මෙයට වසර ගණනාවකට පෙරාතුව ප්‍රථමයෙන්ම කෘත්‍රිම බුද්ධිය සහිත ඩිජිටල් සහායකයෙකු සහිත ස්පීකරයක් නිර්මාණය වී වෙළෙඳ පොළට නිකුත් වූ විටදී එය එතරම් ආකර්ෂණීය අදහසක් යැයි බොහෝ දෙනා නොසැලකූ බව යථාර්ථයයි. සම්පූර්ණ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මෙම ඩිජිටල් සහායකයන්ට කෘත්‍රිම බුද්ධියක්, එනම් තනිව සිතා තීරණ ගැනීමේ උසස් බුද්ධි මට්ටමක් නොතිබුණත්, පරිශීලක අපගේ එදිනෙදා වැඩ කටයුතුවලදී සහාය වීමට, විශේෂයෙන්ම අප විසින් පරිගණකයක හෝ ස්මාට්ෆෝනයක භාවිතයෙන් ටයිප් කරමින් සිදුකළ යුතු යම් යම් කාර්යයන්, සොයා ගත යුතු යම් යම් තොරතුරු ඉටු කරගැනීම සඳහා හඬ විධානයක් භාවිත කිරීමට අවකාශ ලබාදීමට ඇති හැකියාව කිසිසේත්ම අවතක්සේරු කළ යුතු නොවේ. මෙයින් අප විසින් අපගේ ඩිජිටල් උපාංගයන් හා දක්වන සම්බන්ධතාව සැලකිය යුතු මට්ටමකින් දියුණු වූ බව, වඩාත් පුද්ගලික මට්ටමකට වර්ධනය වූ බව කිව යුතුවේ. මෙය සැබවින්ම ආකර්ෂණීය අදහසකි. එනමුත් එවැනි ඩිජිටල් සහායකයෙකු ස්මාට්ෆෝනයක් තුළ නොව ස්පීකරයක් තුළ සිර කිරීම තර්කානුකූලද යන්න බොහෝ දෙනා මීට කාලයකට පෙරාතුව අසා තිබුණි. කෙසේ නමුත් එම යුගය දැන් ඉක්ම ගොස් ඇත. නිවෙස තුළ ඩිජිටල් සහායකයාගේ කාර්යභාරය ඉටු කරදෙන ස්පීකරයන් තවදුරටත් ආගන්තුක අදහසක් නොවනා අතර, ප්රමුඛ පෙළේ බොහෝ තාක්ෂණික සමාගම් මෙම උපාංග නිෂ්පාදනයේ බොහෝ දුර ගොස් ඇත.
මෙසේ ඥානවන්ත ඩිජිටල් සහායකයෙකු සහ ඉහළ ගුණාත්මක මට්ටමේ ශ්‍රව්‍ය ප්‍රතිදානයක් ලබාදෙන, එනම් ඔබට හොඳ 'කොලිටියෙන්' ගීත ඇසීමට අවකාශ ලබාදෙන ස්පීකර පද්ධතියක් නිවෙසට හඳුන්වා දීම සඳහා ගූග්ල් සමාගම පවා ක්‍රියාත්මක වී මේ වනවිටත් කාලයක් ගතවී තිබේ. මේ ගූග්ල් සමාගමේ නවතම ඩිජිටල් සහායක ස්පීකර් පද්ධතිය වන Google Home Max සම්බන්ධයෙන් සටහනකි.
ගූග්ල් සමාගමේ මෙම ඥානවන්ත නිවෙස් ස්පීකර් පෙළේ නවතම සාමාජිකයා වන Google Home Max උපාංගය අඟල් 13.2 x 7.4 x 6 ලෙසින් මානයන් දක්වා සිටී. බැලූ බැල්මට පෙනී යන්නේ ඇමසෝන් සමාගමේ හෝ ගූග්ල් සමාගමේ අනෙකුත් මෙවැනි ඥානවන්ත ස්පීකර් උපාංගයන් හා සසඳා බලන විට මෙය හැඩයෙන් වෙනස් මෙන්ම ප්‍රමාණයෙන්ද මඳක් විශාල වන බවයි. කෙසේ වුවත් ගූග්ල් සමාගම පවසා සිටින්නේ මෙම විශාලත්වය සමගින් මෙහි ඉහළ ගුණාත්මක භාවයද වැඩිවී ඇති බවයි. එය සැබවින්ම තාර්කික වන්නේ, නිවසේ භාවිත කරනා මෙවැනි ඥානවන්ත ඩිජිටල් සහායකයකු ඇති ස්පීකර් උපාංගයක් එහා මෙහා පහසුවෙන් ගෙන යෑමට හැකියාව තිබෙන්නේ නම් මඳක් විශාල වූවාට කමක් නැති නිසායි.
මෙම Google Home Max ස්පීකර් උපාංගය තුළ අඟල් 4.5 ක high-excursion voice-coil woofer දෙකක් තිබෙනා අතර, අඟල් 0.7 ක custom tweeters දෙකක්ද සුරක්ෂිත ලෙසින් ස්ථාපනය කර ඇත. මෙම ඩ්රයිවරයන්ගේ එකතුවෙන් සුපැහැදිලි හඬක් මෙන්ම ගැඹුරු හා සමබර බේස් ප්‍රතිදානයක්ද Google Home Max ලබාදෙනු ඇත. මෙය සෑමවිටම හැකි උපරිම ගුණාත්මක භාවයකින් සංගීතය රසවිඳින්නට කැමති පරිශීලකයන්හට සුභ ආරංචියක් වනු ඇත. එසේම මෙය Smart Sound තාක්ෂණයෙන්ද සුසැදි අතර, ඒ මගින් ඔබ මෙම ස්පීකර් උපාංගය තැන්පත් කරනා කාමර අවකාශය වටහා ගනිමින් ඒ අනුව උපරිම විශිෂ්ටත්වයක හඬ ප්‍රතිදානයක් ලබාදෙන ලෙසින් සිය ඊක්වලයිසර් සැකසුම් ස්වයංක්‍රීයව සකස් කරගැනීමට මෙයට හැකියාව ඇත. මේ අනුව තවදුරටත් පරිශීලකයාට තමන් සිටිනා තැන අනුව විවිධ ඊක්වලයිසර් ප්‍රීසෙට් සැකසුම් වෙනස් කරමින්, අත්හදාබලමින් වඩාත් සමබර ශ්‍රව්‍ය ප්‍රතිදානය සෙවීම සඳහා වෙහෙසීමට අවශ්‍ය නොවේ.
මෙහි ස්ථාපිත මයික්රෆෝනයට ඈත සිට වුවද හඬ විධානයන් හඳුනා ගැනීමට හැකියාව ඇති අතර, එම නිසා ඔබ කාමරයේ අනික් කොනේ සිට ලබාදෙන හඬ විධානයන් පවා Google Home Max ස්පීකරය මගින් පහසුවෙන් ග්‍රහණය කරගනු ඇත. එපමණක් නොව ස්පීකරයෙන් සංගීතය වාදනය වෙමින් පවත්නා විටකදී වුවත් මෙම හඬ විධානයන් ග්‍රහණය කරගැනීමට තරම් මෙම මයික්‍රෆෝනය ප්‍රබල වේ. ඔබට මෙසේ හඬ විධානයන් භාවිතයෙන් විවිධ තොරතුරු ලබාගැනීමට, සංගීතය වාදනය කිරීම ඇතුළු මෙම උපාංගයේ මූලික හැකියාවන් ක්‍රියාත්මක කරවීමට මෙන්ම තවත් බොහෝ කරුණු ඉටු කරගැනීමටද හැකියාව ලැබේ. එසේම මෙහි Chromecast පහසුකමද ස්ථාපනය කර ඇති බැවින්, මේ හා ක්‍රියාත්මක වන ඕනෑම රූපවාහිනියක් ඔස්සේ වීඩියෝ ස්ට්‍රීම් කිරීමේ හැකියාවද පරිශීලකයාට ලැබේ. මෙයට අමතරව ඔබට මෙය ඔබේ ස්මාට් හෝම් පද්ධතිය හා සම්බන්ධ කර, ස්මාට් හෝම් පද්ධතියට සහ ඒ හා සබැඳි අනෙකුත් උපාංගයන්ට විධානයන් ලබාදීම සඳහාද Google Home Max භාවිත කළ හැක.
මෙය රැහැන් රහිත Bluetooth සහ Wi-Fi සම්බන්ධතාවන්ගෙන්ද සමන්විත වන අතර, අවශ්‍ය නම් පැරණි ක්‍රමයට ඔබට කේබලයක් ඔස්සේ මෙයට ශ්‍රව්‍ය උපාංගයක් ඈඳීම සඳහා AUX පෝට් එකක්ද සපයා තිබේ. එසේම මෙය තැන්පත් කරනා දිශානතිය හඳුනාගත හැකි සෙන්සරයන්ද තිබෙනා අතර, ඒ නිසා ඔබ මෙය කුමන තැනක කෙසේ තබා තිබුණත් මෙයින් සැපයෙන ශ්‍රව්‍ය ප්‍රතිදානයේ ඉහළ ගුණාත්මක භාවයට හානියක් නොවනු ඇත. Google Home Max ස්පීකරය හඬ විධානයන්ගෙන් මෙන්ම ඔබේ හස්ත සංඥා විධානයන්ගෙන්ද ක්‍රියාත්මක වන ආකාරයට නිර්මාණය කර ඇති බවද වැඩිමනත් ලෙසින් සඳහන් කිරීම වටී.