වර්තමානයේදී වෙළෙඳපොළේ දක්නට ලැබෙනා බොහෝ ස්මාට්වොච් දුටු විට සිහිවන්නේ කුඩා දරුවන් සඳහා නිර්මාණය කර තිබූ හතරැස් විශාල මුහුණත් ඇති අත් ඔරලෝසු නැතිනම් තරුණයින් සඳහා නිර්මාණය කර තිබූ ඩිජිටල් හයිටෙක් පෙනුම ඇති අත් ඔරලෝසු වේ. කෙසේ නමුත් වඩාත් ක්ලැසික් පෙනුමක් ඇති ස්විස් ඔරලෝසුවක හැඩයෙන් යුතු ස්මාට් ඔරලෝසුවක් සඳහා යමෙකු ආශා කරයි නම්, Montblanc විසින් නිර්මාණය කර ඇති මෙම Summit ස්මාට්වොච් උපාංගය ඊට පිළිතුරයි.
මෙම ස්මාට් අත් ඔරලෝසුව නිර්මාණය වී ඇත්තේ 1858 ක්ලැසික් ඔරලෝසු පෙළෙහි සැකැස්මට අනුව වන අතර, එය සරල ඇඳුමකට මෙන්ම කාර්යාලීය ඇඳුමකටද, සම්පූර්ණ යුරෝපීය ඇඳුමකටද එක ලෙසින්ම ගැලපේ.
මෙම Montblanc Summit උපාංගයේ අඟල් 1.39 ක පැනලාක් තිබේ. එසේම සාමාන්‍යයෙන් අප දකිනා ස්මාට්වොච් උපාංගයන්ට වෙනස් ආකාරයෙන් සැෆයර් ක්‍රිස්ටල් වීදුරුවකින් ආවරණය වී ඇති නිසා මෙහි ක්ලැසික් පෙනුම වඩාත් ආරක්ෂා වී ඇත. මෙයට අමතරව මෙහි සාමාන්‍යයෙන් ඕනෑම හොඳ ස්මාට්වොච් උපාංගයක දැකිය හැකි ආකාරයේ සෙන්සර පද්ධතියක් ඇති අතර, ඔබේ හෘද ස්පන්දනය නිරීක්ෂණය කිරීමට සහ වෙනත් ශාරීරික වෙනස්කම් හා ඉරියව් මැන බැලීමට එය යෙදවෙනු ඇත. මෙම ස්මාට් ඔරලෝසුවට 512MB රැම් මතකයක්, 4GB මතක ධාරිතාවක් සහ 300mAh බැටරියක් අන්තර්ගත වේ. මෙය සාමාන්‍ය ස්මාට්ෆෝනයක් මෙන් එක් වරක් ආරෝපණය කිරීමෙන් එක් දිනක් පුරා ක්‍රියාත්මක වනු ඇත. මීට අමතරව මෙහි Wi-Fi සහ Bluetooth 4.1රැහැන් රහිත සම්බන්ධතාවයන් සහ magnetic charging පහසුකමද අන්තර්ගත වේ.