ටෙලිග්‍රෑම් සමාජ මාධ්‍ය හරහා 22 හැවිරිදි තරුණියකට ඒ අයි තාක්ෂණය ඔස්සේ නිර්මාණය කරන ලද නිරුවත් ඡායාරූප යොමුකර ලිංගික අතවර කළ 17 හැවිරිදි පාසල් සිසුවෙකු පානදුර මහවිල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පරිගණක අපරාධ විමර්ශන ඒකකය කියයි.
ටෙලිග්‍රෑම් සමාජ මාධ්‍ය හරහා සිදුකළ අපරාධයකට මෙරටදී අත්අඩංගුවට ගත් ප්‍රථම සැකකරු මොහු බව පොලිසිය කියයි. සැකකාර සිසුවා ඒ සඳහා යොදාගත් ස්මාට් වර්ගයේ ජංගම දුරකථනයේද පොලිස් භාරයට ගෙන ඇත.
පානදුර ප්‍රදේශයේ තරුණියක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන ඒකකය වෙත කරන ලද පැමිණිල්ලකට අනුව පුරා මාසයකට ආසන්න කාලයක් ඒ සම්බන්ධයෙන් සිදුකළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකාර සිසුවා වෙනත් පාසලක අධ්‍යාපනය ලබන සිසුවියකගෙන් අධ්‍යාපන කටයුත්තකට බව පවසා ඔහුගේ වට්සැප් දුරකතන අංකය ලබාගෙන ඔහුව මුලාකර අනතුරුව ඕ. ටි. පි. අංකය ද ලබාගෙන එම සිසුවාගේ නමට මෙම ටෙලිගෑම් ගිණුම සකස් කර තිබූ බව විමර්ශනවලදී අනාවරණය වී තිබිණි.
ඒ ඔස්සේ පැමිණිලිකාර තරුණියට විවිධ අසභ්‍ය ඡායාරූප පැමිණිලිකාරියගේ සාමාන්‍ය ඡායාරූපයට නිරුවත් ඡායාරූප යොදා ඒ අයි තාක්ෂණය ඔස්සේ නිර්මාණය කර සකස් කර තරුණියගේ ටෙලිගෑම් ගිණුම ට යොමු කර ඇති බවත් , මීට අමතරව ලිංගික අවයවයන් ද යොමු කර ඇති බවක් විමර්ශනවලදී හෙළිවී ඇත.
මෙම ටෙලිග්‍රෑම් ගිණුම හරහා ප්‍රධාන සැකකරු හා තවත් කීප දෙනෙකු අතර මෙම අසභ්‍ය ඡායාරූප හුමාරුවේ ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී ඇති අතර එම සැකකරුවන්ද අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මක බව පොලිසිය කියයි.
බොහෝ නීති විරෝධී කටයුතුවල යෙදෙන්නන් නීතියට හසු නොවන බව සිතා වට්සැප් තාක්ෂණයෙන් හා වෙනත් ක්‍රමවේද වලින් මිදී (ප්‍රතිග්‍රාහකයාට දුරකථන අංකය නොපෙනෙන හෙයින්) මේ දිනවල ජනප්‍රිය ටෙලිග්‍රෑම් සමාජ මාධ්‍යයට හුරුවී ඇති අතර එයින්ද නීතියෙන් ගැලවීමට ඉඩක් නොමැති බව මෙම සිද්ධිය හොඳම උදාහරණයක් බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
ලිංගික අතවර කිරීම සහ අසභ්‍ය දර්ශන නිෂ්පාදනය කිරීම හා ප්‍රචාරය කිරීම යන චෝදනා සම්බන්ධයෙන් සැකකාර සිසුවා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන ඒකකය පරීක්ෂණ පවත්වයි.