ස්මාට්ෆෝන් යුගයටද පෙරාතුව විශේෂාංග දුරකථන තිබූ කාලයේ පවා ජංගම දුරකථන වෙත කැමරාවක් තිබීම අත්‍යාවශ්‍ය කරුණක් වී තිබිණි. බොහෝ විට මෙම මුල්කාලීන කැමරාවල ගුණාත්මක තත්ත්වය එතරම් ඉහළ මට්ටමක නොතිබුණත්, ස්මාට්ෆෝන් යුගයට මාරු වුණු පසුව පැමිණි උපාංගයන්හි කැමරා පද්ධතිය ශීඝ්‍රයෙන් දියුණු වනු දක්නට ලැබිණි. පසුපස ප්‍රධාන කැමරාවට අමතරව පසුකාලීන ස්මාට්ෆෝන්වල වීඩියෝ චැට් කිරීම් සඳහා ඉදිරිපසටද කැමරාවක් පැමිණි අතර, සමාජ ජාලයන් ප්‍රචලිත වීම සහ සමාජ ජාලයන් තුළ තමන්ගේ ඡායාරූප පළ කිරීම ප්‍රචලිත වීමත් සමගින් මෙම ඉදිරි කැමරාව සෙල්ෆිඡායාරූපයන් සඳහා දියුණු වනු දක්නට ලැබිණි.
ඉන් පසුව මෑතකාලයේදී ස්මාට්ෆෝනයන්හි කැමරා පද්ධතීන් සඳහා වූ වැඩිදියුණු කිරීම් අතර AI (Artificial Intelligence) හෙවත් ස්මාට් කැමරා හැකියාවන් සහිත කැමරා පද්ධතීන් දැකිය හැක. මෙම හැකියාවැති කැමරා වලට ඡායාරූපයට අයත් වන වස්තූන් හෝ පුද්ගලයින් හඳුනාගනිමින්, ඒ ඒ දර්ශනයන් හඳුනාගනිමින්, එක් එක් පුද්ගලයින්ගේ සමේ වර්ණය වැනි සාධක පවා හඳුනාගනිමින් සිය කැමරා සැකසුම් වෙනස් කර ගැනීමේ හැකියාව ලැබී තිබිණි.
එසේම නවීන ස්මාට්ෆෝනයන් හි කැමරා පද්ධතිය පිළිබඳව මතුවූ තවත් උන්මාදයක් නම්, කැමරා දෙකක පද්ධතියක් පසුපස ප්‍රධාන කැමරාව ලෙසින් යොදාගැනීමයි. මේ මගින් ඡායාරූපයන් ගැඹුරද දක්වමින්, වඩාත් ඉහළ ගුණාත්මක තත්වයකින් යුතුව, වෘත්තීය මට්ටමේ කැමරාවන්ගෙන් ලබාගන්නා ඡායාරූපයන්ට ආසන්න වූ ගුණාත්මක මට්ටමකින් ලබාගැනීමට අවකාශ ලැබිණි. එසේම මෙවැනි ද්විත්ව කැමරා පද්ධතියක් සහිත ස්මාට්ෆෝනයකට ඉන් ලබාගන්නා ඡායාරූපයන්හි වඩාත් වැඩි විස්තර දැක්වීමක් සහ තියුණු බවක් ලබාදීම, අල්ට්රා වයිඩ් ඈන්ගල් ඡායාරූප ගැනීමේ හැකියාව මෙන්ම ඇතැම් විට ඔප්ටිකල් සූම් හැකියාවන්ද ලබාදීමට හැකියාව ඇත. එසේ නම් පසුපස කැමරා ත්‍රිත්වයක පද්ධතියකට කළ හැකි දෑ සම්බන්ධයෙන් වැඩිදුර විස්තර කිරීම අනැවැසි වේ.
කෙසේ හෝ මෙම ස්මාට්ෆෝන් කැමරා වැඩිදියුණු කිරීම් සම්බන්ධයෙන් අසන්නට ලැබෙනා නවතම ප්‍රවෘත්තිය වන්නේ සමාගම මගින් කැමරා හතරක ස්මාට්ෆෝනයක් නිර්මාණය කොට ඇති බවයි. සැබැවින්ම කැමරා හතරක ස්මාට්ෆෝනයක් මින් පෙරාතුවද දක්නට ලැබුණත්, Huawei සමාගම මගින් පසුපස කැමරා ද්විත්වයක පද්ධතියක් සහ ඉදිරිපස සෙල්ෆි කැමරාවටද කැමරා දෙකක පද්ධතියක් හඳුන්වා දෙන්නේ ප්‍රථම වතාවට වේ. මෙම නවීනතම කැමරා පද්ධතිය සමගින් පැමිණෙන්නේ Huawei Nova 3 ස්මාට්ෆෝනය වන අතර Huawei Nova 3i නමින්ද එම පෙළේ වඩාත් අඩු ශක්‍යතාවන් සහිත ස්මාට්ෆෝනයක් එම කැමරා හතරේ පද්ධතිය සමගින්ම හඳුන්වා දී ඇත.
මෙම Huawei Nova 3 ස්මාට්ෆෝනය හයිබ්‍රිඩ් ද්විත්ව නැනෝ සිම්පත් සහිතව මෙම මාසයේදී වෙළෙඳ පොළට නිකුත් වූ අතර, එහි එක් සිම් කාඩ්පත් විවරයක් microSD කාඩ්පත් ඇතුළු කිරීම සඳහා භාවිතා කළ හැක. මෙහි අඟල් 6.3 ක ප්‍රමාණයේ IPS LCD capacitive touchscreen තිරය 19:5:9 අනුපාතයට ඇති බැවින් මෙම ස්මාට්ෆෝනයට අතට පහසු පටු, උස් පෙනුමක් ලැබී ඇත. මෙම තිරය සම්පූර්ණ මතුපිට පෘෂ්ටයම පුරා පැතිර යන ආකාරයේ Full screen තිරයක් වන අතර, කැමරා, ස්පීකර් සහ වෙනත් සෙන්සරයන් සඳහා ඉහත කුඩා ඉඩක් වෙන්ව ඇත. මෙම ජනප්‍රිය notch ආකාරයේ නිමාව නිසා මෙයට බැලූ බැල්මට Apple iPhone X පෙනුමක් ලැබී ඇත.
මෙහි Hisilicon Kirin 970 Octa-core ප්‍රොසෙසරයක් මගින් සැකසුම් බලය ලැබෙනා අතර ගිගාබයිට් 6 ක රැම් මතකයක් මෙහි ස්ථාපනය කොට ඇත. ග්‍රැෆික් ප්‍රොසෙසරය Mali-G72 MP12වේ. මෙම Nova 3 ස්මාට්ෆෝනය ගිගාබයිට්
64ක සහ 128 ක අභ්‍යන්තර මතක ධාරිතාවන් සහිත සංස්කරණ දෙකකින් පැමිණෙන අතර, බාහිර මතකය microSD චිපයක් මගින් ගිගාබයිට් 256 දක්වා ඉහළ දැමිය හැක. මෙය Android 8.1 Oreo මෙහෙයුම් පද්ධතිය මතින් ධාවනය වේ.
Huawei Nova 3 හි ඇති GPU Turbo තාක්ෂණය සමගින් මෙය ප්‍රබල වීඩියෝ ක්‍රීඩාවන් ධාවනය සඳහා පවා උචිත වන බව නිෂ්පාදකයින් පවසයි. විශේෂයෙන්ම මෙම තාක්ෂණය ඔස්සේ මෙහි ප්‍රබල දෘඩාංග බලය සහ මෘදුකාංග වඩාත් ඵලදායී ලෙසින් මෙහෙයවමින්, ස්මාට්ෆෝනයට වේගවත් ක්රියාකාරීත්වයක් ලබාදීමටත්, බැටරි පරිභෝජනය වඩාත් ඵලදායී කිරීමටත් හැකියාව ලැබී ඇත. මෙම GPU Turbo තාක්ෂණය ඔස්සේ ග්‍රැෆික් සැකසුම් බලය 60% කින් වැඩිවී ඇති බවත්, බැටරි පරිභෝජනය 30% කින් අඩුවී ඇති බවත් මෙහි නිෂ්පාදකයින් විසින් පවසා සිටී. මෙහි 3750mAh ධාරිතාවයක් ඇති ඉවත් කළ නොහැකි බැටරියක් අඩංගු වන අතර, වඩාත් දීර්ඝ කාලයක් එක් බැටරි ආරෝපණයකින් සාමාන්‍ය ක්‍රියාකාරකම් සමගින් නොකඩවා ක්‍රියාත්මක වීමට එම බැටරි ධාරිතාවය උපකාරී වනු ඇත.
විදුලි සෝපාන වැනි ස්ථානවලදී සිදු වන සංඥා අවහිරතා ඉතා ඉක්මනින් නැවත යථා තත්ත්වයට පත් කිරීමේ පහසුකම සහිත මෙම Huawei nova 3 ස්මාර්ට්ෆෝනයේ Huawei GEO 1.5 නමැති විශේෂාංගය නිසා තමන් සිටින ස්ථානය සාමාන්‍ය අනෙකුත් ස්මාර්ට්ෆෝනයකට වඩා නිවැරදිව GPS ඔස්සේ දක්වනු ලබයි. දුරකථන සංවාදය අතර ඇසෙන බාහිර පසුබිම් ශබ්ද අවම කිරීමේ AI Noise removal පහසුකම් නිසා වඩා පැහැදිලි ලෙස දුරකථන සංවාදයේ නිරතවීමට අවස්ථාව සැලසෙයි.
මෙහි නොසලකා හැරිය නොහැකි ප්‍රබල දෘඩාංග බලය සහ නවතම මෘදුකාංග තාක්ෂණයන් ස්ථාපනය වී තිබුණද, බලාපොරොත්තු විය හැකි ලෙසින්ම මෙහි ප්රබලතම ආකර්ෂණය වන්නේ මෙහි ඉදිරිපස සහ පසුපස පිහිටුවා ඇති ද්විත්ව කැමරා පද්ධතියයි. පසුපස ප්‍රධාන කැමරා පද්ධතිය 16MP (f/1.8,) සෙන්සරය සහ 24MP (f/1.8) කළු සුදු සෙන්සරය ලෙසින් කැමරා දෙකකින් යුක්ත වන අතර, ඉදිරිපස ද්විතීයික කැමරාව 24MP ප්‍රධාන කැමරා සෙන්සරයකින් සහ 2MP ගැඹුර දක්වන සෙන්සරයකින් යුක්ත වේ.
මෙහි AI තාක්ෂණය මගින් සෙල්ෆි ඡායාරූපයක් ගැනීමේ දී, ඡායාරූපයේ පසුබිම හා ඡායාරූපයට පෙනී සිටින පුද්ගලයා වෙන් කර හඳුනා ගත හැකි අතර පසුබිම හා පුද්ගලයාට අවශ්‍ය කරන වැඩිදියුණු කිරීම් වෙන වෙනම යොදවනු ලබයි. ඒ සඳහා කැමරා පද්ධතිය පසුබිම් ප්‍රභේද 8කට වෙන් කර හඳුනාගැනීමට පුහුණු කර ඇත. එමගින් වඩා ඉහළ නිමාවකින් යුතු Selfie ඡායාරූපයක් ලබාගත හැකිය.
තවද මෙය AI HDR PRO තාක්ෂණයෙන් සමන්විත වන අතර එමගින් Selfie ඡායාරූප ලබාගැනීමේ දී පසුපසින් දැඩි අාලෝකයක් ඇති විට ඇතිවන දෝෂ මඟ හරවා ඇත. උදාහරණයක් ලෙස සවස මුහුදු වෙරළේදී හිරු එළිය පිටුපසින් ඇති විට ඡායාරූපයක් ගැනීමේදී පවා වඩාත් පැහැදිලි සේයාරුවක් ලබාගැනීමට මේ සමගින් හැකිවනු ඇත. AI තාක්ෂණයෙන් සමන්විත වන Huawei nova 3 හි ඇති පසුපස ද්විත්ව කැමරා පද්ධතියටද දර්ශන තලය එකිනෙකට වෙනස් ප්‍රභේද 22 ක් ඔස්සේ හඳුනා ගැනීමට පුහුණු කර ඇත.
පැතුම් පුංචිහේවා