ටැබ්ලට් උපාංග ජනප්‍රිය වීමට පටන් ගත් කාලයේ දී පවා එය ටැබ්ලට් පරිගණක යන නමින් හැඳින්වුවත්, සැබැවින්ම එය පුද්ගල පරිගණකයක් ලෙස පරිශීලකයන්ට නොදැනුණි. බොහෝ විට ටැබ්ලට් උපාංග භාවිත කළේ Laptop හෝ Desktop පුද්ගල පරිගණකවලින් වැඩ කරන්නෙකුට, Smart Phone හි සාපේක්ෂව කුඩා තිරයෙන් ලබාගැනීමට නොහැකි වැඩ කොටසක් ඉටු කරගත හැකි හෙයිනි. නමුත් පුද්ගල පරිගණකයක ශක්‍යතාවයට ළඟා විය නොහැකි අතරමැදි උපාංගයක් ලෙස මෙය යොදා ගෙන ඇත. මෙයට හේතු ලෙස සාපේක්ෂව අඩු දෘඩාංග ප්‍රබලත්වය, මෙහෙයුම් පද්ධතියේ සීමාවන්, තිරයේ විශාලත්වය ප්‍රමාණවත් නොවීම සහ අනෙකුත් ආදාන හෝ ප්‍රතිදාන උපාංගයන්ගේ අඩුව දැක්විය හැක. අදටත් යම් යම් ටැබ්ලට් උපාංග සම්බන්ධයෙන් මෙය සත්‍ය වන නමුත්, වින්ඩෝස්, ඇපල් නැතිනම් ගූගල් සමාගම් මගින් නිර්මාණය කරන ටැබ්ලට් උපාංග සැබැවින්ම පුද්ගල පරිගණක බවට පත්ව තිබෙන බව දැකිය හැකිය.
මෙයට හොඳම උදාහරණයක් ලෙස නවතම Microsoft Surface Pro 6 ටැබ්ලටය දැක්විය හැක.
අඟල් 12.3 ක LCD තිර පැනලයක් සහ 2736 x 1824 තිර විභේදනයක් සහිතව පැමිණෙන මෙම Microsoft Surface Pro 6 ටැබ්ලටය තවමත් නෝට්බුක් තිරයකට වඩා ප්‍රමාණයෙන් කුඩා වුවද, සාම්ප්‍රදායික ටැබ්ලටයක උපරිම තිර ප්‍රමාණය වන අඟල් 10.1 ඉක්මවා තිබීම නිසා ප්‍රායෝගිකව පරිශීලකයන්ට වඩාත් වැඩදායී වනු ඇත. මෙවැනි තිර ප්‍රමාණයකින් පැමිණෙන ඇතැම් නෝට්බුක් උපාංගයන්ට වෙනස් ලෙසින් මෙහි ප්‍රබල Intel Core i5 or i7 (8th generation) ප්‍රොසෙසරයක් අන්තර්ගත වේ. මෙහි 8GB හෝ 16GB ලෙසින් තෝරාගත හැකි රැම් මතකයන් නිසාම පුද්ගල පරිගණකයකින් ඉටු කරගන්නා ඕනෑම ඉහළ පරිගණක බලයක් අවශ්‍ය වන කාර්යයක් මෙයට පහසුවෙන් ඉටු කරදීමට හැකිවනු ඇත. මෙහි මතක ධාරිතාවය 128GB, 256GB, 512GB හෝ 1TB ලෙසින් තෝරාගත හැක. Intel UHD 620 ග්‍රැෆික් කාඩ් පතක්ද මෙහි අඩංගු වේ. මෙය ධාවනය වන්නේ Windows 10 Home මෙහෙයුම් පද්ධතිය මතිනි. මෙහි Wi-Fi ac, Bluetooth 4.1 රැහැන් රහිත සම්බන්ධතා සහ USB 3.0, mini DisplayPort, headphones, TPM, microSD යන සබඳතාවද තිබේ. පසුපස 8MP ප්‍රධාන කැමරාවක් සහ ඉදිරිපස 5MP ද්විතීයික කැමරාවක් අඩංගු වන අතර, Windows Hello පහසුකමද තිබේ. මිලිමීටර් 8.5ක් තරම් සිහින් නිමාවකින් යුතු මෙය උපරිම ග්‍රෑම් 784 කට වඩා බර නොවේ. එසේම Microsoft Surface Pro 6 හි ඉතා හොඳ බැටරි බලයක්ද තිබෙන බව නිෂ්පාදකයන් විසින් සඳහන් කරන ලදී.
මින් ලබාදෙන පරිගණක බලය සහ හැකියාවන් සමගින් ගත් විට Microsoft Surface Pro 6 ටැබ්ලට් පරිගණකය පහසුවෙන්ම වෘත්තිකයන් සඳහා ගැළපෙන උපාංගයක් ලෙසින් නිර්දේශ කිරීමේ අසීරුතාවයක් නොමැත. කෙසේ නමුත් සලකා බැලිය යුතු කරුණ වන්නේ, පරිගණක ආශ්රයෙන් සිදුකරන කාර්යයන් සඳහා අවශ්‍ය වන පරිගණක බලයේ වුවමනාව ශීඝ්‍රයෙන් වැඩිවෙමින් පවත්නා බැවින්, එම අවශ්‍යතා සියල්ලම සැපිරීමට මෙයට හැකියාව තිබේද යන්නයි. මෙහි ඇති එම අඩුපාඩු සඳහා එක් උදාහරණයක් ලෙසින් USB-C ද්වාරයක් නොමැති වීම පෙන්වාදිය හැක. අඩු තරමින් මීළඟ වසරේ සංස්කරණයේදී ටැබ්ලටයට සම්පූර්ණයෙන්ම නවීකරණය වූ මුහුණුවරකින් හා වඩාත් ප්‍රබලත්වයකින් වෙළෙඳ පොළට පිවිසීමට හැකිවන්නේ නම්, පුද්ගල පරිගණක හා ටැබ්ලට් උපාංග අතර ඇති සුළු හෝ වෙනසද එමගින් මැකී යනු ඇත.