරනිමියෙන් ස්ථාපනය වී පැමිණෙන අනවශ්‍ය යැයි කිව හැකි යෙදවුම් වැඩි ප්‍රමාණයක් තිබීම ඇතැම් විට පරිශීලකයෙකුගේ නොරිස්සුමට හේතු විය හැකිය. එසේ වුවත් සමස්තයක් ලෙසින් ගත් විට මෙහෙයුම් පද්ධතිය සහ යෙදෙවුම් ඉතාමත් හොඳින්, සිරවීමකින් තොරව ක්‍රියාත්මක වීම V9 ස්මාට්ෆෝනයේ විශිෂ්ට ජයග්‍රහණයක් ලෙසින් දැක්විය යුතුවේ.
කැමරා පද්ධතිය
මෙම VIVO V9 ස්මාට්ෆෝනයේ කැමරා මොඩියුල දෙකක පද්ධතියක් තිබේ. එයින් ප්‍රධාන කැමරාව මෙගා පික්සල් 16 ක් වන අතර, ගැඹුර සඳහා සංවේදී වන දෙවැනි කැමරාව මෙගාපික්සල් 5ක් වේ. මෙම කැමරා පද්ධතියෙන් ලබාගන්නා ඡායාරූපයන් සම්බන්ධයෙන් පරිශීලකයෙකු තෘප්තිමත් වනු ඇති අතර, විශේෂයෙන්ම ඡායාරූපයක පසුතලය බොඳ කොට ඊට වඩාත් කලාත්මක මුහුණුවරක් ලබාදෙන bokeh ආකාරය ඉතාමත්ම නිරවද්‍ය සහ ආකර්ෂණීය ඡායාරූප ලබාගැනීමට හේතු වනු ඇත. මෙහි dual-LED ෆ්ලෑෂරයක් ඇති අතර, Geo-tagging, touch focus, face detection, HDR, panorama යන සුපුරුදු විශේෂාංගයන්ද තිබේ. 2160p විභේදනයකින්, තත්පරයට රාමු 30 ක වේගයකින් වීඩියෝ පටිගත කිරීමටද මෙයට හැකියාව ඇත. වඩාත් අඳුරු පරිසරයක ඡායාරූප ගැනීමේදී මෙම ගුණාත්මකභාවය මඳක් පහත වැටීමට හැකිය.
මෙහි ඉදිරිපස ද්විතීයික කැමරාව මෙගා පික්සල් 24ක් වන අතර, එය විශිෂ්ට සෙල්ෆිකැමරාවක් ලෙසින් හැඳින්විය හැකිය. ඉහළ ගුණාත්මක මට්ටමක සෙල්ෆි ඡායාරූප ගැනීම සඳහා මෙහි ඇති බුද්ධිමත් ස්වයංක්‍රීය සැකසුම් හැකියාව සහ beautification ආකාරය උපකාරී වනු ඇත.
තවත් තාක්ෂණික කරුණු
මෙහි ඇති ඇඟිලි සලකුණ කියැවීම මගින් ස්මාට්ෆෝනය අගුලු හැරීමේ හැකියාවත්, මුහුණ හඳුනා ගැනීම මගින් ස්මාට්ෆෝනය අගුලු හැරීමේ හැකියාවත් ක්ෂණික වීම බොහෝ පරිශීලකයන්ගේ සතුටට හේතු වී ඇති කරුණකි.
මෙහි සම්බන්ධතාවන් සඳහා Wi-Fi 802.11, Bluetooth 4.2 සහ GPS පහසුකම් ඇති අතර, USB On-The-Go හැකියාව සමගින් microUSB 2.0 ද්වාරයක්ද ඇත. අනෙකුත් තරගකාරී නවීන ස්මාට්ෆෝනයන් හා සසඳන විට මෙහි USB Type-C ද්වාරයක් නැතිවීම VIVO V9 හි අඩුවක් ලෙසින් දැකීමට හැකිය.
එසේම මෙහි ඇති 3260mAh ප්‍රමාණයේ බැටරියද සැලකිය යුතු තරම් කාලයක් එක් ආරෝපණයකින් ස්මාට්ෆෝනයෙන් වැඩ ගැනීමට අවකාශ ලබාදේ. මෙය සැබවින්ම ඉහළින් ලකුණු ලබාදිය හැකි කරුණක් වන්නේ, ස්මාට්ෆෝනයේ බැටරි බලය ප්‍රමාණවත් කාලයක් රඳවා ගැනීම ඕනෑම සන්නාමයක ස්මාට්ෆෝන් පරිහරණය කරන්නෙකුට අත්විඳීමට සිදුවන ගැටලුවක් බැවිනි.
මිල සහ වටිනාකම
OPPO සහ OnePlus සන්නාමයන් සමගින් අත්වැල් බැඳගෙන පැමිණෙන ඉහළ ගුණාත්මක භාවයක ස්මාට්ෆෝන් වෙළෙඳ නාමයක් ලෙසින් VIVO හැඳින්වීමට හැකිය. මෙම V9 ස්මාට්ෆෝනය ශ්‍රී ලංකාව තුළ අලෙවි වන මිල ගණන් රුපියල් 48,500ක සිට
රුපියල් 55,000 ක් දක්වා පරාසයක වේ. ඉහත දැක්වූ ආකාරයේ තාක්ෂණික පිරිවිතර, දෘඪාංග හා මෘදුකාංග හැකියාවන් සහ මනා නිමාවක් ඇති VIVO V9 ස්මාට්ෆෝනය මධ්‍යම-පරාසයේ ස්මාට්ෆෝනයක් ලෙසින් සලකා බලන විට එම මුදලට වටිනා බව අවසාන වශයෙන් කීමට හැකිය.