පරිගණක උපාංගයන්හි දෘඩාංග හැකියාවන් සම්බන්ධයෙන් වඩාත් ඉක්මනින් අතෘප්තිමත් වන්නන් අතර ඉදිරියෙන්ම පරිගණක ක්‍රීඩා ලෝලීන් සිටිනා බව අමුතුවෙන් කිව යුතු නොවේ.
විශේෂයෙන්ම දිනෙන් දින අලුත් වන පරිගණක ක්‍රීඩා ලෝකයේ පරිගණක දෘඩාංග හා මෘදුකාංග හැකියාවන්ටද එම වේගයෙන්ම පරිණාමය වීමට සිදුවන නිසා, බොහෝ විට උග්‍ර පරිගණක ක්‍රිඩා ලෝලීන් උත්සාහ කරන්නේ වීඩියෝ ක්‍රීඩා කොන්සෝලයන්ට යොමුවීමට නැතිනම් පරිගණක ක්‍රීඩා වෙනුවෙන්ම නිර්මාණය වන ගේමින්ග් පරිගණක වෙත ආයෝජනය කිරීමටයි.
වර්තමානය වන විට හැඩි දැඩි ඩෙක්ස්ටොප් ගේමින්ග් පරිගණක පද්ධතීන් මෙන්ම වඩාත් ජංගම ගේමින්ග් ලැප්ටොප් පරිගණකයන්ද සම ජනප්‍රියත්වයක් උසුලන බැව් පෙනේ. එසේම නිෂ්පාදකයින් උත්සාහ කරන්නේ ගේමින්ග් ලැප්ටොප් උපාංගයන් තුළ රඳවන ප්‍රබල දෘඩාංග හැකියාවන් ඒ ආකාරයෙන්ම තබා ගනිමින් නැතිනම් ඉහළ දමමින්, ඒවායේ ප්‍රමාණයට සහ පෙනුමට වඩාත් හුරුබුහුටි බවක්, වඩාත් සිහින් බවක් ලබාදීමටයි.
මෙම උත්සාහයේ තවත් සාර්ථක ප්‍රතිඵලයක් ලෙසින් හැඳින්වීමට හැක්කේ ASUS සමාගම මගින් නිර්මාණය කර එළිදක්වන්නට නියමිතව ඇති ASUS ROG Zephyrus ගේමින්ග් ලැප්ටොප් පරිගණකයයි.
ASUS සමාගම මගින් මෙම ASUS ROG Zephyrus (GX501VI) ගේමින්ග් ලැප්ටොප් උපාංගය අල්ට්රා-ස්ලිම් ගේමින්ග් ලැප්ටොප් පරම්පරාවක් නිර්වචනය කරන්නක් ලෙසින් හඳුන්වාදෙන අතර, ප්‍රබල NVIDIA GeForce GTX 1080 ග්‍රැෆික් ප්‍රොසෙසරය සමගින් එන ලෝකයේ සිහින්ම නිමාවක් ඇති ගේමින්ග් පරිගණකයද මෙයම බව ඔවුන් පවසා සිටී.
සිහින් පෙනුමකින් යුක්ත වූවත්, වර්තමාන සම්මතයන්ට අනුව වුවත් ප්‍රබල යන්ත්‍රයක් ලෙසින් හැඳින්විය හැකි මෙම උපාංගයට නවීනතම AAA ශ්‍රේණියේ -එනම් ඉහළ පිරිවැයක්, ශ්‍රමයක් හා කාලයක් වැය කොට තැනූ- උසස් මට්ටමේ වීඩියෝ ක්‍රීඩාවන් වුවත් පහසුවෙන්ම හැසිරවීමට හැකි දෘඩාංග ශක්‍යතාවන් තිබේ.
ASUS ROG Zephyrus උපාංගය මිලිමීටර් 16.9 කට වඩා ඝනත්වයකින් යුතු නොවන අතර, ඒ නයින් එය නවීනතම MacBook Pro පරිගණකයේ බඳට (මිලිමීටර් 15.5) වඩා වැඩි වන්නේ ස්වල්පයකිනි. එසේම මෙය වෘත්තිය මට්ටමේ ගේමින්ග් ලැප්ටොප් උපාංගයක් ලෙසින් විශාල දෘඩාංග බලයක් සහ පරිගණක බලයක් රඳවාගෙන සිටින්නේය යන කරුණ සැලකිල්ලට ගත්විට සැබවින්ම එය පරිගණක දෘඩාංග ඉංජිනේරුකරණයේ දක්ෂතාවක් ලෙසින් විදහා දැක්විය යුතුවේ.
කෙසේ වුවත් මෙම ජයග්‍රහණයට ඔවුන් භාවිත කරනා නවීනතම ග්‍රැෆික් ප්‍රොසෙසරයද හේතුකාරක වේ. මන්දයත් ඔවුන් ප්‍රබල ග්‍රැෆික් කාඩ්පතක් ලෙසින් චිරප්රසිද්ධ NVIDIA® GeForce® GTX 1080 ග්‍රැෆික් ප්‍රොසෙසරයේ Max-Q සංස්කරණය භාවිත කොට
තිබෙනා බැවිනි.
මෙම ග්‍රැෆික් ප්‍රොසෙසරය ජනප්‍රිය වන්නේ එහි ප්‍රබලත්වය නිසාවෙන් මෙන්ම, සාමාන්‍ය සම්මත ප්‍රබල ග්‍රැෆික් කාඩ්පතක් සමගින් සංසන්දනය කරනා විට 50% කින් වැඩි කාර්යක්ෂමතාවය සහ අතිශයින්ම අවම සිසිලන අවශ්‍යතාවක් සහිත වීම නිසාවෙනි. මෙනිසා ASUS සමාගමට ROG Zephyrus වැනි ප්‍රබල උපාංගයක් තුළ රැඳවිය යුතු තරම් හීට්-සින්ක් සහ සිසිලන පංකාවන් ඇතුළත් කිරීමේ අවශ්‍යතාව මතුවී නොමැත.
මේ වෙනුවෙන්ම සැකසුම් කළ ග්‍රැෆික් ප්‍රොසෙසරයට අමතරව මෙහි Intel Core i7 මධ්‍යම සැකසුම් ඒකකයක් තිබේ. එසේම මෙහි රැම් එක ගිගාබයිට් 24 ක් වනතෙක් වැඩිකළ හැකි අතර එහි මතක ධාරිතාව ලෙසින් ටෙරාබයිට් 1 ක SSD මතකයක් තිබේ. එසේම මෙහි අඟල් 15.6 ක තිරය 1080p විභේදනයකින් සහ 100% ක් sRGB වර්ණ පරාස ආවරණයකින් යුක්ත වේ.
මෙහි RGB-backlit යතුරුපුවරුවක් තිබේ. එසේම මෙහි ට්‍රැක් පෑඩය දකුණු පසට ගෙන තිබෙනා අතර, යතුරු පුවරුව වඩාත් පහතට ගෙනැවිත් තිබෙනා බවද නිරීක්ෂණය කළ හැක. ඒ නිසාවෙන් ඔබට වඩාත් ඩෙක්ස්ටොප් පරිගණක පද්ධතියක වීඩියෝ ක්‍රීඩාවන්හි නියැළෙන ආකාරයේ අත්දැකීමක් මේ හා ලැබෙනු ඇත.
මෙම ASUS ROG Zephyrus ගේමින්ග් ලැප්ටොප් උපාංගය තවත් දින හතරකින් එනම් ජූනි 27 වෙනි දින හඳුන්වාදීමට නියමිත වන අතර, ජූනි අවසානයේදීම වෙළෙඳපොළටද පැමිණෙනු ඇත. මෙහි මිල ඇමරිකානු ඩොලර් 2,299 කින් ආරම්භ වන බවද ASUS සමාගම පවසයි.