ස්මාට්ෆෝනයක් මෙන්ම ටැබ්ලට් උපාංගයක්ද භාවිත කළ හැක්කේ සුවපහසුව හිඳ සිටිය හැකි අවකාශයක පමණක් නොවේ. ඇතැම් විට ඔබ නවීන තාක්ෂණය ඔබේ කටයුතු සඳහා අනුහුරු කරගැනීම මනාව ප්‍රගුණ කොට ඇතිනම්, ගොඩනැගිලි ඉදිකිරීම් බිමක වුවත් ඔබේ ටැබ්ලට් උපාංගය ඔබට ප්‍රයෝජනයක් වනු ඇත. කෙසේ නමුත් මෙහිදී පැන නඟිනා ප්‍රධානතම ගැටලුවක් වෙයි. එනම් සාමාන්‍යයෙන් වෙළෙඳ පොළේ අප දකිනා ටැබ්ලට් උපාංගයන් බොහෝමයක් රළු භාවිතය සඳහා නිර්මාණය කළ ඒවා නොවීමයි. ඒවා බොහෝ විට දුහුවිල්ලෙන් හෝ තෙතමනයෙන් හානි වීමේ වැඩි ඉඩක් තිබෙනා අතර, රළු මතුපිටක් මතට වැටීමෙන් අනිවාර්යයෙන්ම හානි වනු ඇත. ස්මාට්ෆෝනයක් තරම් පහසුවෙන් අතේ රඳවා ගැනීමේ හැකියාවද වඩා විශාල ටැබ්ලට් උපාංගයක් හැසිරවීමේදී නොමැති වීමද ඊට එක් හේතුවක් විය හැක. කෙසේ නමුත් මෙම තත්ත්වය වෙනස් කිරීම සඳහා ඉදිරියට පැමිණ ඇත්තේ සැම්සුන්ග් සමාගමයි. ඒ ඔවුන්ගේ නවතම Samsung Galaxy Tab Active2 උපාංගය හඳුන්වා දීමෙනි.
රළු භාවිතයට උචිත ලෙසින් හඳුන්වා දෙමින් වෙළෙඳ පොළට ඉදිරිපත් කරන්නට යෙදුණු මෙම Galaxy Tab Active2 උපාංගය බැලූ බැල්මටද හැඩි දැඩි පෙනුමකින් යුක්ත වන්නේ, එහි වටා ඇති ආවරණය නිසාවෙනි. පරීක්ෂණයන් ගණනාවකට බඳුන් කොට, රළු භාවිතයට මනාව යෝග්‍ය වන බවට සහතික කොට ඇති මෙම Galaxy Tab Active2 උපාංගය ජලයෙන්, තෙතමනයෙන්, කම්පනයන්ගෙන් හෝ බිම වැටීමකින් මෙන්ම ඉහළ උෂ්ණත්වයන්ගෙන්ද හානියක් නොවී ක්‍රියාත්මක වීමේ හැකියාවෙන් යුක්ත වෙතැයි කියැවේ. බිම වැටීමක් වැනි කම්පනයකට පහසුවෙන් ඔරොත්තු දෙන අයුරින් ඝන දාර සහිතව නිර්මාණය වී ඇති Galaxy Tab Active2 උපාංගය MIL-STD-810G යන මිලිටරි විශේෂ සම්මතයන්ගෙන් සමත් වී තිබේ. එසේම මෙය ජලයට සහ දුහුවිල්ලට ඔරොත්තු දෙන බව සනාථ කිරීම සඳහා IP68 තත්ත්ව සහතිකයද තිබේ. නිෂ්පාදකයන් විසින් පවසන ආකාරයට Galaxy Tab Active2 උපාංගය ඔබට අඩි පහක් පමණ ගැඹුරු ජල තලයක් තුළ කිසිදු හානියකින් තොර්ව මිනිත්තු 30ක් පමණ ගිල්වාගෙන සිටීමට හැකියාව ඇත.
එසේම ජල බිඳිති හෝ හිම කැටිති වුවත් මෙහි තිරය මත නොරඳමින් පහතට ලිස්සා යනු ඇති අතර, ඔබට කෙතරම් අසීරු කාලගුණ තත්ත්වයක් යටතේ වුවත් Galaxy Tab Active2 උපාංගය භාවිත කළ හැකි බවට වෙනත් නිදර්ශනයන් අනැවැසි වනු ඇත. විශේෂයෙන්ම මෙහි ස්පර්ෂ තිරයේ හැකියාවන් වැඩි දියුණු කර ඇති බැවින්, ජල බිඳිති තිරය මතට වැටුණද ඔබට අසීරුතාවයකින් යුතුව ස්පර්ශ තිරය භාවිතා කිරීමට හැකි වනු ඇත. එසේම ඔබ ඝණ අත්වැසුම් පැලඳ සිටිනා අවස්ථාවකදී වුවද මෙහි ඇති සුවිශේෂී Glove Mode එක ක්‍රියාත්මක කර අපහසුතාවයකින් තොරව ස්පර්ෂ තිරය භාවිතා කිරීමට හැකිවනු ඇත. එසේම විකල්පයක් ලෙසින් මෙහි ජල-ප්‍රතිරෝධී S Pen එකක්ද තිබේ.
මෙම Galaxy Tab Active2 උපාංගය වෘත්තීයමය කටයුතු සඳහාම විශේෂයෙන් නිර්මාණය කර ඇති බැවින්, මෙහි ආරක්ෂාව සම්බන්ධයෙන්ද නිෂ්පාදකයින් විශේෂයෙන්ම අවධානය යොමු කොට ඇත. මෙහි චිප පද්ධතිය මත පදනම්වූ ආරක්ෂක පද්ධතියක් ලෙසින් හැඳින්විය හැකි Samsung Knox ආරක්ෂක පර්යන්තය ස්ථාපනය කර ඇති බැවින්, පිටතින් අනවශ්‍ය අයෙකුට ඔබේ දත්ත සොරාගැනීම හෝ වෙනස් කිරීම අතිශයින්ම අසීරු කාරණයක් වනු ඇත. එසේම උක්ත පද්ධතිය මගින් දත්ත කළමනාකරණයද පහසු කරදෙනු ඇත. එසේම මෙහි ඉදිරිපස බොත්තම මත ස්ථාපනය කළ ඇඟිලි සලකුණු ස්කෑනරයක්ද තිබෙනා බැවින්, අනවශ්‍ය අයෙකුට භෞතිකව වුවත් ඔබේ Galaxy Tab Active2 ටැබ් උපාංගයට ප්‍රවේශ වීම කළ නොහැක්කක් වනු ඇත. අවශ්‍ය නම් වැඩිමනත් ආරක්ෂක පියවරක් ලෙසට මුහුණු හඳුනාගැනීමේ තාක්ෂණය භාවිත කිරීමේ ඉඩප්රස්ථාවද මෙයින් පරිශීලකයාට ලබා දෙනු ඇත.
මෙම Galaxy Tab Active2 උපාංගයට අඟල් 8ක LCD ස්පර්ශ තිරයක් අයත් වේ. එසේම මෙය Exynos 7870 චිප් පද්ධතිය මත ස්ථාපිත Octa-core 1.6 GHz Cortex-A53 ප්‍රොසෙසරයකින් සමන්විත වේ. ගිගාබයිට් 3 ක රැම් මතකයක්, ගිගාබයිට් 16ක අභ්‍යන්තර මතකයක් මෙන්ම ගිගාබයිට් 256 දක්වා ඉහළ දැමිය හැකි බාහිර මතකයක්ද සහිත මෙය ධාවනය වන්නේ Android 7.1.1 (Nougat) මෙහෙයුම් පද්ධති සංස්කරණය මතිනි. මෙහි මෙගාපික්සල් 8 ක විභේදන බලයකින් යුතු ප්‍රධාන කැමරාවක් සහ මෙගාපික්සල් 5 ක ඉදිරිපස කැමරාවක්ද තිබේ. එසේම මෙහි 4,450mAh ධාරිතාවේ බැටරිය ඔබට එක දිගට පැය 10 කට වඩා වැඩ කිරීමේ හැකියාව ලබාදෙනු ඇත. එපමණක් නොව සාමාන්‍යයෙන් ඔබ දකිනා ටැබ් උපාංගයක මෙන් නොව මෙහි බැටරි අතිශයින්ම පහසුවෙන් මාරු කිරීමේ හැකියාවද තිබෙනා බැවින්, ඔබට බැටරි බැස ගිය පසුව ආරෝපණය කිරීම සඳහා වැඩ නොනවත්වා, වෙනත් බැටරියක් යොදා එක දිගට වැඩ කිරීමටද හැකියාව තිබේ.
මෙහි සාමාන්‍යයෙන් දක්නට ලැබෙනා accelerometer, gyroscope, GPS, geomagnetic වැනි සෙන්සරයන් ඇතුළු මෙවලම් ගණනාවක් තිබෙනා අතර, විශේෂයෙන්ම වෘත්තීයමය වැඩකටයුතු සඳහා මෙම සෙන්සරයන් හරහා ලබාගත හැකි භාවිතයන් ප්‍රමාණය අතිවිශාල වේ. ඒ සඳහා අවශ්‍ය තුන්වන පාර්ශවයන්ගේ යෙදවුම්ද ඔබට Google Play වෙතින් සොයාගත හැකිය. එයට අමතරව මෙම ටැබ් උපාංගයේ වැඩිදියුණු කළ යථාර්ථය හෙවත් AR (Augmented Reality) හැකියාවන්ද තිබීමද වාසියකි.
මෙහි Wi-Fi, Bluetooth, NFC සහ අවශ්‍ය නම් ලබාගත හැකි LTE රැහැන් රහිත සබඳතා තිබේ. එසේම මෙහි හැඩිදැඩි POGO Pin connector හරහාද සම්බන්ධතාව ඇති බැවින් ඔබට අවශ්‍ය නම් තවත් උපාංග කිහිපයක් එක් විට ආරෝපණය කිරීමට මෙන්ම බාහිර යතුරුපුවරුවක් ටැබ් උපාංගයට සම්බන්ධ කර ගැනීමද කළ හැකිය.
මෙහි මිලද සාපේක්ෂව ගැටලුකාරී නොවන අතර, ඉදිකිරීම් ක්ෂේත්රයන්හි නියැළෙන්නන්, ඉංජිනේරුවරුන් වැනි විශාල පරාසයක පරිශීලකයන් සඳහා තම වෘත්තීයමය කටයුතු ඉටු කරගැනීමට මනා මෙවලමක් ලෙසින් Galaxy Tab Active2 උපාංගය භාවිත කළ හැකි වනු ඇත.