සංගීතය රසවිඳීම වඩාත් පුද්ගලික දෙයක් බවට පත් කරනා හෙඩ්ෆෝන් පසුගිය දශක කිහිපය තුළ ශීඝ්‍රයෙන් ජනප්‍රිය විණි. කෙසේ නමුත් මේ වනවිට සාම්ප්‍රදායික හෙඩ්ෆෝන් උපාංගයන්ගේ යුගයද අවසන් වන බවක් පෙනෙන්නට තිබේ. එයට ප්‍රධාන හේතුවක් වන්නේ හෙඩ්ෆෝනයක් පැළඳ ගමන් බිමන් යනවිට හෝ වෙනත් එවැනි කටයුත්තක යෙදී සිටිනා විට අවට ශබ්දයන් කිසිවක් නෑසීමයි. මෙහි අඩුම ගැටළුව වන්නේ අවට පරිසරය සම්බන්ධයෙන් අවධානය නැතිවීමෙන් සිදුවන අපහසුතා වන අතර, මේ සමගින් පැමිණෙන දරුණුම ගැටළුව වන්නේ හදිසි අනතුරු වලට පවා මුහුණ දීමට සිදුවීමයි.
කෙසේ වෙතත් මෙම ගැටළුවට පිළියමක් ලෙසින් බාහිර ශබ්දයන් ඔස්සේ ඔබට බාහිර පරිසරය සම්බන්ධයෙන්ද සවිඥානිකව සිටිමින් සංගීතයට සවන් දිය හැකි, බාහිරින් පැමිණෙන ශබ්දයන් සියයට සියයක් කපා නොහරින හෙඩ්ෆෝන් උපාංගයන් නිෂ්පාදනය වීම වැඩි වැඩියෙන් සිදුවන්නට පටන් ගෙන ඇත. එසේම සෘජුවම ඔබේ කණට සම්බන්ධ නොවන, එහෙත් කණට ආසන්නයේ රැඳී පවතිමින් ශ්‍රව්‍ය ප්‍රතිදානය සපයන ආකාරයේ උපාංගයන් නිර්මාණය කෙරෙහිද බොහෝ තාක්ෂණ සමාගම් අවධානය යොමු කරන්නට පටන් ගෙන ඇත. එයට එක් උදාහරණයක් වන්නේ BOSE මගින් Bose SoundWear Companion යන නමින් පසුගිය වසරේ නිකුත් කළ උපාංගයයි. එය සැබවින්ම පුද්ගලික ස්පීකර පද්ධතියක් ලෙසින් හැඳින්විය හැකි අතර, එය ඔබේ ගෙල වටා පැළඳිය හැක.
මෙම වසරේදී BOSE සමාගම මගින් මෙම සංකල්පය තවත් ඉදිරියට ගෙන යමින් BOSE Frame නමින් හැඳින්වෙන ස්පීකර පද්ධතියක් ඇතුළත් වූ අවු කණ්ණාඩි යුගලක් නිර්මාණය කොට ඇත.
හෙඩ්ෆෝන් උපාංගයකට එහා ගිය සංකල්පයක් වන මෙම BOSE Frame උපාංගය තුළ රඳවා ඇත්තේද පසුගිය වසරේ එළිදැක්වුණු BOSE SoundWear Companion උපාංගයේ වූ ස්පීකරයන්ම වේ. මෙයින් ඔබට අවට වටාපිටාව සම්බන්ධයෙන් සවිඥානිකව සිටිනා අතරදීම සංගීතයද ඉහළ ගුණාත්මක භාවයක් සමගින් රසවිඳින්නට අවස්ථාව ලබාදෙනු ඇත.
මෙම BOSE Frame උපාංගය බැලූ බැල්මටම සාමාන්‍ය මිලෙන් අධික අවු කණ්ණාඩි යුගලයකින් වෙනස් නොවේ. එසේම අවු කණ්ණාඩි යුගලයක් ලෙසින් එහි ගුණාත්මක භාවයද ඉහළ මට්ටමක ඇත. ඒකාකාරීව අඳුරු කොට ඇති මෙම අවු කණ්ණාඩි යුගලයට 99ක් තරම් ඉහළ ප්‍රතිශතයකින් අහිතකර UVA සහ UVB කිරණ කපා හැර ඔබේ ඇස් ආරක්ෂා කිරීමට හැකියාව ඇත. මෙම BOSE Frame අවු කණ්ණාඩි යුගලය විලාසිතා දෙකකින් පැමිණේ. පළමු විලාසිතාව Alto නම් වන අතර එය classic wayfarer මාදිලියේ කණ්ණාඩි යුගලකි. එසේම Rondo ලෙසින් නම් කොට ඇති දෙවන මාදිලිය 60 දශකයේ clubmaster විලාසිතාවට අනුව නිර්මාණය කර ඇත. මෙම මාදිලි දෙකම සඳහා සීරීම් වලට ප්‍රතිරෝධී නයිලෝන් රාමුවකින්, මල නොබඳින වානේ වලින් නිර්මිත අල්ලු වලින් සහ බිඳී නොයන ශක්තිමත් ලෙන්සයන්ගෙන් යුක්ත වේ. මෙසේ මෙම අවු කණ්ණාඩි යුගල ඔබට එදිනෙදා භාවිතා කළ හැකි ඉහළ මට්ටමේ අවු කණ්ණාඩි යුගලක් ලෙසින්ද හැඳින්විය හැක.
මෙම BOSE Frame අවු කණ්ණාඩි යුගලය පැලඳි විට එහි රාමුවේ කම්මුල් ප්‍රදේශය අසල ඉඩ කඩ ඇති අවකාශයේ කුඩා ප්‍රමාණයේ BOSE ස්පීකරයක් බැගින් රාමුවේ දෙපසම රඳවා ඇත. නිෂ්පාදකයින් පවසන ආකාරයට මෙම ස්පීකරයන් ස්ථානගත කොට ඇත්තේ එයින් නිකුත් වන හඬ ඔබට පමණක් හොඳින් ඇසෙන, වෙනත් කිසිවෙකුට නො ඇසෙන ආකාරයට වේ.
මෙම BOSE Frame උපාංගයේ රඳවා ඇති ස්පීකර පද්ධතිය රැහැන් රහිත බ්ලූටූත් තාක්ෂණය ඔස්සේ ක්‍රියාත්මක වන අතර, එයට අඩි තිහක පරාසයක් තිබේ. ඔබට මෙම ස්පීකර පද්ධතිය පහසුවෙන්ම ඔබේ ස්මාට් ෆෝනය සමගින් හෝ ටැබ්ලට් උපාංගය සමගින්, එසේත් නැතිනම් ලැප්ටොප් පරිගණකය සමගින් පවා සම්බන්ධ කොට සංගීතයට සවන් දිය හැක. එසේම මෙම ස්පීකර් පද්ධතිය සමගින්ම ස්ථාපනය කර ඇති මයික්රෆෝනයක්ද ඇති නිසා ඔබට ස්මාට් ෆෝනය හෝ ටැබ් උපාංගය හා මෙය සම්බන්ධ කොට ඇති අතරවාරයේදී පහසුවෙන්ම දුරකථන ඇමතුම්වලට පිළිතුරු දීමටද හැකියාව ඇත. එපමණක් නොව මේ ඔස්සේ ඔබට ස්මාට ්ෆෝනයේ හෝ ටැබ් උපාංගයේ ස්මාට් සහායකයින් වෙත හඬ විධානයන් ලබාදීමටද BOSE Frame අවු කණ්ණාඩි යුගලය භාවිතා කළ හැක. තවදුරටත් නිෂ්පාදකයින් කියා සිටින්නේ මේ ඔස්සේ BOSE AR (Augmented Reality) සහායද තිබෙනා බවයි. මෙම BOSE AR යන ශ්‍රව්‍ය තත්‍යාසන්න යතාර්ථ සහාය ප්‍රායෝගිකව භාවිතා වන්නේ කෙසේද යන්න තවම පැහැදිලි නැතත්, මෙම උපාංගයේ ඇති ස්පීකර හා මයික්‍රෆෝන පද්ධතියේ ප්‍රායෝගික කාර්යන් නම් බොහෝ වනු ඇති බව අපට අනුමාන කළ හැක.
වෙනත් බොහෝ BOSE ස්පීකරයන් සහ පසුගිය වසරේ BOSE SoundWear Companion උපාංගයේ මෙන්ම මෙම නවතම BOSE Frame උපාංගයේද ඇති ස්පීකරයන් BOSE සමාගමටම සුවිශේෂී වූ Wave තාක්ෂණය භාවිතා කරනු ඇතැයි අපේක්ෂා කළ හැක. නිෂ්පාදකයින් පවසන ආකාරයට මෙම තාක්ෂණයේ ඇති විශේෂත්වය වන්නේ එයට ප්‍රමාණයෙන් ඉතා කුඩා ස්පීකරයකින් වුවත් ඉතාමත් ඉහළ ගුණාත්මක තත්වයක සුපැහැදිලි හඬ ප්‍රතිදානයක් ලබාදීමට හැකිවීමයි.
මෙම BOSE Frame උපාංගයේ කුඩා ප්‍රමාණයේ බැටරියක්ද රඳවා ඇති අතර, ස්පීකර හා මයික්‍රෆෝන පද්ධතිය බලගැන්වෙන්නේ ඒ මගිනි. මෙම බැටරියට එක ආරෝපණයකින් උපාංගයේ ස්පීකරයන් එක දිගට පැය 3.5 ක පමණ කාලයක් ක්‍රියාත්මක කිරීම සඳහා බලය සැපයීමට හැකියාව ඇත.
එසේම මෙම BOSE Frame උපාංගයට ඇත්තේ IPX2 තත්ව සහතිකය වන බැවින් එය දහදියෙන් හෝ ජලය විසිරීමකින් හානි නොවනු ඇත. එසේ වුවත් මෙය ජල ප්‍රතිරෝධී නොවන බැවින්, ජලයට වැටීමෙන් හෝ වර්ෂාවට නිරාවරණය වීමෙන් BOSE Frameහි ඉලෙක්ට්‍රොනික පද්ධතියට හානි සිදුවීමේ අවදානමක් ඇත.
පැතුම් පුංචිහේවා