වර්තමානයේදී ලැප්ටොප් හෝ නෝට්බුක් උපාංගයක් විශාල වැඩියැයි සිතනා ඕනෑම අයෙකුට පහසුවෙන්ම ටැබ්ලට් උපාංගයක් භාවිතා කිරීමේ ගැටළුවක් නොමැත. කෙසේ නමුත් මෙම විකල්පයට නොකැමැති වන්නන්ද බොහෝ සිටී.
බොහෝකොටම ඔවුන්ගේ ගැටළුව වන්නේ ටැබ් උපාංගයක ස්පර්ෂ තිර යතුරු පුවරුව භෞතික යතුරු පුවරුවක් මෙන් යතුරු ලියන කටයුතු වලට සුහුරු නොවීමත්, වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියට හුරුවූවෙකුට ඇන්ඩ්‍රොයිඩ් පද්ධතියක් යම් යම් කටයුතු සඳහා ආගන්තුක ලෙසින් දැනීමත් වේ.
මෙම ගැටළු සියල්ලම පහසුවෙන් විසඳාගත හැකි කෙටිමං තිබේ. ටැබ් උපාංගයන් සඳහා වෙනම මිලදී ගැනීමට ඇති යතුරු පුවරුවක් භාවිතා කිරීම ඉන් එකකි. එනමුත් ටැබ් උපාංගයක ප්‍රමාණයේ මිනි ලැප්ටොප් උපාංගයක් තිබේ නම්, එය වැළඳගන්නා පරිශීලකයින් බොහෝ සිටිනා බවට වන සාධකය ඉන් වෙනස් නොවේ.
හඳුන්වාදෙන GPD Pocket යනු එවැනි පරිශීලකයින් හට ගැලපෙන්නා වූ කුඩා, හුරුබුහුටි, ජංගම නෙට්බුක් වර්ගයේ මිනි ලැප්ටොප් පරිගණකයකි. මින් පෙරද මෙවැනි මිනි ලැප්ටොප් උපාංග වෙළෙඳපොළට පැමිණියත්, බොහෝ කරුණු ඔස්සේ මෙම උපාංගය ඒවායින් වෙනස් වේ.
අඟල් 7 ක ස්පර්ෂ තිරයක් සහ අඟල් 7 ක උපාංගයක ප්‍රමාණය හා සසඳන විට පහසුවෙන් යතුරුලියනය කිරීමට හැකි විශාලත්වයකින් යුතු යතුරු පුවරුවක්ද සහිත මෙම GPD Pocket මිනි ලැප්ටොප් උපාංගය ධාවනය වන්නේ සම්පූර්ණ වින්ඩෝස් 10 මෙහෙයුම් පද්ධතිය පාදක කරගත් සංස්කරණයක් මතිනි.
මෙනිසා ඔබට විශාල ලැප්ටොප් උපාංගයක් වෙනුවට එහා මෙහා ගෙනයෑම සඳහා මෙය පහසුවෙන් භාවිතා කිරීමට හැකිවනු ඇත. කෙසේ නමුත් අඟල් 7 ක ප්‍රමාණයේ ටැබ්ලට් උපාංගයක තරමේ දිග පළල ඇති, එමෙන් දෙගුණයක පමණ ඝනත්වයක් ඇති මෙම උපාංගයට පොකට් යනුවෙන් නම් තබා තිබුණද, එය කිසිසේත්ම පොකට් ප්‍රමාණයේ නොවන බවද කිව යුතුවේ.
මින් කාලයකට පෙර ශ්‍රී ලංකාවේ පැතිරුණු ඇටම් නෙට්බුක් උන්මාදය සිහිපත් කරවන මෙම උපාංගය බලගැන්වෙන්නේ සැබවින්ම ඉන්ටෙල් ඇටම් ප්‍රොසෙසරයකිනි. 1.6GHz quad-core Intel Atom x7-X8750 ප්‍රොසෙසරයක් සහ Intel HD graphics කාඩ්පතක් ඇති මෙහි ගිගාබයිට් 8 ක රැම් එකක්ද තිබේ.
මේ නිසා මෙයට ඔබ සාමාන්‍ය ලැප්ටොප් උපාංගයක භාවිතා කරනා යෙදුම් වුවත් කිසිදු අපහසුතාවයකින් තොරව ධාවනය කිරීමේ ශක්‍යතාවය තිබේ. එසේම මෙහි ගිගාබයිට් 128 ක ෆ්ලෑෂ් මතක ධාරිතාවක්ද තිබේ. මෙය කිසිසේත්ම වර්තමාන පරිශීලකයෙකුට ප්‍රමාණවත් නොවන නිසා විසඳුම වන්නේ බාහිර දෘඩ තැටියක්ද මේ සමගින් භාවිතා කිරීමයි.
මෙහි ඇති අඟල් 7 ක තිරය පැමිණෙන්නේ Full HD 1080p තිර විභේදනයක් සමගිනි. එසේම මෙහි තිරය ආරක්ෂා කිරීම සඳහා Gorilla Glass ලේයරයක්ද තිබෙනා බැවින්, එදිනෙදා ජංගම කටයුතු සඳහා මෙය භාවිතයට බිය විය යුතු නැත. මෙහි යතුරු පුවරුවේ යතුරු හැකිතරම් විශාලව පවත්වාගැනීම සඳහා ඉඩ ලබාගෙන ඇත්තේ සම්මත ට්‍රැක් පෑඩය ඉවත් කිරීමෙනි. ඒ වෙනුවට ට්‍රැක් බෝල් එකක් ස්ථාපනය කොට ඇත.
මෙහි 7000mAh ප්‍රමාණයේ බැටරියක් ස්ථාපනය කොට ඇති අතර, එයින් එක දිගට පැය පහක වීඩියෝ ධාවනයට හෝ පැය දොළහක් දක්වා කාලයක සුළු කටයුතු කිරීමට අවකාශ ලබාදෙනු ඇත. කෙසේ වුවත් මෙයට තවත් ලකුණු ලබාදිය හැකි කරුණක් වන්නේ ඔබට පවර් බෑන්ක් උපාංගයක් මගින් මෙම බැටරිය ආරෝපණය කරගැනීමටද හැකිවීමයි.
එසේම මෙහි ප්‍රමාණය කුඩා වුවත් එහි USB Type-C පෝට් එකක්, USB 3.0පෝට් එකක්, mini-HDMI පෝට් එකක්, headphone jack එකක් සහ microSD කාඩ්පත් ඇතුලත් කිරීමේ ද්වාරයක් තිබේ. මේ සියලු දේ සලකා බලන විට කිව හැක්කේ ප්‍රමාණයෙන් කුඩා වුවත් මෙම අඟල් 7 ක ප්‍රමාණයේ GPD Pocket මිනි ලැප්ටොප් උපාංගය තුළ ප්‍රබල යන්ත්‍රයක් එකලස් කෙරී ඇති බවයි.