ඡායාරූප සහ වීඩියෝ දසුන් ග්‍රහණය කර ගැනීම සඳහා නිමවා ඇති ඩ්‍රෝන යානාවන් යනු තවදුරටත් ආගන්තුක තාක්ෂණයක් නොවේ. එය වර්තමානයේදී අතිශයින්ම සුලභ දෙයක් වී ඇති අතර, ඒ නිසාවෙන්ම ඩ්‍රෝන යානාවන්ද දිනෙන් දින වඩාත් වැඩි දියුණු වෙමින්, වඩාත් හුරුබුහුටි වෙමින් වෙළෙඳ පොළට පැමිණෙන බව දක්නට ලැබේ.
මෙසේ දිනෙන් දින වැඩිදියුණු වන ඩ්‍රෝන යානාවන් හැකිතාක් ප්‍රමාණයෙන් කුඩා, සැහැල්ලු සහ ජංගම ආකාරයකින් නිර්මාණය කිරීම සඳහා බොහෝ ඩ්‍රෝන නිෂ්පාදකයන් උත්සුක වෙයි. මෙම ව්‍යායාමය වෙත එක්වී ඇති නවතම උද්යෝගය වන්නේ හැකිළිය හැකි අත්දඬු සමගින් වඩාත් ජංගම නිර්මාණ සැලසුමකට අනුව නිෂ්පාදනය වන ඩ්‍රෝන යානායි. මේ වන විටද මෙවැනි ඩ්‍රෝන සඳහා උද්යෝගයක් දක්නට තිබුණත් සැබවින්ම මෙය අතිනවීන නිර්මාණ සැලසුමක් ලෙසින් දැක්විය නොහැක්කේ, මෙයට වසර දෙකකට පෙරාතුව GoPro Karma සහ DJI Mavic Pro යන ඩ්‍රෝන යානාවන්ද මෙවැනිම ආකාරයේ හැකිළිය හැකි තටු වෙත යන අත්දඬු සැලසුමකින් එළිදැක්වුණු බැවිනි. කෙසේ නමුත් හඳුන්වා දෙන නවතම Parrot Anafi ඩ්‍රෝන යානාව සම්බන්ධයෙන් කතා කළ යුතු තවත් සුවිශේෂී කරුණු කාරණාවන් පවතී.
ප්‍රධාන කොටම ජංගම භාවිතාව සිත්හි තබාගනිමින් නිර්මාණය කර ඇති මෙම ඩ්‍රෝනයේ අත්දඬු හැකිළු විටදී එය අඟල් 9.6X2.6X2.5 ප්‍රමාණයට පිළිවෙළින් දිග, පළල සහ උස ඇති ඉතා කුඩා යන්ත්‍රයක් බවට පත්වනු ඇත. මෙය ඉතාමත්ම පහසුවෙන් ඕනෑම පිටෙහි එල්වාගෙන යන බෑගයක දමාගෙන ගෙන ගිය හැකිය. මෙහි බරද රාත්තලකටත් අඩු වීමද (ග්‍රෑම් 300) මෙහි ජංගමතාව තවත් දියුණු කරනු ඇත. සැබවින්ම මෙය ඔබගේ ගමන් මල්ලේ ඇති විට ඔබ ක්වඩ් කොප්ටර් ඩ්‍රෝනයක් ගෙනයන බවක් ඔබට නොහැඟෙනු ඇත.
මෙම Parrot Anafi ඩ්‍රෝන යානාවේ මෙගා පික්සල් 21ක විභේදන බලයකින් යුක්ත නවීන කැමරාවක් ස්ථාපනය කොට ඇත. මෙම කැමරාවට පහසුවෙන්ම 4K විභේදනයකින් යුතු HDR වීඩියෝ අන්තර්ගතයන් තත්පරයකට රාමු 30ක ශීඝ්‍රතාවකින් සහ ගුණාත්මකභාවයට කිසිදු හානියක් නොවනා ලෙස 1.4X සූම් හැකියාවකින්ද යුතුව පටිගත කිරීමට හැකියාව ඇත. ඔබ 1080p විභේදන
ගුණාත්මකභාවයකින් යුතුව වීඩියෝ පටිගත කරන්නේ නම්, අන්තර්ගතයේ ගුණාත්මකභාවය බිඳක් හෝ අඩු නොවී ලබාගත හැකි සූම් හැකියාව 2.8X දක්වා ඉහළ යනු ඇත. මෙහි ප්‍රතිලාභය වන්නේ, ඔබට කිසියම් වස්තුවක් වඩාත් විශාලනය කොට වීඩියෝගත කිරීමට අවශ්‍ය වූ විටදී ඩ්‍රෝනය එම වස්තුව වෙතට චලනය නොකොට සූම් හැකියාව පමණක් භාවිත කර එය ග්‍රහණය කර ගැනීමට හැකියාව තිබීමයි. එසේම මෙම කැමරාවෙන් ලැබෙනා අන්තර්ගතයන් ගැස්සීම්වලින් හෝ අනවශ්‍ය චලනයන්ගෙන් බාධා වී නොමැති බව සහතික කර ගැනීම සඳහා එය අක්ෂ දෙකක යාන්ත්‍රික ගිම්බල් උපාංගයක් මත ස්ථාපනය කර ඇත. එයට අමතරව මෙම ක්‍රියාවලිය සඳහා තුන්වැනි අක්ෂයක් ලෙසින් ක්‍රියාත්මක වන ඩිජිටල් ස්ථායීකරණ හැකියාවක්ද මෙහි ඇත. එසේම මෙම කැමරාවට ගිම්බලය මත අංශක 180ක් සිරස් අතටද කරකැවීමට හැකියාව තිබෙනා අතර, ඒ නිසා ඔබට චලනය වන වස්තුවක් ග්‍රහණය කර ගැනීමේදී ඩ්‍රෝනය චලනය කිරීමට වන අවශ්‍යතාව අවම වනු ඇත.
මෙම Parrot Anafi ඩ්‍රෝනයට පියාසැරිය හැකි උපරිම වේගය පැයට සැතපුම් 33ක් හෙවත් පැයට කිලෝමීටර් 53ක් වේ. සුළං දැඩිව ඇති විටකදී පමා මෙම වේගය පහත වැටෙන්නේ පැයට සැතපුම් 31ක් (පැයට කිලෝමීටර 50කට ආසන්න) දක්වා පමණි. එසේම මෙහි පියාසැරි කාලය මිනිත්තු 25ක් පමණ වන අතර, එය සාමාන්‍යයෙන් ඩ්‍රෝන යානාවක් එක් බැටරි ආරෝපණයකින් අහසේ රැඳවිය හැකි කාලයම වේ. එසේම ඔබට මෙම ඩ්‍රෝනයේ සමස්ත පියාසැරියම අවශ්‍ය පරිදි සැකසුම් ඔස්සේ සැලසුම් කළ හැකි අතර, ඒ මගින් ඩ්‍රෝනය අහසට නැගෙන වේගයේ සිට කැමරාව කරකැවෙනා වේගය දක්වා සියලුම කරුණු කාරණාවන් ඔබට අවශ්‍ය පරිදි සැකසිය හැකිය.
මෙම Parrot Anafi ඩ්‍රෝන යානාවෙහි ද්විත්ව-කලාප වයි-ෆයි ඇන්ටෙනා කිහිපයක් ස්ථාපනය කර ඇත. වඩාත් නිවැරදිව පවසන්නේ නම් ඩ්‍රෝනයේ එක් එක් පාදයක එක් එක් ඇන්ටනාව බැගින් තිබෙනා අතර, මේ මගින් ඩ්‍රෝනය කෙවැනි ආකාරයකින් පියාසර කරමින් තිබුණද, උපරිම සංඥා ග්‍රාහකත්වයක් සහතික කෙරෙනු ඇත. මෙම ඩ්‍රෝනය පාලනය කිරීම සඳහා ඇති පාලන උපාංගයද ඩ්‍රෝනය මෙන්ම හකුළුවා ගෙන යා හැකි අතර, එය Skycontroller 3 යනුවෙන් හැඳින්වේ. ඔබ ඩ්‍රෝනය සහ පාලන උපාංගය අතර සම්බන්ධතාව ගොඩ නැංවූ පසු එයට නියමු පාලන උපාංගයේ සිට කිලෝමීටර් 4ක් පමණ ඈතට පියාසර කළ හැකිය. එසේම මෙහි පියාසැරිය සඳහා FreeFlight 6 යෙදුම පමණක්ද භාවිත කළ හැකිය. නමුත් එහි උපරිම දුර පරාසය සම්බන්ධයෙන් සඳහනක් නොමැත. ඔබට අවශ්‍ය නම් ස්මාට්ෆෝනය සහ පාලන උපාංගය යන දෙකම එක් විට භාවිත කරමින්, පාලන උපාංගය මගින් ඩ්‍රෝනයේ පියාසැරිය පාලනය කිරීමටත්, ස්මාට්ෆෝනය ආධාරයෙන් පියාසැරියේ විවිධ සැකසුම් කිරීමට සහ සජීවී දසුන් නැරඹීමටත් හැකියාව ඇත.
කෙසේ වෙතත් මෙම Parrot Anafi ඩ්‍රෝනයේ කුඩා ප්‍රමාණයත් සමගින් පැමිණෙන ගැටළු කිහිපයක්ද ඇති බව සඳහන් කිරීමට සිදුවේ. උදාහරණ ලෙස දක්වන්නේ නම් Parrot වෙළෙඳ නාමය යටතේ පැමිණෙන වඩාත් විශාල ඩ්රෝනයන්හි එන බාධක හඳුනාගනිමින් ඒවා මගහැරීම සඳහා වන තාක්ෂණයන් Parrot Anafi ඩ්‍රෝනයේ නොමැත. එහි අරුත වන්නේ මෙම ඩ්‍රෝනයට ස්වයංක්‍රීයව ගස් මුදුන් හෝ කණු හෝ ඒ හා සමාන තම මාවතේ ඇති බාධකයන් මගහැරීමට නොහැකි බවයි. එනිසා සෑම විටම මෙහි නියමුවාට සිහියෙන් හිඳිමින් බාධක මගහරිමින් මෙය පියාසර කරවීමට සිදුවන අතර, මෙහි ස්වයංක්‍රීය පියාසැරි ආකාරයන්ගෙන් එකක් භාවිත කරන මොහොතකදීද වඩාත් සැලකිලිමත් වීමට සිදුවනු ඇත.
පැතුම් පුංචිහේවා