ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතීන් නම් කිරීම සෑමවිටම කටට රස දැනෙනා කටයුත්තක් බව අමුතුවෙන් කිව යුතු නොවේ. කෙසේ නමුත් ඇන්ඩ්‍රොයිඩ් ඉතිහාසයේ මෙතෙක් වෙළෙඳ නාමයක් සමගින් අන්‍යාන්‍ය සන්නාමකරණයකට ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණයක් පා තැබූ පළමු අවස්ථාව ඇන්ඩ්‍රොයිඩ් කිට්කැට් නිකුත් වුවත්, එය එතැනින් අවසන් නොවනු ඇති බව ඉඟි කරමින් ඇන්ඩ්‍රොයිඩ් 7.0 නුගා සංස්කරණයෙන් වසරකට පසුව ඇන්ඩ්‍රොයිඩ් 8.0 ඕරියෝ සංස්කරණය පැමිණ ඇත.
කෙසේ නමුත් බොහෝ දෙනා බලාපොරොත්තු වූ ආකාරයේ විප්ලවීය වෙනස්කම් මෙම සංස්කරණයන් සමගින් දක්නට නොමැති බව බැලූ බැල්මට පෙනී ගියද, මෙය සැබවින්ම ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියේ ඉදිරි පියවරක් බව සැක නැතිවම ප්‍රකාශ කළ හැක.
කෙසේ නමුත් බොහෝ දෙනා අසනා පැනය වන, ඇන්ඩ්‍රොයිඩ් 8.0 සමගින් බලාපොරොත්තු විය හැකි නවතම දෑ මොනවාද යන ගැටළුවට පිළිතුරක් සපයන්නට අපි බලාපොරොත්තු වෙමු.
ඇන්ඩ්‍රොයිඩ් 8.0 ඕරියෝහි සෙටින්ග්ස් මෙනුව සම්පූර්ණයෙන්ම වෙනස් වී තිබෙනා බවක් බැලූ බැල්මට පෙනී යනු ඇත. කෙසේ නමුත් තවත් පිරික්සන විට පෙනී යන්නේ මෙම සෙටින්ග්ස් මෙනුව පරිශීලනය වඩාත් පහසු වී ඇති බවයි. විශේෂයෙන්ම සම්පූර්ණ ආධුනිකයෙකුට වුවද ඇන්ඩ්‍රොයිඩ් පද්ධතියක් පහසුවෙන් පාලනය කිරීම සඳහා මෙය මනා උපකාරයක් වනු ඇත. මෙයට අමතරව ඇන්ඩ්‍රොයිඩ් 8.0 පද්ධතිය බූට් වීමද සම්පූර්ණයෙන්ම දෙගුණයකින් වේගවත් වී ඇති බවද නිරීක්ෂණය වේ.
ඇන්ඩ්‍රොයිඩ් 8.0 ඕරියෝ සමගින් Picture-in-picture ආකාරය වීඩියෝ සඳහාත් පැමිණ තිබෙන බව පෙනී යයි. එනම් ඔබට වීඩියෝ නැරඹීමේදී එම තිරයෙන් ඉවත් වීමට අවශ්‍ය වුවත්, ඔබ වෙනත් තිරයකට හෝ හෝම් තිරයට මාරුවීමේදී වීඩියෝව නොනැවතෙයි. ඒ වෙනුවට එය කුඩා තම්බ්නේල් ප්‍රමාණයේ තිරයක් ලෙසින් ප්‍රධාන තිරයේ පසෙකින් රැඳී තිබෙනු ඇත.
ඇන්ඩ්‍රොයිඩ් පද්ධතියක ඔබ වැඩ නොකරන යෙදුමක් පවා යම් විටකදී පසුබිමින් ක්‍රියාත්මක වෙමින් පවතී. මෙයින් සිදුවන්නේ ස්මාට්ෆෝනයේ බැටරිය ඉක්මනින් බැසයාමයි.
එනමුත් ඇන්ඩ්‍රොයිඩ් 7.0 සිට ඔබට පසුබිමින් ක්‍රියාත්මක වන අනවශ්‍ය යෙදුම් නැවැත්වීමේ හැකියාව ලැබුණු නමුත්, එය ස්වයංක්‍රීය ක්‍රියාවලියක් නොවුණි. ඇන්ඩ්‍රොයිඩ් 8.0 සමගින් ඔබට තවදුරටත් ඒ සම්බන්ධයෙන් කරදර වීමට හෝ ඒ සඳහාම තවත් යෙදුමක් ස්ථාපනය කර ගැනීමට අවශ්‍ය නොවේ.
ඔබට ෆේස්බුක්, ට්විටර් වැනි යෙදුම් මගින් පැමිණෙන සිහිකැඳවීම් නොනවත්වාම ලැබුණත්, එම යෙදුමක් ඔබ භාවිත නොකරන විට එය නවත්වා තබා බැටරි බලය ඉතිරි කරන්නට ඇන්ඩ්‍රොයිඩ් 8.0 ඕරියෝ සමත්. ඔබට යම් යෙදුමක් නොනවත්වාම පසුබිමින් ධාවනය විය යුතුය කියා හැඟෙන්නේ නම් එයද ඔබට සැකසුම් හරහා වෙනස් කළ හැකියි.
මෙයට අමතරවද බැලු බැල්මට කැපී පෙනෙනා වැඩිදියුණු කිරීම් ගණනාවක්ම ඇන්ඩ්‍රොයිඩ් 8.0 ඕරියෝ වෙත පැමිණ තිබේ. විශේෂයෙන්ම නව ඉමොජ් එකතුව, දුරකථන අංක හෝ ලිපින හෝ සබැඳි ක්ෂණයකින් හඳුනාගන්නා ස්මාට් ටෙක්ස්ට් සිලෙක්ෂන් හැකියාව, නව ආරක්ෂක පද්ධතිය මෙයින් කිහිපයකි.
කෙසේ නමුත් ලොව පුරා ඇන්ඩ්‍රොයිඩ් ලෝලීන්ගේ අදහස් සමස්තයක් ලෙසින් ගත් විට, මෙම නවතම ඇන්ඩ්‍රොයිඩ් 8.0 ඕරියෝ පද්ධතියට කැමති පිරිසක් මෙන්ම එයින් තෘප්තිමත් නොවන පිරිසක්ද සිටිනා බව කිව යුතුවේ. මෙම දෙවෙනි පිරිස බලාපොරොත්තු වූයේ එක්කෝ විප්ලවීය නව මෙහෙයුම් පද්ධති වෙනසක් හෝ අඩු තරමින් වඩාත් බැරෑරුම් පෙනුමක්, අඳුරු පෙනුමක් ඇති තේමාවක් හෝ පෙරනිමියෙන් ඇන්ඩ්‍රොයිඩ් 8.0 හා ලබාදෙන්නට තිබුණාය යනුවෙනි.