ඊ-බුක් නැතිනම් ඩිජිටල් මාධ්‍යයෙන් ඇති පොත පත සම්බන්ධයෙන් තවමත් ලංකාවේ බොහෝ දෙනා තුළ ඇත්තේ එතරම් ප්රසාදජනක අදහසක් නොවේ. මන්ද යත් පොත් කියවන බොහෝ දෙනෙකු විශ්වාස කරන්නේ සැබෑ පොත් කියවීමේ අත්දැකීමක් ලැබීමට නම් පොතක් අතට අසුවිය යුතු බව, පොතක සුවඳ දැනිය යුතු බව සහ සැබෑ පිටු පෙරළීමේ අත්දැකීමක් ලැබිය යුතු බවයි. ඒ සම්බන්ධයෙන් වාද විවාද කිරීම පසුවට තැබූවත්, තවමත් සිංහල පොත් සඳහා නියමාකාරයෙන් සකස් වූ ඊ-පොත් නොමැති බැවින් සිංහල පමණක් කියවන පාඨක ජනයාට ඒ සම්බන්ධයෙන් එතරම් ගැටලුවක් ඇති කරගැනීමට අවශ්‍ය නොවනු ඇත.
එසේ වුවත් ඉංග්‍රීසි පොත පත කියවීමට හුරු වූ පාඨකයන් හට ඊ-බුක් යනු නවතම ඉදිරි පියවරක් යැයි කීම වැරදි නොවේ. මක්නිසාද යත් සාපේක්ෂව ඉංග්‍රීසි පොතපත මිලෙන් ඉහළ නිසාත්, අධික මිලක් ගෙවා ඉංග්‍රීසි පොතක් පොත්හලකින් මිලදී ගන්නා විටදී, එම පොතේම ඊ සංස්කරණය එයින් දහයෙන් එකකටත් වඩා අඩු මිලකට අන්තර්ජාලයේ ඇති පොත් හලකින් ලබාගැනීමට හැකි නිසාත් වේ.
කෙසේ නමුත් මෙහිදී සිහියේ තබාගත යුතු කරුණ වන්නේ මේ පවසන්නේ පරිගණකයෙන්, ස්මාට්ෆෝනයෙන් හෝ ටැබ්ලට් උපාංගයකින් ඊ-පොත් කියවීම සම්බන්ධයෙන් නොවේය යන්නයි. සැබවින්ම එවැනි උපාංගයක තිරය සැකසී ඇත්තේම පොතක් කියවන අත්දැකීම ඇසට ලබාදීමට නොවේ. එසේම පොතක් කියවනා අයුරට ස්මාට්ෆෝනයක් හෝ ටැබ්ලට් උපාංගයක් බොහෝ වේලාවක් අතේ රඳවා ගෙන හිඳීමටද නොහැකි වේ. එමනිසා නියමාකාරයෙන් ඊ-පොතක් කියවා රසවිඳීමට නම් ගැළපෙන ඊ පොත් කියවනයක්, එසේත් නැතිනම් අපට හුරුපුරුදු ලෙසින් පවසන්නේ නම් ඊබුක් රීඩරයක් තිබීම අත්‍යවශ්‍ය වේ.
ලෝකයේ මින් පෙරත්, මේ වනවිටත් බොහෝ සමාගම් මගින් ඊ බුක් රීඩර නිර්මාණය කර වෙළෙඳ පොළට හඳුන්වා දෙන නමුත්, ඊ බුක් රීඩරයන්ගේ නොමැකෙන වෙළඳ නාමය ලෙසින් තවමත් හැඳින්වෙන්නේ ඇමසන් කින්ඩ්ල් වේ. මින් පෙර ලෝකයේ විශාලතම අන්තර්ජාල පොත්හල නිර්මාණය කරමින් ජනාදරයට පත්වූ ඇමසන් සමාගමේ ඊබුක් රීඩර ගණනාවක් මේ වනවිට වෙළෙඳපොළට නිකුත් වී තිබේ. කෙසේ වුවත් අප කතා කරන්නට යන්නේ ශ්‍රී ලංකාවේ අපට ගැලපෙන මිලකින් සහ පහසුකම්වලින් යුක්ත මධ්‍යම මිල ඇමසන් කින්ඩ්ල් ඊබුක් රීඩරයක් වන Amazon Kindle Paperwhite 3 සම්බන්ධයෙනි.
පසුගිය වර්ෂයේදී වෙළෙඳ පොළට හඳුන්වා දෙනු ලැබූ මෙම ඊ-රීඩර් උපාංගය සැබවින්ම එම ඊබුක් රීඩර් පෙළේ නවීනතම සංස්කරණයක් වේ. බොහෝ දෙනා මෙය හඳුන්වන්නේ Amazon Kindle Paperwhite 7th generation ලෙස වුවත්, වැඩි දෙනෙකු මෙය හඳුනා ගන්නේ Amazon Kindle Paperwhite 3 ලෙසිනි.
මෙම Amazon Kindle Paperwhite 3 උපාංගය සමගින් කියවෙන සුවිශේෂී කරුණු දෙකක් තිබේ, ඉන් එකක් වන්නේ මෙහිද පැරණි ඇසර හුරු පුරුදු e-ink තිරය තිබීමත්, එහි තිර විභේදනය විශාල වශයෙන් වැඩිවී තිබීමත් වේ. සැබවින්ම ඇමසන් කින්ඩ්ල් පවුලේ නවීනතම මිලෙන් ඉහළ Kindle Voyage ඊ-බුක් රීඩරයේ ඇත්තේද මේ තිරයම බව කීමෙන් මෙහි ඉහළ ගුණාත්මක භාවය මොනවට පැහැදිලි වේ. එසේම Kindle Paperwhite 3 සමගින් කියවෙන අනෙක් කරුණ නම් මෙහි ඇති Bookerly නමින් හැඳින්වෙන ඇසට වඩාත් පහසු, ප්‍රියමනාප නව අකුරු වර්ගයයි.
මෙම Kindle Paperwhite 3 ඊබුක් රීඩර් උපාංගයේ දෘඩාංග සම්බන්ධයෙන් සලකා බලන්නේ නම් මූලිකවම එහි තිරය සම්බන්ධයෙන් කතා කළ යුතුවේ. මෙහි අඟල් 6 ක 16-level gray scale වර්ණ තලයේ e-ink Carta තිරයක් ඇති අතර, 300 PPI ප්‍රමාණයේ 1430×1080 තිර විභේදනයක්ද දක්නට ලැබේ. මෙය මෙහි පූර්වජයා වූ 2013 මොඩලයට වඩා සුවිශේෂී දියුණුවකි. මෙහි අති පැහැදිලි අකුරු දිස්වීම නිසා පොතක් කියවීම ඕනෑම ආලෝක තත්වයක් යටතේ ඇසට පහසු, ප්‍රිය උපදවන අත්දැකීමක් වනු ඇත. විශේෂයෙන්ම ටැබ්ලට් උපාංගයන්ට වඩා මෙවැනි ඊ-බුක් රීඩරයක ඇති විශේෂත්වය වන්නේ තිරයේ කිසිදු දිළිසීමක් හෝ පරාවර්තනයක් නොමැති වීමයි.
දැඩි හිරු එළිය මධ්‍යයේ පොතක් කියවන විටකදී වුවද සැබෑ පත්තරයක් හෝ පොතක් කියවන අත්දැකීම ඔබ වෙත ගෙන එන්නට මෙය සමර්ථ වනු ඇත. එසේම අඳුරේදී පොතක් කියවන විටදී වුවද ඔබේ ඇස් වෙහෙසට පත් නොකරන ආකාරයට තිරයේ දීප්තිය අඩු වැඩි කරගැනීමට හැකියාව Kindle Paperwhite 3 හි ඇති අතර, back-lit ආකාරයට නොව built-in front light ආකාරයට තිරය දීප්තිමත් වන නිසා ඇසට අනවශ්‍ය දිළිසීමක් හසුනොවනු ඇත.
මෙය අඟල් 6.7 ක් උසින් සහ අඟල් 4.6 ක් පළලින් යුක්ත වන අතර ගණකම අඟල් 0.36 ක් වේ. එනම් සාමාන්‍ය පැන්සලකට වැඩි නොවේ. එසේම බරද ග්‍රෑම් 217 ක් පමණක් වේ. එනිසා මෙය සාමාන්‍ය පොතකටත් වඩා පහසුවෙන් අත තබාගෙන කියවීමට හැකි අතර, සැහැල්ලු බව නිසා කිසිදු වෙහෙසක්ද අතට නොදැනෙනු ඇත. එසේම තිරය වටා ප්‍රමාණවත් තරම් පළලැති රාමුවක් තිබීම නිසා ඔබට ඕනෑම ඉරියව්වක හිඳ, ඊ බුක් රීඩරයේ ඕනෑම පැත්තකින් අල්වාගෙන කියවීමටද හැකියාව තිබේ.
මෙය වයි-ෆයි රැහැන් රහිත සම්බන්ධතාවය පමණක් ඇති සංස්කරණයක් සහ වයි-ෆයි මෙන්ම 3G පහසුකම්ද ඇති සංස්කරණයක් ලෙසින් පැමිණේ. මේ තුළ 4GB ප්‍රමාණයේ මතක ධාරිතාවක් ඇති අතර, එය පොත් දහස් ගණනක් මේ තුළ තැන්පත් කර තැබීමට ප්‍රමාණවත් වේ. එසේම අවශ්‍ය නම් Amazon වෙතින් නොමිලේ ලබාදෙන ක්ලවුඩ් ධාරිතා පහසුකම් භාවිත කරමින් ඔබේ ඊ-පොත් ක්ලවුඩ් මතකයක් තුළ තැන්පත් කර තැබීමේ හැකියාවද ඇත. ඇමසන් කින්ඩ්ල් ඊ පොත් ආකෘතීන්ට අමතරව TXT, PDF, unprotected MOBI, PRC natively; HTML, DOC, DOCX, JPEG, GIF, PNG, BMP යන ගොනු ආකෘතීන් පවා මෙහි පහසුවෙන් පරිහරණය කළ හැකි බැවින් ඔබට අවශ්‍ය නම් ඔබේ කාර්යාලීය ලිපිගොනු පවා මේ තුළ තබාගැනීමට හැකියාව තිබේ.
එමෙන්ම මෙහි බැටරිය සම්බන්ධයෙන් කතා කරන්නේ නම්, ඔබ දවසකට පැය භාගයක් පමණ වේලාවක් Kindle Paperwhite 3 භාවිතා කරමින් පොත් කියවන්නේ යැයි (වයිෆයි ක්‍රියා විරහිත කොට) උපකල්පනය කරන්නේ නම්, ඔබට එක් වරක් මෙය ආරෝපණය කළ පසුව එක දිගට සති හයක කාලයක් මෙය භාවිත කිරීමට හැකිවනු ඇත.
මෙම Kindle Paperwhite 3 ඊ රීඩර් උපාංගය ඔබ සෘජුවම ඇමසෝන් වෙබ් අඩවිය භාවිත කරමින් ගෙන්වා ගන්නේ නම් ඒ සඳහා සියලුම බදුද එකතු වී රුපියල් 26,000 ක පමණ මුදලක් වැයවනු ඇත. එසේ වුවත් කප්රුක වැනි තුන්වැනි පාර්ශවයේ සේවාවක් භාවිත කරන්නේ නම් Kindle Paperwhite 3 උපාංගයක් ඔබට රුපියල් 18,000 ක පමණ උපරිම මිලකට ගෙන්වා ගැනීමට හැකියාව ලැබෙනු ඇත. මෙම මුදල් ඩොලරයේ අගය සමගින් අඩු වැඩි විය හැක.