ඡායාරූප ගැනීම හෝ වීඩියෝ පටිගත කිරීම යනු තවදුරටත් ඉදිරියෙන් ඇති වස්තුවක් සිරස් අතට වන ඕනෑම කෝණයකින් ග්‍රහණය කර ගැනීම නොවේ. මේ වනවිට ඡායාරූප/වීඩියෝ ශිල්පයේ හැකියාවන් මෙන්ම ඡායාරූප හෝ වීඩියෝ ග්‍රහණය කර ගැනීමේ වුවමනා එපාකම් පුළුල් පරාසයක විහිදී ඇති නිසා, ඊට සමගාමීව නවතම කැමරා පරම්පරාවන්ගේ ආගමනයද අත්‍යාවශ්‍ය වී ඇත. අංශක 360 ක වපසරියක් ආවරණය කළ හැකි කැමරා එයින් එක් ප්‍රභේදයකි. මෙම කැමරාවන්ගෙන් බලාපොරොත්තු වූයේ Spherical footage නැතිනම් ගෝලීයව දසුන් ග්‍රහණය කර ගැනීමයි. ඒ වෙනුවෙන් නිෂ්පාදනය වන කැමරා බොහෝ ගණනක් අතුරින් Insta360 සන්නාමයට විශේෂ අවධානයක් ලැබුණු අතර, ඔවුන් Insta360 One, Insta360 Pro, Insta360 Pro 2කැමරා ඔස්සේ වසරක් ඇතුළත ශීඝ්‍ර දියුණුවක් ලබාගැනීමට සමර්ථව තිබේ. හඳුන්වා දී ඇති නවතම Insta360 One X කැමරාව එම ශීඝ්‍ර දියුණුව කෙතරම් වේදැයි කියාපාන අනගි නිදර්ශනයකි.
වසරකට පමණ පෙර එළිදැක්වුණු Insta360 One කැමරාව මගින් කෘතහස්ත සංස්කරණ යෙදුමක්ද සමගින් අංශක 360ක අන්තර්ගතයන් ග්‍රහණය කරගැනීමට මෙන්ම දැඩි සංස්කරණ ප්‍රයත්නයකින් තොරව 1080p විභේදනයේ රූප රාමු උපුටා ගැනීමටද අවකාශ ලැබේ. නිෂ්පාදකයින් පවසන ආකාරයට Insta360 One Xසමගින් කැමරාවේ දෘඩාංග මෙන්ම මෘදුකාංග හැකියාවන් වඩ වඩාත් දියුණු කොට ඇත.
නවතම Insta360 One Xකැමරාවේ දක්නට ලැබෙනා සුවිශාලතම දියුණුවක් වන්නේ, තවදුරටත් කැමරාව ස්මාට්ෆෝනයට සවි කොට භාවිතා කිරීමේ අවශ්‍යතාවක් නොමැති වීමයි. ඔබට වීව්ෆයින්ඩරයක් ලෙසින් ස්මාට්ෆෝනය භාවිතා කිරීමට අවශ්‍ය නම්, එය රැහැන් රහිත සම්බන්ධතාව හරහා ඉටු කරගැනීමට හැකියාව ඇත. මේ අනුව Insta360 One X කැමරාවට වඩාත් සුචලතාවක් සහ භාවිතයට පහසුවක් ලැබෙනු ඇත. එසේම පැරණි Insta360 One කැමරා සංස්කරණයේදී මෙන් නොව, ඔබට නව Insta360 One Xකැමරාව iPhone උපාංගයක් සමගින් වුවත්, Android උපාංගයක් සමගින් වුවත් ගැටලුවකින් තොරව භාවිතා කිරීමට හැකියාව ඇත.
හැඩහුරුකම අතින් මෙය කුඩා චොකලට්ටුවකට වැඩි නොවේ. අඟල් 4.5ක උසින්, අඟල් 1.8 ක පළලින් හා අඟල් 1.2ක ඝනත්වයෙන් යුක්ත වන මෙම උපාංගය බරින් අවුන්ස 3.36 ක් වේ. එනම් ග්‍රෑම් සියයකටත් අඩු ප්රමාණයකි.
Insta360 One Xකැමරාවේ දෙපස එකක් මෙගාපික්සල් 18 ක් වූ කැමරා සෙන්සරයන් ස්ථාපනය කොට ඇත. මෙම කැමරා සෙන්සරයන්ට 5.7K තරම් ඉහළ ගුණාත්මක භාවයක විභේදනයකින් සහ තත්පරයට රාමු 30 ක ශීඝ්‍රතාවකින් වීඩියෝ ග්‍රහණය කරගැනීමට හැකියාව තිබීම සුවිශේෂීත්වයකි.එසේම 4K ගුණාත්මක තත්වයෙන් වීඩියෝ ග්‍රහණය කරගන්නේ නම් තත්පරයට රාමු 50 ක ශීඝ්‍රතාවක් ලැබෙනු ඇත. නැතිනම් 3K ගුණාත්මක තත්ත්වයෙන් වීඩියෝ පටිගත කරන්නේ නම් එම අන්තර්ගතයන් ග්‍රහණය කරගැනීමේ ශීඝ්‍රතාව තත්පරයට රාමු 100 ක් වනු ඇත. මෙයින් ග්‍රහණය කරගන්නා වීඩියෝ අන්තර්ගතයන් සඳහා මෙන්ම නිශ්චල ඡායාරූප සඳහාද HDR සහාය ඇත. එසේම අක්ෂ හයක ගයිරස්කෝපයක්ද මෙහි ඇති අතර එයින් optic image stabilizer හැකියාව ලබාදෙනු ඇත. මෙනිසා ඔබට හොඳින් ආලෝකමත්වූ, තියුණු වර්ණයන්ගෙන් යුතු, මනා ස්ථාවරත්වයකින් යුක්තව සුමට ලෙසින් ගලා යන වීඩියෝ සහ ඡායාරූප කැමරාව ආධාරයෙන් ග්‍රහණය කරගැනීමට හැකියාව ලැබෙනු ඇත. මෙයට අමතරව Insta360 සන්නාමය සමගින් පැමිණෙන තවත් විශිෂ්ට ගෝලීය අන්තර්ගතයන් ග්‍රහණය කරගත හැකි වෘත්තීය මට්ටමේ කැමරාවක් වන Insta360 Pro 2 හි ඇතිFlowState ස්ථායීකරණ ඇල්ගොරිදමය Insta360 One Xසමගින්ද ලබාදී තිබීම නිසා, සාමාන්‍යයෙන් පසු සංස්කරණයේදී පමණක් ලබාගත හැකි ආකාරයේ ස්ථායී භාවයක් සියලුම දිශාවන් ඔස්සේ සිදුවන තත්‍ය කාල වීඩියෝ ග්‍රහණය කරගැනීම් සඳහා ලැබෙනු ඇත.
නවතම Insta360 One Xකැමරාවේ වැඩිදියුණු වී ඇත්තේ දෘඩාංග හැකියාවන් පමණක් නොවේ. විශේෂයෙන්ම ස්මාට්ෆෝනය සඳහා පැමිණෙන Insta360 One Xයෙදුම හරහා පෙර මෙන්ම විවිධ Visual effects එකතු කිරීම, වර්ණයන් වෙනස් කිරීම ඇතුළු කුදු මහත් සම්මත සංස්කරණ කටයුතු සියල්ලම පහසුවෙන් ඉටු කරගැනීමට හැකියාව ලැබෙනු ඇත. මේ සඳහා Insta360 One Xකැමරාව මගින්
ඔබේ ස්මාට්ෆෝනය වෙත පටිගත කෙරෙනා අන්තර්ගතයන් රැහැන් රහිත සම්බන්ධතාව ඔස්සේ ලබාදෙනු ඇත.
ඔබ දත්ත කේබලයක් භාවිතා කරන්නේ නම් 50MB/s වේගයකින් පටිගත කළ අන්තර්ගතයන් ස්මාට්ෆෝනයට හෝ වෙනත් උපාංගයකට මාරු කළ හැකි අතර, 5 GHz අධිවේගී
වයි - ෆයි රැහැන් රහිත සම්බන්ධතාව ඔස්සේ එය සිදුකරන්නේ නම්ද ඊට ආසන්න වේගයක් ලැබෙනු ඇත.
මෙයට අමතරව මෙහි පූර්වජයාගේ දක්නට ලැබුණු Bullet Time හැකියාවද වඩාත් දියුණු කොට Insta360 One Xඋපාංගය සඳහා ලබාදී තිබෙනු දක්නට හැක. මෙහිදී ඔබට සෙල්ෆී දඬුවක් නැතිනම් කේබලයක් ආධාර කරගනිමින් කැමරාව තමන්ව අක්ෂය ලෙසින් ගනිමින් කරකැවීමට හැක. එහිදී සෙල්ෆි දඬුවේ හෝ කේබලයේ ඡායාමාත්රයක් හෝ නැතිවන ලෙසින් ස්වයංක්‍රීයව, තත්‍ය කාලීනව විඩියෝ අන්තර්ගතයන් සංස්කරණය වනු ඇති අතර, වීඩියෝ අන්තර්ගතයේ දර්ශනය වනු ඇත්තේ ඔබ විසින් නොව වෙනත් අයෙකු විසින් එම අන්තර්ගතයන් පටිගත කරනා බවක් වනු ඇත.
Insta360 One Xකැමරාව සමගින් හඳුන්වා දී ඇති ඇති තවත් විශේෂාංගයක් වන්නේ Timeshift හැකියාවයි. එය භාවිතා කරමින් ඔබට ලබාගන්නා වීඩියෝ ක්ලිපයන්හි අවශ්‍ය කොටස් වැඩි වේගයකින් ඉදිරියට යන ලෙසින් සැකසීමටත් (Fast Forward), තවත් වීඩියෝ කොටසක් වඩාත් නාට්‍යානුසාරී ලෙසින් මන්දගාමීව ඉදිරියට යන ලෙසින් සැකසීමටත් (Slow Motion) හැකියාව ලැබේ.
එසේම Insta360 One Xකැමරාව සඳහා ලබාගත හැකි විශේෂිත drifter උපකරණය වෙත කැමරාව සවි කොට කඩදාසි රොකට්ටුවක් යවන ආකාරයෙන් අහසේ පා කොට හැරීම මගින්, අපූරු වීඩියෝ දර්ශනයක් ලබාගැනීමට හැකියාව ඇත. එසේම මෙම Drift දර්ශන කොටස මන්දගාමී ලෙසින් හසුකරගැනීම ඔස්සේ එය වඩාත් අපූර්වාකාරයක් ගනු ඇත.
මෙම Insta360 One Xඋපාංගයේ 1200mAh ප්‍රමාණයේ බැටරියක් අන්තර්ගත වන අතර, එයට එක් ආරෝපණයකින් එක දිගට මිනිත්තු 60 ක් පමණ වීඩියෝ පටිගත කිරීමට හැකියාව ඇත. එසේම ඔබට පහසුවෙන් ගලවා ඉවත් කිරීමට හැකි ආකාරයෙන් මෙහි බැටරිය අන්තර්ගත කොට ඇති නිසා අමතර බැටරි භාවිතා කිරීමද ගැටළුවක් නොවනු ඇත.
පැතුම් පුංචිහේවා