ශ්‍රී ලංකා නව නිපැයුම් කොමිසම පසුගියදා සංවිධානය කළ සහසක් නිපැයුම් 2016 තරගාවලියට පාසල් අංශයේ බලශක්ති කාණ්ඩය යටතේ වෙන්නප්පුව සාන්ත ජෝශප් වාස් විදුහලේ උසස් පෙළ ගණිත අංශයේ ඉගෙනුම ලබන ෂෙහාන් ධනංජය නෙත්තසිංහ ඉදිරිපත් කළ ස්මාර්ට් කාමර විදුලි පරිපථයට හොඳම නිපැයුම ලෙස සම්මාන ලබා තිබේ.
දිනෙන් දින ඉහළ යන බල ශක්තියට පිළියමක් ලෙස ඔහු මෙම නව නිර්මාණය ඉදිරිපත් කර ඇත. මෙම යන්ත්‍රය සවි කිරීමෙන් පසු නිවසක සිටින පුද්ගලයන් ඒ ඒ ස්ථානයන්ට ඇතුළුවීමේදී එම ස්ථානයන්හි සවිකර ඇති බල්බ ස්වයංක්‍රීයව දැල් වී එම පුද්ගලයන් එම ස්ථානයෙන් බැහැරවීමේදී විදුලි බල්බය ක්රියාවිරහිතවීමෙන් නාස්තිවන විදුලිය ඉතිරි කරලීම සිදුකරන බව මෙම යන්ත්‍රයේ ක්‍රියාකාරීත්වය පිළිබඳ අදහස් දැක්වූ ධනංජය සිසුවා පැවසිය. මීට අමතරව මෙම යන්ත්‍රය සවිකිරීමෙන් අනතුරුව විදුලි පංකාව පරිසරයේ පවතින උෂ්ණත්වය අනුව ක්‍රියාත්මකවීම තුළින් විදුලි බලය ඉතිරිවීමද මෙහි සුවිශේෂත්වයක් බවද ඔහු වැඩිදුරටත් පවසා සිටියේය. .
මෙම තරගාවලියට එක් වූ පාසල් අංශයේ සිසුන් 180 ක් අතරින් එළැඹෙන දෙසැම්බර් මාසයේදී තායිවානයේ පැවැත්වෙන ජාත්‍යන්තර නව නිපැයුම් තරගාවලියට ෂෙහාන් ඉදිරිපත් කළ නිර්මාණය සුදුසුකම් ලබා තිබීමද විශේෂත්වයකි.
කල්පිටිය - සින්නපාඩුව ගමේ ජීවත්වන ෂෙහාන් සින්නපාඩුව ප්‍රාථමික විදුහලින් ශිෂග්යත්ව විභාගය සමත් වීමෙන් අනතුරුව හලාවත සාන්ත මරියා විදුහලට ඇතුළත්ව තිබේ. එහි සමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපනය ලබා ඇති ඔහු ඉන් ඉහළින් සමත්වීමෙන් පසුව පසුගිය වසරේදී වෙන්නප්පුව සාන්ත ජෝශප් වාස් විදුහලට ඇතුළත්වී ගණිත අංශයෙන් උසස් පෙළ විභාගයට සූදානම් වෙමින් සිටියි.
තම නිර්මාණය පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ ෂෙහාන් ධනංජය සිසුවා, "මම 9 වසරේදී පරිසරයේ අඳුරත් සමග දැල්වෙන හා නිමෙන විදුලි බල්බයක් නිර්මාණය කළා. මට පොඩි කාලේ ඉඳලම අලුත් දේවල් අත්හදාබලන්න උත්සාහයක් හා උවමනාවක් තිබුනා. ඒ තිබුණ අසාව තමා මේ නිර්මාණය කරන්න මාව පෙළඹුවේ. මෙම පරිපථය ඉතා ලේසියෙන් විදුලි කාර්මිකයෙකුගේ සහායක් නොමැතිව නිවසේ විදුලියට සම්බන්ධ කරන්න පුළුවන්. මෙය මූලිකව නිර්මාණය කරන්න රුපියල් 25,000 ක් පමණ වැය වුණා. එත් මෙය තවත් වැඩි දියුණු කළ පසු රුපියල් 4000 ක් වැනි මුදලකට නිමකරන්න පුළුවන්. මේ නිර්මාණය වෙනුවෙන් පේටන්ට් එක ගන්න මම අයදුම් කරලා තියෙන්නේ
මට මේ සඳහා මගේ දෙමාපියන්, විදුහල්පති පියතුමා පන්තිභාර හේමන්ති මිස් අංශ ප්‍රධානී දර්ශනි මිස්, ස්වර්ණා මිස්, දිලේකා මිස් වගේම අමිත් සර් හා නජීබ් සර් ගොඩාක් උදවු කළා. මගේ පාසලට, ප්‍රදේශයට මේ වගේ ජයග්‍රහණයක් ගෙන එන්නට හැකිවීම පිළිබඳව මම සතුටු වෙනවා. තායිවාන් තරගාවලියෙනුත් ජයක් ලබා රටට කීර්තියක් ගෙන දෙමින් තව තවත් අලුත් නිපැයුම් තුළින් අපේ රට ජාත්‍යන්තරයේ ඉහළින් තැබීම තමා මගේ අරමුණ වන්නේ" යැයිද පවසා සිටියේය.
නයිනමඩම චන්දන ප්‍රනාන්දු