2019 වසරේ ජාත්‍යන්තර පාරිභෝගික ඉලෙක්ට්‍රොනික ප්‍රදර්ශනය (CES 2019) මෙම වසරේ ජනවාරි 8 සිට 11 වෙනිදා දක්වා අති උත්කර්ෂවත් අන්දමින් ලාස් වේගාස් හිදී පැවැත්වුණේ, ලෝකයේම නව තාක්ෂණ ලෝලීන්ගේ නෙත් සිත් ඒ දෙස යොමු කරවමිනි. සිරිත් පරිදිම මෙම වසරේ CES 2019 ප්රදර්ශනයේදීද පුළුල් පරාසයක නව තාක්ෂණික උපාංගයන් සහ නව තාක්ෂණයන් ලෝකයා හමුවේ එළිදැක්වුණු අතර, බොහෝ නිෂ්පාදන සමාගම් මගින් මෙම වසරේ සිය ජයග්‍රාහී නිර්මාණයන්ද එළිදක්වා තිබිණි. මෙම නව නිෂ්පාදනයන්ට පරිගණක/වීඩියෝ ක්‍රීඩා ලෝලීන් වෙනුවෙන්ම නිර්මාණය වූ නව මොනිටරයන් කිහිපයක්ද ඇතුළත් වී තිබිණි.
මේ එම ගේමින්ග් මොනිටරයන්ගෙන් කිහිපයකි.
Samsung CRG9 Gaming Monitor
හඳුන්වා දෙන නව අඟල් 49 ක Samsung CRG9 ගේමින්ග් මොනිටරය CES 2019 හි පරිගණක ආදාන ප්‍රතිදාන නිෂ්පාදන කාණ්ඩයේ විශිෂ්ටතම නිමැවුමට හිමි සම්මානය ලබා ගැනීමටද සමත් විණි. එමෙන්ම වීඩියෝ ක්‍රීඩා කාණ්ඩයේ ගෞරව හැඳින්වීමක් වීමටද එයට හැකියාව ලැබිණි. මෙය ලෝකයේ ප්‍රථම 32:9 අනුපාතයේ තිරයකින් යුතු ඉහළ විභේදනයක් සහිත Super Ultra-wide ගේමින්ග් මොනිටරය ලෙසින් නිෂ්පාදකයින් හඳුන්වයි. මෙහි ඇති මෙම සුවිශේෂී 32:9 ප්‍රමාණයේ තිරය මගින් වඩාත් පුළුල් දර්ශන පථයක් පරිශීලකයාට ලබාදෙන අතර, එයින් වඩාත් වැඩි අන්තර්ගතයක් ඉහළ මට්ටමක තොරතුරු ප්‍රමාණයක් සමගින් දැක ගැනීමට අවකාශ සලසයි. මෙහි 1800R (මිලිමීටර 1,800 ක) ප්‍රමාණයකින් තිරයේ වක්රවීමක් දක්නට ඇත. මෙවැනි වක්‍ර තිර මොනිටරයකින් පරිගණක ක්‍රීඩාවන්හි නියැළෙන්නෙකු හට තමන් වටා දර්ශන පථය දිව යන හෙයින් වඩාත් යථාර්ථයට සමීප වූ ක්‍රීඩා අත්දැකීමක් ලැබෙනු ඇත.
මෙම 5120 x 1440 විභේදනයකින් යුතු Dual QHD තිර පැනලය සැබවින්ම සමාන වන්නේ, එක ළඟින් යාබදව තැබූ අඟල් 27 ක QHD මොනිටරයන් ද්විත්වයකටයි. මෙම Samsung CRG9 මොනිටරයේ වන HDR10 සහාය මගින් වඩාත් ගැඹුරු කළු වර්ණ මට්ටම් ලබාදෙන අතර, ඉහළ දීප්තියක් සමගින් සුපැහැදිලි වර්ණ රටාවන් දැකගැනීමට ඉඩ සලසනු ඇත.
මෙම මොනිටරයේ නව AMD Radeon FreeSync™ 2 HDR තාක්ෂණය මගින් stuttering, screen tearing හා input latency වැනි පරිගණක ක්‍රීඩාවන්හි යෙදීමේදී තිරයේ ඇතිවන බොහෝ දෝෂයන් මගහරවයි. එසේම Low Framerate Compensation (LFC) හැකියාව සමගින් වඩාත් මෘදුව ගලායන පරිගණක ක්‍රීඩා අත්දැකීමක් ලබාදෙයි. එසේම මෙහි ඇති 120Hz ප්‍රමාණයේ Refresh rate එක සමගින් වඩාත් වේගවත්ව දිවෙනා ක්‍රීඩාවන් පවා කිසිදු අපහසුවකින් තොරව ගලායන බව සහතික කරයි.
Lenovo Legion Y44w Gaming Monitor
ඇතැම් විට පරිගණක ක්‍රීඩා ලෝලී ඔබ, Samsung CRG9 මොනිටරය මගින් ලබාදෙන පුළුල් තිරයට කැමති වුවත් ඊට වඩා උසින් වැඩි මොනිටරයකට කැමැත්තක් දක්වනු ඇත. එය එසේ නම් ඔබට ගැළපෙන ගේමින්ග් මොනිටරය වනු ඇත්තේ Lenovo Legion Y44w වේ. මෙයද වක්‍ර වූ Ultra-wide තිරයක් ලබාදෙන අතර, මෙහි අඟල් 43.4 ක ප්‍රමාණයේ තිරය 32:10 අනුපාතයට නිර්මාණය කොට ඇති බැවින් මෙම මොනිටරය වඩාත් උසින් වැඩි වනු ඇත. මෙහි 3840 x 1200 ප්‍රමාණයේ විභේදනයක් ඇති අතර, වඩාත් ශීඝ්‍ර වූ 144Hz ප්‍රමාණයක Refresh rate එකක්ද ඇත. මෙයට අමතරව AMD Radeon FreeSync™ 2 තාක්ෂණය සඳහාද මෙය සහාය දක්වයි. එසේම මෙහි ඉවත් කළ හැකි Harman Kardon ස්පීකර පද්ධතියක්ද ඇත.
Lenovo Legion Y27gq Gaming Monitor
ඔබ පරිගණක ක්‍රීඩා සඳහා වඩාත් සාම්ප්‍රදායික පරිගණක තිරයක් ප්‍රිය කරන්නෙකු නම්, ඔබේ පරිගණක තිරය සඳහා ඉහළ මුදලක් ගෙවිය යුතු නැතැයි සිතන්නෙකු නම්, ඔබ වෙනුවෙන්ද ගේමින්ග් මොනිටරයක් Lenovo සමාගම මගින් ඉදිරිපත් කොට ඇත. මෙම අඟල් 27ක Lenovo Legion Y27gq ගේමින්ග් මොනිටරය 1440p තිර විභේදනයක් සහ වඩාත් ඉහළ 240Hz ප්‍රමාණයේ Refresh rate එකක් ලබාදෙන අතර, ඒ ඔස්සේ මෙය දැනට වෙළෙඳපොළේ ඇති මෙම විභේදනය යටතේ ඉහළම refresh rate එක ලබාදෙන මොනිටරය බවට පත්ව ඇත. මෙය ඔබට ගේමින්ග් පරිගණක තිරයක් ලෙසින් යොදාගත හැකිවාක් මෙන්ම, වඩාත් ඉහළ හැකියාවන් ඉල්ලා සිටිනා නිර්මාණාත්මක කාර්යයන් සඳහාද යොදාගැනීමට හැකියාව ඇත. මෙයට මිලිතත්පර 0.5ක -එනම් මිලිතත්පරයකටත් වඩා අඩු කාලයක- ප්‍රතිචාර කාලයක් තිබෙනා බැවින්, ඔබට වඩාත් සුමටව ගලායන ක්‍රීඩා අත්දැකීමක් අත්විඳීමට හැකියාව ලැබෙනු ඇත. එසේම මෙය Nvidia G-Sync සඳහාද සහාය දක්වයි. මෙය සාපේක්ෂව වඩාත් මිලෙන් අඩු විකල්පයක් වනු ඇත.
HP Omen X 65 Emperium Monitor
ඔබ වටා පැතිර ගිය උසින් අඩු එහෙත් පුළුල් වූ තිරයක පරිගණක ක්‍රීඩාවන්හි යෙදීමට වඩා, දැවැන්ත වූත්, ඔබගේ දෑස් ඉදිරිපිට විශාලව නැගී සිටින්නා වූත් තිරයක පරිගණක ක්‍රීඩාවන්හි යෙදීමට ඔබ කැමැත්තක් දක්වන්නේ නම්, HP සමාගම මගින් CES 2019 ප්‍රදර්ශනයේදී ඉදිරිපත් කරන්නට යෙදුණු HP Omen X 65 Emperium ගේමින්ග් මොනිටරය ඔබට වඩාත් ගැළපෙනු ඇත. මෙය ප්‍රථම Big Format Gaming Display (BFGD) මොනිටරය ලෙසින් HP සමාගම හඳුන්වා දෙයි.මෙහි අඟල් 65 ක දැවැන්ත තිරයක් තිබෙනා අතර, තිර අනුපාතය වඩාත් හුරුපුරුදු
16:9ක ප්‍රමාණය වේ. මෙය 3840x2160 (4K UHD) ප්‍රමාණයේ තිර විභේදනයක් ලබාදෙන අතර, 144Hz ප්‍රමාණයේ Refresh rate එකක්ද මෙයට තිබේ.
මෙහි ස්ථාපනය වූ Nvidia Shield ඇන්ඩ්‍රොයිඩ් ටීවී කොන්සෝලයක්ද තිබෙනා බැවින්, ඔබට මෙම මොනිටරය ඔස්සේ ඇන්ඩ්‍රොයිඩ් යෙදුම් වෙත ප්‍රවේශ වීමේ හැකියාව මෙන්ම Google Assistant හා සම්බන්ධ වීමේ හැකියාවද තිබේ. මෙයද NVIDIA® G-SYNC® HDR තාක්ෂණය මගින් බලගැන්වෙන අතර, ඔබට ඉහළ ශීඝ්‍රතාවකින් ගලා යන වීඩියෝ ක්‍රීඩාවන්ද වඩාත් සුමටව අත්විඳීමට හැකියාව ලැබෙනු ඇත. අවශ්‍ය නම් ඔබට මෙම HP Omen X 65 Emperium මොනිටරයේ පහත කොටසට සවි වන වොට් 120 ක ස්ටීරියෝ ඈම්ප් ත්‍රිත්වයකින් සමන්විත OMEN X Emperium සවුන්ඩ් බාර් එකක්ද සමගින් පූර්ණ ශ්‍රව්‍ය දෘෂ්‍ය අත්දැකීමක් ලබාගැනීමට හැකියාව ඇත.
පැතුම් පුංචිහේවා