අප ජීවත් වන්නේ මෙයට පෙර දශකයේ අප විසින් එක් එක් කාර්යයන් සඳහා පැහැදිලිව අනුයුක්ත කොට තිබූ උපාංගයන් අතර බෙදුම් රේඛාවන් ශීඝ්‍රයෙන් බොඳ වී යන අවධියක යැයි පැවසීම සාවද්‍ය නොවේ. මෙයට දශක දෙකකට පමණ පෙර දුරකථන ඇමතුම් සහ කෙටි පණිවුඩ සඳහා ජංගම දුරකථන, ඡායාරූප ගැනීම සඳහා කැමරා, ගීත ඇසීම සඳහා වෝක්මන් සහ සීඩී ප්ලේයර් තිබිණි. එසේම රූපවාහිනී නැරඹීම සඳහා රූපවාහිනී සහ පරිගණක කටයුතු සඳහා පරිගණකද එකල වෙන් වෙන් වශයෙන් තිබිණි. කෙසේ වෙතත් මේ වනවිට මෙම උපාංගයන් වෙන් කරනා රේඛාවන් බොඳවී ගොස් ඇති අයුරු, මෙම උපාංගයන් මුහුවී ඇති අයුරු අටුවාටීකා සහිතව විස්තර කළ යුතු නොවේ. නමුත් Logitech සමාගමෙන් හඳුන්වා දී තිබෙනා නවතම රූපවාහිනී දුරස්ථ පාලක/යතුරු පුවරු උපාංගය K600 TV Keyboard සම්බන්ධයෙන් කතා කිරීම සඳහා උක්ත හැඳින්වීම අවශ්‍ය වනු ඇත.
මේ වනවිට සෑම තැනකම මිලදී ගැනීමට තිබෙන්නේ පැතලි තිර LED රූපවාහිනී වන අතර, ඒවායින් බොහෝමයක් ස්මාට් ටීවී කාණ්ඩයට අයත් වේ. මෙහිදී ස්මාට් ටීවී එකක් යනු කුමක්දැයි අසනා අයෙකුට දිය හැකි සරල පිළිතුරක් ඇත. ස්මාට් ටීවී එකකට අන්තර්ජාල සම්බන්ධතාව ඔස්සේ යම් යම් කටයුතු කිරීමේ හැකියාව ඇත. සෑම ස්මාට් ටීවී උපාංගයක්ම පාහේ පැමිණෙන්නේ රැහැන් රහිත වයි-ෆයි සම්බන්ධතා හැකියාව සහ සාම්ප්‍රදායික Ethernet සම්බන්ධතා හැකියාව සමගින් වේ. ස්මාට් ටීවී එකකට මෙම ක්‍රමයක් ඔස්සේ අන්තර්ජාලය හා සම්බන්ධ වීමටත්, එයින් රූපවාහිනී වැඩසටහන් හෝ චිත්‍රපට හෝ වීඩියෝ ඩවුන්ලෝඩ් කර නැරඹීමටත් හැකියාව ඇත. ඒ සඳහා විවිධ යෙදුම් ස්මාට් ටීවී තුළ ස්ථාපනය වී පැමිණෙන අතර, අන්තර්ජාලයේ සැරිසැරීම සඳහා අවකාශය ලබාදීමට වෙබ් බ්‍රවුසරයක්ද බොහෝ විට ස්මාට් ටීවී එකක දක්නට ලැබේ. මේ සරලවම ස්මාට් ටීවී උපාංගයකට කළ හැකි කාර්යයන් වන අතර, එම වැඩ ලැයිස්තුව එතැනින් නතර නොවේ.
සාමාන්‍ය රූපවාහිනී යන්ත්‍රයකින් වැඩසටහන් නැරඹීම සහ වෙනත් මූලික වැඩකටයුතු ඉටු කර ගැනීම සඳහා සාමාන්‍ය දුරස්ථ පාලකයක් ප්‍රමාණවත් වේ. බොහෝ විට සැටලයිට් හෝ කේබල් ටීවී පහසුකම් සඳහා වෙනත් දුරස්ථ පාලකයක්ද පැමිණෙනු ඇත. කෙසේ වෙතත් ස්මාට් ටීවී උපාංගයකින් ඉහත කී ආකාරයේ වැඩකටයුතු ඉටු කරගැනීම සඳහා මෙවැනි සාම්ප්‍රදායික දුරස්ථ පාලකයන් කිසිසේත්ම ප්‍රමාණවත් නොවේ. විශේෂයෙන්ම අන්තර්ජාලයේ සැරිසැරිම, වෙබ් ලිපින ටයිප් කිරීම, වෙනත් අවශ්‍ය විධානයන් ලබාදීම, වෙනත් අන්තර්ගතයන් ටයිප් කිරීම වැනි කටයුතු සාම්ප්‍රදායික දුරස්ථ පාලකයක් ඔස්සේ ඉටු කර ගැනීම අතිශයින්ම වෙහෙසකර වනු ඇත. අවශ්‍ය නම් ඔබට රැහැන් රහිත සම්බන්ධතාව ඔස්සේ යතුරු පුවරුවක්ද ස්මාට් ටීවී උපාංගයට ඈඳීමට හැකි ආකාරයේ පහසුකම් නවීන ස්මාට් ටීවී ඔස්සේ ලැබුණද, යතුරු පුවරුවක් සහ දුරස්ථ පාලකයක් භාවිත කිරීමද යම් තරමක හිසරදයකි.
හඳුන්වා දෙන නවතම Logitech K600 TV Keyboard උපාංගය ඔබේ විසිත්ත කාමරයට වැදගත් වන්නේ එතැනිනි. මෙය විශේෂ කාර්ය යතුරුද සහිත සම්පූර්ණ QWERTY යතුරු පුවරුවක් වන නමුත්, ඊට අමතරව මෙහි දුරස්ථ පාලකයක තිබිය යුතු Media බොත්තම්ද තිබේ. දුරස්ථ පාලකයකින් ඔබට අවශ්‍ය කරනා සියලුම කටයුතු සඳහා පාලකයන් සමගින් පැමිණෙන මෙහි ටව් පෑඩ් එකක්ද, ඊට අමතරව ඩී-පෑඩ් එකක්ද තිබේ. හතර පැත්තට බොත්තම් හතරක් සහ මැද එක් බොත්තමක් සහිත ඩී-පෑඩ් එක සාම්ප්‍රදායික දුරස්ථ පාලකයක සේම චැනලයන් මාරු කිරීමේ සිට ස්මාට් රූපවාහිනිය පාලනය කිරීම සඳහා අතිශයින්ම වැදගත් වනු ඇත.
මෙහි අංක සහ විශේෂ කාර්ය යතුරුද ඇතුළත්ව සම්පූර්ණ QWERTY යතුරු පුවරු සැලැස්මක් තිබෙනා බැවින් ඔබට පහසුවෙන්ම මෙය ඔබේ ලැප්ටොප් උපාංගයට හෝ ඩෙක්ස්ටොප් පරිගණකයට යතුරු පුවරු ආදේශකයක් ලෙසින් භාවිත කිරීමටද හැක. මෙහි මවුසයක් වෙනුවට ඇති ටච් පෑඩ් එකට අමතරව වම් සහ දකුණු මවුස් බොත්තම්ද තිබේ. මෙවැනි සම්පූර්ණ එහෙත් හුරුබුහුටි යතුරු පුවරුවකින් සැලසෙන සේවය සම්බන්ධයෙන් අමුතුවෙන් කිව යුතු නොවේ.
මෙහි දිග අඟල් 14.4 ක්, පළල අඟල් 4.6 ක් වන අතර, මෙය අඟල් 0.8 කට වඩා ඝනකම නොවේ. කෙසේ වුවත් මෙවැනි ප්‍රමාණයක යතුරු පුවරුවකින් ස්මාට් ටීවී උපාංගයේ යමක් ටයිප් කිරීම සඳහා භාවිත කිරීමට සිදුවන්නේ මේසය මත හෝ ඔබේ උකුළ මත තබාගෙන වන බවද කිව යුතුවේ. කෙසේ වෙතත් ඩී-පෑඩ් එක සහ අනෙක් දුරස්ථ පාලක යතුරු භාවිතා කරනා විට මෙම ගැටලුව පැන නොනඟින අතර, ඔබට පහසුවෙන්ම ගේම් පෑඩ් එකක් ලෙසින් අත් දෙකින්ම අල්වා ගෙන මෙය භාවිතා කිරීමට හැකිවනු ඇත.
මෙම K600 TV Keyboard දුරස්ථ පාලක යතුරු පුවරුව Logitech සමාගම මගින් නිෂ්පාදනය කොට ඇත්තේම සුවිශාල තිර ස්මාට් රූපවාහිනී උපාංග ඉලක්ක කරගනිමින් යැයි සිතීමට හැක. මෙය අසාධාරණයක් යැයි කීමට නොහැක්කේ, රූපවාහිනී යන්ත්‍රයන්ගේ අනාගතය පිළිබඳ සිතන විට රූපවාහිනී උපාංගයන්ගේ කුඩාම ප්‍රමාණය පවා ක්‍රම ක්‍රමයෙන් විශාල වන බැවිනි. Logitech සමාගම පවසන ආකාරයට මෙම K600 TV Keyboard උපාංගයේ ටච් පෑඩ් එක විශාල තිර රූපවාහිනී සඳහාම විශේෂයෙන් සකසා ඇත. එසේම මෙහි රැහැන් රහිතව සම්බන්ධ විය හැකි දුර අඩි
49ක් වන නිසා විශාල රූපවාහිනී තිරයක් වෙත වුවත් ප්‍රමාණවත් දුරක් පවත්වා ගනිමින් පාලනය කිරීමට මෙම යතුරු පුවරු දුරස්ථ පාලකයෙන් අවකාශය ලබාදෙනු ඇත.
K600 TV Keyboard උපාංගය AAA බැටරි තුනක් ඔස්සේ බලගැන්වෙන අතර, AAA බැටරි තුනකින් ඔබට මෙය අවුරුද්දක් පමණ කාලයක් භාවිත කළ හැකියැයි නිෂ්පාදකයින් කියා සිටී.
වයි-ෆයි සම්බන්ධතාව ඔස්සේ හැරුණු විට මෙම K600 TV Keyboard උපාංගයට බ්ලූටූත් ඔස්සේද ක්‍රියාත්මක විය හැකි බැවින්, ඔබේ පරිගණකයේ රැහැන් රහිත යතුරු පුවරුව ලෙසින්ද මෙය භාවිතා කිරීමට අපහසුවක් නොමැත. විශේෂයෙන්ම Logitech සමාගමේ Easy Switch තාක්ෂණය මේ සමගින් පැමිණෙන බැවින් ඔබට එක් මොහොතක උපාංග තුනක් සමගින් සම්බන්ධ විය හැකි අතර, එක් බොත්තමක් එබීම ඔස්සේ එම උපාංග අතර මාරු වීමද පහසුවෙන්ම සිදුකළ හැක. ඔබ ටබ්ලූටූත් සම්බන්ධතාව භාවිතා කරන විටක Easy Switch තාක්ෂණය යොදාගැනීමට නම් මේ සමගින් එන Unifying receiver එක භාවිත කිරීමට සිදුවනු ඇත.
මෙය දැනට ක්‍රියාත්මක වන්නේ 2016 වසරෙන් පසුව නිෂ්පාදනය වූ Samsung, LG, Sony වැනි සන්නාම කිහිපයක ස්මාට් ටීවී උපාංග සමගින් පමණක් වුවත්, අනාගතයේදී මෙය තවත් ස්මාට් ටීවී වෙළෙඳ නාම වෙත පුළුල් වනු ඇතැයි අනුමාන කළ හැක. මීට අමතරව මෙයට Windows, macOS, Chrome OS මෙහෙයුම් පද්ධතීන් සමගින් මෙන්ම iOS හා Android පද්ධතීන් සමගින්ද ක්‍රියාත්මක වීමේ හැකියාව ඇත.
පැතුම් පුංචිහේවා