එක්තරා කාලයක් ලැප්ටොප් පරිගණක අතර මහේශාක්‍ය වෙළෙඳ නාමයක් ලෙසින් ඩෙල් පරිගණක වැජඹුණි. කෙසේ නමුත් කාලයාගේ ඇවෑමෙන් ටොෂීබා, හැව්ලෙට් පැකාඩ්, ලෙනෝවෝ, ඒසර් වැනි විවිධ වෙළෙඳ නාමයන් වඩාත් මිලෙන් අඩු, එසේම තෝරාගැනීමට ඉහළ විකල්ප පරාසයන් සහිතව ලැප්ටොප් පරිගණක/නෝට්බුක් පරිගණක වෙළෙඳපොළට ඉදිරිපත් කිරීමත් සමගින්, ඩෙල් සමාගමටද තමන්ගේ නිෂ්පාදනයන් වඩාත් සුඛනම්‍ය කිරීමට, තෝරාගැනීම සඳහා විකල්ප ගණනාවක් ලබාදීමට සිදුවුණි.
කෙසේ නමුත් මෙය අතිශයින්ම සතුටුදායක පියවරක් වූ බව කිව හැක්කේ, වර්තමානය වන විට ඩෙල් පරිගණකයක් තමන්ගේ පුද්ගල පරිගණකය ලෙසින් තෝරාගැනීමට බොහෝදෙනා කැමැත්තක් දක්වන බැවිනි. තවමත් ඒසර්, ටොෂීබා, ලෙනෝවෝ වැනි වෙළෙඳ නාමයන්ට සාපේක්ෂව ඩෙල් නෝට්බුක් පරිගණකයක් මඳක් මිලෙන් ඉහළ වූවත් එහි ගුණාත්මක තත්වය සහ ඉහළ දෘඩාංග හැකියාවන් නිසා එම මිල අතර වෙනස නොසලකා හැරිය හැකිවේ.
මේ වසරේදී වඩාත් යාවත්කාලීන වුණු හැකියාවන් සහ විශේෂාංගයන් සමගින් කරලියට පැමිණි Dell XPS 13 Ultrabook ලැප්ටොප් පරිගණකය, මෙම වසරේ ඩෙල් ලැප්ටොප් පරිගණක අතරින් පමණක් නොව මෙම වසරේ සියලුම ලැප්ටොප්/නෝට්බුක් පරිගණක අතරින් විශිෂ්ටතමයෙකු ලෙසින් හැඳින්විය හැක. විශේෂයෙන්ම ප්‍රබල දෘඩාංග හා මෘදුකාංග හැකියාවන්ගෙන් යුක්ත, එමෙන්ම හුරුබුහුටි ආකර්ෂණීය නිමාවකින් යුක්ත, පහසුවෙන් එහා මෙහා ගෙනයෑමේ හැකියාව සහිත ලැප්ටොප් උපාංගයක් සොයන්නෙකුට Dell XPS 13 Ultrabook යනු වඩාත් ගැළපෙන තෝරාගැනීමක් ලෙසින් හඳුන්වා දිය හැක.
මෙහි තිර ප්‍රමාණය අඟල් 13 ක් වීමත්, මෙය ලෝකයේ හුරුබුහුටිම නැතිනම් කුඩාම අඟල් 13 තිර ප්‍රමාණයේ අල්ට්‍රාබුක් පරිගණකය වීමත් එම ප්‍රකාශය සනාථ කරයි. විශේෂයෙන්ම මෙහි දක්නට ලැබෙනා තවත් විශේෂත්වයක් වන්නේ මෙය ලෝකයේ මුල්ම borderless InfinityEdge display තිරයක් සහිත, එනම් පරිගණකයේ කෙළවර දක්වාම පැතිර ගිය තිරයක් සහිත ලැප්ටොප් උපාංගයක් වීමයි. මෙහිදී අඟල් 13 ක තිර ප්‍රමාණය අඟල් 11 ක රාමුවක් තුළට රිංගවා තිබේ. එසේම මෙහි ආනත තලය මිලිමීටර් 5.2 ක් තරම් සිහින් වේ. එසේම මෙහි සමස්ත ඝණත්වය මිලිමීටර් 9.15 ක් පමණක් වන අතර, මෙහි බර කිලෝග්‍රෑම් 1.22 කට ( රාත්තල් 2.7) වැඩි නොවේ. මෙසේ බැලූ විට මෙම Dell XPS 13 Ultrabook උපාංගය ලෝකයේ මෙම ප්‍රමාණයේ නෝට්බුක් උපාංගයන්ගෙන් සැහැල්ලුම සහ සිහින් නිමාවකින් යුක්ත පරිගණකයක් ලෙසින් සැලකිය හැක.
මෙහි ඇති අඟල් 13 ක UltraSharp™ QHD තිරය 3200x1800 තිර විභේදනයකින් සහ ඔබව විස්මයට පත් කරනා තියුණු වර්ණයන්ගෙන් යුක්ත වේ. එසේම මෙහි සාමාන්‍ය ලැප්ටොප් තිරයකට වඩා දීප්තිමත් තිරය නිසාවෙන් වැඩි හිරු එළියක් සහිත එළිමහනේ වුවත් පහසුවෙන් භාවිතා කළ හැකිවේ. එසේම නෝට්බුක් උපාංගයක් වූවද ඔබට අවශ්‍ය නම් ලබාගැනීමට Dell XPS 13 Ultrabook උපාංගයේ ස්පර්ෂ තිරයක් සහිත සංස්කරණයක්ද තිබේ.
මෙහි ප්‍රබල 6th Gen Intel® Core™ ප්‍රොසෙසරයක් ඇති අතර ඔබේ අවශ්‍යතා අනුව තෝරාගැනීම සඳහා ප්‍රොසෙසර සංස්කරණයන් කිහිපයක්ම තිබේ. Intel HD graphics සමගින් පැමිණෙන මෙහි ඔබට අවශ්‍ය නම් Intel® Iris™ 540 Graphics ග්‍රැෆික් ප්‍රොසෙසරයක් ස්ථාපනය කොට ලබාගැනීමටද හැක. එසේම මෙහි නවීනතම මාධ්‍ය මෘදුකාංග හැකියාවන් ලබාදී ඇති අතර, උදාහරණයක් ලෙසින් වීඩියෝ සංස්කරණය සඳහා භාවිතා කළ හැකි Intel® Quick Sync Video හඳුන්වාදිය හැක. මෙහි 1TB මතක ධාරිතාවක (තෝරාගැනීමට සංස්කරණ ඇත) නවීනතම solid state drives දෘඩ තැටියක් ඇති අතර, 16GB දක්වා වන රැම් මතකයන්ගෙන් තෝරාගැනීමටද හැකියාව ඇත.
මෙහි සිහින් හැඩය සමගින් ස්ථාපනය කළ හැකි බැටරි බලය සීමා වී තිබේ. එසේ වුවත් අඟල් 13 ප්‍රමාණයේ නෝට්බුක් සමගින් සසඳන විට මෙමගින් ඉතා හොඳ බැටරි බලයක් ලැබේ. පැය 18 ක් දක්වා සම්මත තත්ව යටතේ මෙය බැටරි බලයෙන් භාවිතා කළ හැකියැයි නිෂ්පාදකයන් කියයි. කෙසේ වුවත් ශ්‍රී ලංකාවේදී එම පැය ගණන මඳක් අඩු වන බවද කිව යුතුවේ.
මෙහි ස්ථාපනය කොට ඇති Thunderbolt™ 3 multi-use පෝට් එක ගැනද විශේෂයෙන්ම යමක් කිව යුතුවේ. ඒ මගින් ඔබට ලැප්ටොප් උපාංගය චාර්ජ් කිරීමට, 4K දර්ශන තිරයන් දෙකක් ඇතුළු වෙනත් විවිධ උපාංග හා සම්බන්ධතාවය ලබාගැනීමට මෙන්ම දත්ත හුවමාරු කිරීමටද හැකියාව තිබේ. සැබවින්ම මෙම Thunderbolt™ 3 multi-use පෝට් එක හරහා දත්ත හුවමාරු කළ හැකි වේගය 40Gbps දක්වා වන අතර, එය නවීනතම USB 3.0 සම්බන්ධතාවය මෙන් 8 ගුණයක් වේගවත් වේ.
මෙම Dell XPS 13 Ultrabook ලැප්ටොප් උපාංගය නිර්මාණය කිරීමේදී ඩෙල් සමාගම විසින් පරිසර හිතකාමීත්වයද ඉහළින්ම සලකා බලා ඇති අතර, බලශක්ති පරිභෝජන කාර්යක්ෂමතාවය වෙනුවෙන් මෙයට සහතිකය ලැබී තිබේ. මෙහි කැඩ්මියම්, ඊයම්, රසදිය වැනි හානිකර අමුද්‍රව්‍ය නොමැති අතර BFR/PVC වලින් තොර වේ. එසේම මෙම Dell XPS 13 Ultrabook උපාංගයේ ඇති කොටස් 90% ක් දක්වා පහසුවෙන්ම නැවත පාවිච්චි කිරීමට නැත්නම් ප්‍රතිචක්‍රීකරණය කිරීමට හැකි අතර, මෙය මෙම කාණ්ඩයේ නිෂ්පාදනය වූ පරිසර හිතකාමී බවෙන් අනූනම ලැප්ටොප් උපාංගය ලෙසින්ද සැලකේ.