අතීතයේදී වීඩියෝ සංස්කරණයන් කිරීමේදී භාවිතා වූ බොත්තම් සහ කරකැවිය හැකි රෝද සහිත විශාල කොන්සෝලයන් ඔබ කොහේ හෝ දැක ඇත. වර්තමානයේ වීඩියෝ මෙන්ම ග්‍රැෆික් සංස්කරණයන් සඳහාද මෘදුකාංග සහාය හිමිවන අතර, ඒ ඔස්සේ සංස්කරණ කටයුතු කිරීමේදී ඔබට යතුරුපුවරුවක් සහ මවුසයක් ප්‍රමාණවත් වනු ඇත. එය එසේ වුවත් එවැනි පැරණි පන්නයේ කොන්සෝලයකින් සංස්කරණ කටයුතු කිරීමේ යම් කිසි අතීතකාමී ආකර්ෂණයක්ද ඇති බව බැහැර කළ නොහැක.
ඔබ විසින් කැමරාවෙන් ග්‍රහණය කරගත් ඡායාරූපයන් ගොන්නක් Adobe Lightroom වැනි මෘදුකාංගයක් ආධාරයෙන් සංස්කරණය කරන්නේ යැයි මොහොතකට සිතන්න. ඒ සඳහා ඔබ පරිගණකය සහ එහි සාමාන්‍ය ආදාන උපාංගයන් වන යතුරු පුවරුව සහ මවුසය භාවිතා කරනු ඇත. කෙසේ වෙතත් යතුරු පුවරුව සහ මවුසය ආධාරයෙන් මෙම මෘදුකාංග හා ගනුදෙනු කිරීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ. විශේෂයෙන්ම සංකීර්ණ යතුරු සංයෝජනයන් සමගින් පැමිණෙන කෙටි මං සිහිතබා ගැනීම මෙන්ම, වර්ණයන්ගේ හෝ ආලෝකයේ ඉතා කුඩා වෙනස්කම් පවා මවුසය ආධාරයෙන් මෙහෙයවීම පහසු කටයුත්තක් නොවනු ඇත. ඔබ වෘත්තීමය ඡායාරූප ශිල්පියෙකු නම්, ඔබට ඡායාරූප විශාල ගණනක් Adobe Lightroom වැනි මෘදුකාංගයක් ආධාරයෙන් සංස්කරණය කරන්නට වන්නේ යැයි සිතන්න. ඔබ මෙම මෘදුකාංග පරිශීලනයේ ප්‍රවීණයෙකු නම්, ඔබට සාපේක්ෂව වැඩි වේගයකින් යුතුව සංස්කරණ කටයුතු සිදුකිරීමට හැකියාව තිබෙනු ඇත. නමුත් සමස්තයක් ලෙසින් ගත් විට යතුරු පුවරුව සහ මවුසය ආධාරයෙන් මෙවැනි කටයුතු ඉටු කිරීම පහසු කටයුත්තක් නොවෙනා බවට අපට එකඟ විය හැක.හඳුන්වා දෙන Loupedeck+ කොන්සෝලය වැදගත් වන්නේ මෙම ගැටලුවට පිළියමක් වශයෙනි.
ඔබට Adobe Lightroom සහ Skylum Aurora HDR යන මෘදුකාංගයන් සමගින් කටයුතු කිරීම සඳහා වඩාත් පහසු ආදාන උපාංගයක් ලෙසින් සහාය වන මෙම Loupedeck+ කොන්සෝලය විවිධ බොත්තම්, කරකැවිය හැකි රෝද යනාදියෙන් සමන්විත වන අතර, මෙම මෘදුකාංගයන්හි එන ඉතා සියුම් වෙනස්කම් කළ හැකි මෙවලම් හැසිරවීමට මෙන්ම සංකීර්ණ යතුරු සංයෝජනයන් සහිත කෙටි මං ඇති මෙවලම් හැසිරවීමටද මහත් සහනයක් වනු ඇත. මෙහි පහසුව කෙතරම්ද කියන්නේ නම් ඔබට ඡායාරූපයන් ගණනාවක් සැලකිය යුතු තරමේ කෙටි කාලයක් තුළදී සංස්කරණය කිරීමට මෙම ස්පර්ෂ කළ හැකි භෞතික බොත්තම් පාලකයන් සහ රෝද පාලකයන් සහිත Loupedeck+ කොන්සෝලය අවකාශය ලබාදෙනු ඇත.
පාලක බොත්තම් ගණනාවක්, පාලක රෝද 8 ක් සහ කරකැවිය හැකි කුඩුම්බි රෝද 14 ක් සහිත මෙම කොන්සෝලය බැලූ බැල්මට සිහිගන්වනු ඇත්තේ ඩීජේ මික්සර් කොන්සෝලයක් වනු ඇත. මෙම සෑම පාලකයක්ම ඔබට මෘදුකාංගයේ අවශ්‍ය වන මෙවලම් සහ ක්‍රියාකාරකම් සෑම එකක්ම පාහේ ආවරණය කිරීමට සමත් වනු ඇත. මේ නිසා නිෂ්පාදකයින් කියන්නේ ඔබට යතුරු පුවරුවද, ඇතැම් විට මවුසයද සම්පූර්ණයෙන් පසෙක තබා මෙම කොන්සෝලය භාවිතයෙන් පමණක් මෘදුකාංගය මනාව හසුරුවමින් සංස්කරණ කටයුතු කිරීමට හැකිවනු ඇති බවයි.
මෙම Loupedeck+ කොන්සෝලය මත ඇති සෑම බොත්තමකටම, රෝදයකටම විශේෂිත වූ ක්රියාකාරීත්වයක් තිබේ. එය යම් පින්සල් මෙවලමක් දියත් කිරීම සහ එහි තීව්‍රතාවය අඩු වැඩි කිරීම, ඡායාරූපයේ ආලෝක අනාවරණය අඩු වැඩි කිරීම මෙන්ම කලින් සිදුකළ ක්‍රියාවක් අවලංගු කිරීමද විය හැක. මේ සෑම බොත්තමකම මූලික ක්‍රියාකාරකම් පැහැදිලිවම ලේබල් ගත කොට ඇති බැවින්, යතුරු පුවරුවක් භාවිතා කිරීමේදී මෙන් මෙවලම් සඳහා යතුරු සංයෝජන කෙටි මං සිහිතබා ගැනීමේ අවශ්‍යතාවක් ඇති නොවේ. එසේම මෙම කොන්සෝලයේ ඇති Modifier නමින් හැඳින්වෙන බොත්තමක් මගින් ඔබට මෙහි ඇති පාලක බොත්තම් සහ පාලක රෝද වෙත දෙවෙනි කාර්යයන් කට්ටලයක්ද පැවරීමට අවකාශ ඇත. උදාහරණයක් ලෙසින් දක්වන්නේ නම් මෙහි ඇති වර්ණ සීරුමාරු කිරීම සඳහා ඇති කුඩුම්බි රෝදයන් තුන ප්‍රධාන වර්ණ චැනලයන් ත්‍රිත්වය නියෝජනය කරන අතර, එක් එක් කුඩුම්බි රෝදයකින් පාලනය කෙරෙන වර්ණය එහි පාමුල දැල්වෙන LED බල්බයකින් ලේබල්ගත කෙරෙනු ඇත. එසේම ඒ අසල ඇති බොත්තම් මගින් ඔබට මෙම රෝදයන්ම hue, saturation, luminance වැනි අගයන් වෙනස් කිරීම සඳහා යොදාගත හැකි පරිදි ඒවායේ ක්‍රියාකාරිත්වය ක්ෂණිකව මාරු කරදෙනු ඇත.
එසේම මෙම පාලක බොත්තම්, රෝද වෙත සම්පූර්ණයෙන්ම ඔබගේ අභිමතය පරිදි වෙනස් ක්රියාකාරිත්වයන් පවරා දීමට ඔබට අවශ්‍ය වන්නේ නම්, එයද සිදුකළ හැක. ඒ සඳහා ඔබට සැකසුම් අවශ්‍ය පරිදි වෙනස් කළ හැක.
එසේම මෙම කොන්සෝලය මත පැහැදිලිව කැපී පෙනෙනා ලෙසින් ඇති විශාල කුඩුම්බි රෝදය ඔබට ඡායාරූපයක් ක්‍රොප් කිරීමට මෙන්ම ඡායාරූප පුස්තකාලය තුළ සැරිසැරීමට හෝ වෙනත් එවැනි කටයුතු සිදුකිරීමටද භාවිතා කළ හැක. වෙනත් ලෙසකින් පවසන්නේ නම්, මෙම ප්‍රධාන පාලකයන්හි විවිධ ක්රියාකාරීත්වයන් තිබේ. ඔබට Loupedeck+ කොන්සෝලය USB සම්බන්ධතාව ඔස්සේ පරිගණකයට ඈඳිය හැක.
සැබවින්ම මෙම Loupedeck+ උපාංගය ඔබට අවශ්‍ය වේද? ඒ සඳහා පිළිතුරු ලබාදීම සඳහා මෙම උපාංගය හඳුන්වා දෙන මිල සම්බන්ධයෙන්ද දැනුවත් කිරීමක් කළ යුතුවේ. මෙය යුරෝ 229 කට, එනම් රුපියල් 42,000 කට මඳක් වැඩි මුදලකට මිල කොට තිබෙනා අතර, ගෙන්වා ගැනීමේදී අමතර ගාස්තු සහ බදු ගෙවීමට සිදුවිය හැක. එසේ බැලූ විට Loupedeck+ උපාංගය සාමාන්‍යයෙන් මෘදුකාංගය පරිශීලනය කරන්නෙකුට මිලදී ගැනීමේ තේරුමක් නොවනු ඇත. එනමුත් නිරන්තරයෙන් ඡායාරූප විශාල ප්‍රමාණයන් සංස්කරණය කිරීමට Adobe Lightroom හෝ Skylum Aurora HDR භාවිතා කරන්නෙකුට නම් මෙම මිල යටතේ Loupedeck+ උපාංගය මිලට ගැනීම අනාගත ආයෝජනයක් වනු ඇත.
පැතුම් පුංචිහේවා