මෙයට වසර තුනකටත් වැඩි කාලයකට පෙර එළිදැක්වුණු Microsoft Surface Hub උපාංගය ඔවුන් විසින්
වෙළෙඳ පොළට හඳුන්වා දෙනු ලැබුවේ, විශාල පරිගණක තිරයක ප්‍රමාණයේ කාර්යක්ෂම ස්පර්ෂ තිර පරිගණකයක් ලෙසිනි. මෙය කාර්යාලයන්හි මෙන්ම ධනවතුන්ගේ නිවෙස්වලද ස්ථාපනය වනු ඇතැයි ඒ වනවිට බොහෝ දෙනෙකු උදක්ම බලාපොරොත්තු විණි. වසර තුනකට අධික කාලයක් ගතවී ඇතත් මෙය සාමාන්‍ය කාර්යාලයන්හි හෝ සාමාන්‍ය පරිශීලකයන් අතර දක්නට නොලැබීමට හේතුව, අඟල් 84ක ප්‍රමාණයේ අතිදැවැන්ත ටැබ්ලට් පරිගණකයක මිල දැරීමට සාමාන්‍ය ප්‍රමාණයේ ආයතනයක් ඉදිරිපත් නොවීම විය හැකිය. කෙසේ වෙතත් මයික්‍රොසොෆ්ට් සමාගම පවසන්නේ මේ වනවිට වෙළෙඳ පොළ 25කට අධික ප්‍රමාණයක, ලොව පුරා කාර්යාලයන් 5,000කට අධික ප්‍රමාණයක මෙම Surface Hub උපාංගය භාවිත වන බවයි. එසේම අනාගතයේදී මෙම Surface Hub දැවැන්ත ටැබ්ලට් පරිගණක ඕනෑම කාර්යාලයක සභා ශාලාවේ නිත්‍ය අංගයක් වනු ඇති බවයි. ඒ සම්බන්ධයෙන් ඔවුන්ට ඇති විශ්වාසය පිළිබිඹු කෙරෙන්නේ ඔවුන් අභිනවයෙන් Microsoft Surface Hub 2 උපාංගයද එළිදැක්වීමත් සමගිනි.
මෙම නවතම Microsoft Surface Hub 2 සංස්කරණය මූලික කොටසේ සිටම නිර්මාණය කොට ඇත්තේ වෘත්තීමය කටයුතුවලදී සහයෝගීත්වයෙන් යුතුව කටයුතු කිරීමට උපකාරී වීම සඳහා යැයි මයික්‍රොසොෆ්ට් සමාගම සඳහන් කරයි. මෙහිදී කාර්යාලයක වෘත්තීමය සගයන් සිටින්නේ එකම කාමරයක වුවත්, ලෝකයේ කෙළවර කිහිපයක වුවත් එය ගැටලුවක් නොවන අයුරින් මෙය නිර්මාණය කිරීමට මයික්‍රොසොෆ්ට් සමාගම සමර්ථ වී ඇතැයි කියැවේ.
මෙම Surface Hub 2 ටැබ්ලට් පරිගණකය අඟල් 50.5ක තරම් සුවිශාල තිරයකින් යුක්ත වේ. මෙය මෙහි පෙර සංස්කරණය වූ Surface Hubහි අතිදැවැන්ත අඟල්
84ක තිරයට වඩා සැලකිය යුතු මට්ටමකින් කුඩා යැයි කෙනෙකුට සිතෙන්නට හැකිය. නමුත් මෙම Surface Hub 2 නව උපාංගය නිර්මාණය කොට ඇත්තේ වඩාත් හුරුබුහුටි ප්‍රමාණයකින් උපරිම ප්‍රයෝජනය ගැනීමට බැවින් එය ගැටලුවක් නොවනු ඇත. මෙම අඟල් 50.5 ක ස්පර්ෂ තිර පැනලයට 4K තිර විභේදනයක් ලබාදීමට හැකිය. එසේම එම ස්පර්ෂ තිර පැනලයට කිහිප දෙනෙකුට එක විට එය හා කටයුතු කළද ගැටලුවකින් තොරව කළමනාකරණය කර ගැනීමට හැකි වනු ඇත. වෙනත් ලෙසකින් පවසන්නේ නම්, මෙම තිරය මත tap කිරීම් සහ swipe කිරීම් ගණනාවක් එක විට සිදුවූවත් ඒවා වෙන් වෙන් වශයෙන් වාර්තා කොට ගැනීම Surface Hub 2 උපාංගයට ගැටලුවක් නොවනු ඇත. එසේම මෙම නව උපාංගයේ පරිශීලකයන් කිහිප දෙනෙකුට එකම උපාංගයේ ගිණුම් කිහිපයක් පවත්වාගෙන යෑමටද, එකම විට එම ගිණුම් වෙත ඇතුළත් වීමටද හැකියාව ලබාදී ඇත.
මෙහි 4K කැමරාවක් තිබෙන අතර, එනිසා ඔබගේ වෘත්තීය සගයන් ලෝකය වටා විසිරි සිටියද පහසුවෙන් ඔවුන් හා එක් කාමරයක සිටිනා ලෙසින් සම්බන්ධ වී සහයෝගීතාවෙන් ව්‍යාපෘති කටයුතු කිරීම පහසු වනු ඇත. එසේම මෙම ටැබ්ලට් පරිගණකය චිත්‍ර කැන්වසයක් ලෙසින් හරවා තැබුවද, එකම දර්ශන පථය ලබාදීම සඳහා මෙහි කැමරාව පහසුවෙන්ම තම තැන් වෙනස් කරගනු ඇත.
මෙම Microsoft Surface Hub 2 උපාංගය සමගින් පැමිණෙන තවත් සුවිශේෂී පහසුකමක් වන්නේ, මයික්‍රොසොෆ්ට් සමාගමේ මිලෙන් අධික Windows 10 වැනි මෙහෙයුම් පද්ධතියක් වුවත්, Office 365, මෘදුකාංග කට්ටලයක් වුවත්, Team chat නැතිනම් Whiteboard වැනි මෘදුකාංග වුවත් පරිශීලකයාට ලබාදීමයි.
මෙම Surface Hub 2 උපාංගය සාම්ප්‍රදායික වයිට් බෝඩ් එකක් හා සැසඳීමේදී සාපේක්ෂව කුඩා බව සැබෑ වේ. කෙසේ නමුත් ඔබට වයිට් බෝඩ් එකක් ලෙසින් වන පරිදි Surface Hub 2 උපාංග හතරක් වැනි ප්‍රමාණයක් එක්ව භාවිත කිරීමේ හැකියාවද තිබෙන බව අමතක කළ නොහැක. මෙම ටැබ්ලට් පරිගණක හතරම ජාලගත කළ විට මුළු කණ්ඩායමටම මෙය පහසුවෙන්ම භාවිත කිරීමට හැකියාව ලැබෙනු ඇත.
මෙම Surface Hub 2 උපාංගය සමගින් පහසුවෙන් බිත්තියක් වැනි පෘෂ්ඨයක එය එල්ලීමට හැකි වානේ කේසිනයක්ද, එසේත් නැතිනම් චිත්‍ර ඵලකයක මෙන් මෙම උපාංගය සිටුවා තැබිය හැකි ආධාරකයක්ද ලබාදීමට මයික්‍රොසොෆ්ට් සමාගම කටයුතු කර ඇත්තේ, මෙය පහසුවෙන් එහා මෙහා ගෙන යෑමට සහ මොහොතකින් එක් තැනක ස්ථාපනය කිරීමට හැකියාව ලබාදීමට වේ.
කෙසේ වෙතත් මෙම Surface Hub 2 උපාංග දෙකක් හෝ හතරක් වැනි ප්‍රමාණයක් එකට ඈඳා වඩාත් කාර්යක්ෂම වැඩබිමක් නිර්මාණය කිරීමේ අදහසට මතුවන ප්‍රධාන ගැටලුව වන්නේ මෙම එක් උපාංගයක් අධික මිලක් වීමට හැකියාවක් තිබීමයි. මෙම නව Surface Hub 2 උපාංගය තවමත් මිල නියම කොට නැතත්, එහි පෙර සංස්කරණය වූ Surface Hub උපාංගයේ අඟල් 55 සංස්කරණය ඇමරිකානු ඩොලර් 8,999ක් සහ අඟල් 84 සංස්කරණය ඇමරිකානු ඩොලර් 21,999 වී තිබුණි. ඒ අනුව මෙයද සාමාන්‍ය පරිශීලකයෙකුට විනා සාමාන්‍ය කාර්යාලයීය වැය ශීර්ෂයකට පවා දැරිය නොහැකි ඉහළ මිලක් ගනු ඇතැයි සිතිය හැකිය.
නමුත් සඳහන් කළ යුතුම කරුණ වන්නේ, මෙවැනි අධික මිලක් යටතේ වුවද මෙම Surface Hub 2 දැවැන්ත ටැබ්ලට් පරිගණකය, කාර්යාලයක කණ්ඩායම් ව්‍යාපෘති කටයුතු සඳහා ඉහළ තාක්ෂණික දායකත්වයක් ලබාදෙන මෙවලමක් වනු ඇතැයි මයික්‍රොසොෆ්ට් සමාගම තුළ මෙන්ම මේ සම්බන්ධයෙන් උනන්දු වන්නන් තුළද ඇති විශ්වාසයයි.