ෆිට්නස් ට්‍රැකර් හෙවත් ශරීර සුවතා මැන බැලීමේ උපාංගයන් මේ වනවිට ලෝකයේ බොහෝ දෙනෙකු විසින් භාවිත කරනු ලබන සහ තවත් බොහෝ පිරිසකගේ උනන්දුව ලබාගෙන ඇති උපාංගයක් බවට පත්ව ඇත්තේ, කාර්යබහුල ජීවිතය සමගින් වැඩිවන ශරීර සුවතා ගැටළුවලට යම් කිසි පිළියමක් ඒවායින් සපයන බවට ඇති විශ්වාසය නිසාත්, එසේම ශරීර සුවතාවය පවත්වාගෙන යන ක්‍රීඩකයින් වැනි අයට වඩාත් නිරවද්‍ය ලෙසින් සිය ව්‍යායාම ආදිය කළමනාකරණය කරගැනීමට ඒවායින් සහාය ලැබෙනා නිසාත් වේ.
මේ වනවිට ප්රමුඛ පෙළේ ශරීර සුවතා මැන බැලීමේ උපාංග නිෂ්පාදන සමාගම් මගින් ඉහළ මිල ගණන් වලට නිර්මාණය කරනා උපාංග මෙන්ම, රුපියල් හාරදහසකට නැතිනම් පන්දහසකට පවා ලබාගත හැකි ආකාරයේ මූලික හැකියාවන් පමණක් සහිත ෆිට්නස් ට්‍රැකර් උපාංගයන්ද වෙළෙඳ පොළේ තිබේ.
බොහෝ විට ඉහළ මට්ටමේ ෆිට්නස් ට්‍රැකර් උපාංගයන් නිර්මාණය කරනා සමාගම් මගින් වෙහෙසෙන්නේ ෆිට්නස් ට්‍රැකර් සහ ස්මාට් අත් ඔරලෝසු සංකල්පයන් එකට මුසු කරමින් වඩාත් ස්මාට් හැකියාවන් සහිත ෆිට්නස් ට්‍රැකර් උපාංගයන් නිර්මාණය කිරීමට වේ.
ෆිට්නස් ට්‍රැකර් උපාංග නිර්මාණය සඳහා ප්රමුඛ නාමයක් වන මේ වනවිටත් තමන්ගේ නිෂ්පාදන වෙත වඩ වඩාත් ස්මාට් හැකියාවන් එකතු කිරීම සඳහා වෙහෙසෙන බව රහසක් නොවේ.
විශේෂයෙන්ම සිහිකැඳවීම්, පණිවුඩ මෙන්ම සංගීතය වාදනය කිරීම වැනි විවිධාකාරයේ පහසුකම් තම ෆිට්බිට් උපාංගයන් සඳහා එකතු කිරීම සඳහා උත්සාහ කරනා ෆිට්බිට් මගින් ඒ වෙත තබා ඇති නවතම ඉදිරි පියවර වන්නේ Fitbit Ionic උපාංගයයි.
මෙම නවතම Fitbit Ionic ෆිට්නස් ට්‍රැකර් උපාංගය සැබවින්ම සියලු පහසුකම් සහිත ස්මාට්වොච් උපාංගයක් ලෙසින් හැඳින්වීම නිවැරදි වේ. මන්දයත් එහි Fitbit OS යනුවෙන් හැඳින්වෙන සම්පූර්ණ මෙහෙයුම් පද්ධතියක්ද අන්තර්ගතව තිබෙනා අතර, එය තුන්වන පාර්ශවයන් මගින් නිර්මාණය කරනා යෙදුම් ස්ථාපනය කිරීමටද සහාය දක්වන බැවිනි.
එසේ ස්මාට්වොච් උපාංගයක් ලෙසින් නිෂ්පාදනය වූවත් මෙහි ෆිට්නස් ට්‍රැකර් උපාංගයක තිබිය යුතු සියලුම හැකියාවන් අඩු නැතිව තිබෙනා බවද විශේෂයෙන්ම සඳහන් කළ යුතුවේ. එනම් ඔබේ පියවර මැන වාර්තා තබාගැනීම, හෘද ස්පන්දනය, ඔබ විසින් වැය කරනා කැලරි ප්‍රමාණය ගණනය කිරීම මෙන්ම ඔබ ක්‍රියාකාරීව සිටිනා කාලය වාර්තා තබා ගැනීම සහ ඔබේ නින්දේ ක්රියාකාරීත්වයන් නිරීක්ෂණය කොට වාර්තා තබාගැනීමද මේ මගින් සිදුකෙරෙනු ඇත.
මෙහි ඇතුළත් කොට ඇති ජී.පී.එස්. ක්‍රියාකාරීත්වය මගින් දුර, උස, ඇවිදීමේ වේගය පමණක් නොව ඔබේ සමස්ත ගමනම විස්තරාත්මකව ලබාගැනීමට සමත් වනු ඇත. එසේම මෙය මීටර් පණහක් පමණ ගැඹුරට ජලයට ප්‍රතිරෝධය දක්වන නිසා පිහිනුම් තටාකය තුළ වුවද ඔබට ගැටළුවකින් තොරව ඔබේ ක්‍රියාකාරකම් වල යෙදීමට හැකියාව ලැබෙනු ඇත. එපමණක් නොව එහිදීද ඔබට පිහිනුම් තටාකය තුළ එහාට මෙහාට යන වාර ගණන, කාලය, දහනය වන කැලරි ප්‍රමාණය යනාදී සියලු කරුණු ගණනය කර වාර්තා කර ගැනීමට හැකිවනු ඇත.
මෙය සැලසුම් කොට ඇත්තේ දිවීම හෝ පිහිනීම පමණක් මැන බැලීමට නොවේ. සයිකල් පැදීම සහ තවත් ක්‍රීඩා ගණනාවක් ඒවායේ ස්වභාවය අනුව වාර්තා කොට ගැනීමට Fitbit Ionic උපාංගයට හැකියාව තිබේ. එපමණක් නොව ඔබ කරමින් සිටිනා ක්‍රියාකාරකමට අනුකූලව ඔබට උපදෙස් සහ මඟ පෙන්වීමේ පණිවුඩද Fitbit Ionic උපාංගයේ තිරය මත දිස්වනු ඇති අතර, මේ අයුරින් ඔබට තත්කාලීන ඉලෙක්ට්‍රොනික පුහුණුකරුවෙකුගේ සේවය ලැබෙන බව හැඟෙනු ඇත.
එසේම වෙනත් ඕනෑම ස්මාට්වොච් උපාංගයක් මෙන්ම මෙයද නිර්මාණය කොට ඇත්තේ ඔබේ ස්මාට්ෆෝනය සමගින් රැහැන් රහිතව සම්බන්ධ වී, ස්මාට්ෆෝනයට පැමිණෙන පණිවුඩ, සිහිකැඳවීම් Fitbit Ionicහි තිරය මතට ගෙන ඒමේ හැකියාව සමගිනි. ඒ සඳහා මෙම උපාංගය iOS, Android නැතිනම් Windows mobile මෙහෙයුම් පද්ධතීන් සමගින් මනා සහයෝගයකින් ක්‍රියාත්මක වනු ඇත.
එසේම Fitbit Ionic උපාංගයේ NFC චිපයක්ද තිබෙන්නේ ඔබේ වීසා, මාස්ටර්කාඩ් හෝ ඇමෙක්ස් වැනි ක්‍රෙඩිට්/ඩෙබිට් කාඩ් තොරතුරු රඳවා තබාගනිමින් ඔබට සෘජුවම Fitbit Ionic උපාංගය හරහා ගනුදෙනු කිරීමට හැකියාව ලබාදෙමින් වුවත් ශ්‍රී ලංකාව තුළ මෙය එතරම් ප්‍රයෝජනවත් විශේෂාංගයක් ලෙසින් නොසැලකෙනු ඇත.
මෙයට ඔබ ක්‍රීඩා හෝ ව්‍යායාම කටයුතු වල යෙදෙන අතර සංගීතය වාදනය කිරීමටද හැකියාවෙන් යුතු වන අතර, Fitbit Ionic උපාංගය තුළ ඔබට ගීත තුන්සියයක් පමණ රඳවා තබාගැනීමට හැක.
එසේම මෙහි බැටරිය සාමාන්‍යයෙන් ඔබ උපාංගය භාවිත කරනා ආකාරය අනුව දින හතරක් පමණ එක් ආරෝපණයකින් තබාගැනීමට හැකිවනු ඇත. එය ස්මාට්ෆෝනයකටද වඩා දිගු බැටරි කාලයකි. කෙසේ නමුත් ඔබ නිරන්තරයෙන් ජී.පී.එස්. හැකියාවන් භාවිත කරන්නේ නම් මෙම බැටරි කාලය පැය දහයකට පමණ බසිනු ඇත.
මෙය බැලූ බැල්මට ඔබට ෆිට්නස් ට්‍රැකර් උපාංගයකට වඩා ස්මාට්වොච් උපාංගයක් ලෙසින් දිස්වනු ඇත. එසේම මෙහි වර්ණ ස්පර්ෂ තිරය සීරීම් වලින් ආරක්ෂා කිරීම සඳහා Gorilla Glass 3 ආරක්ෂක ආවරණයක්ද තිබේ. මෙහි තිරය ඉතාමත් දීප්තිමත් වන අතර, ඔබට සෘජු හිරු එළියේ පවා තිරය පැහැදිලිව දිස්වනු ඇත. www.fitbit.com/ionic