ලංකාවේ වුනත් බොහෝමයක් දෙනෙකුට ඩ්‍රෝන් යනු ආගන්තුක නමක් නොවේ. බොහෝ දෙනෙකු ඩ්‍රෝන් භාවිතා කරන්නේ එක්කෝ විනෝදය පිණිස, නැතිනම් මියුසික් වීඩියෝවකට හෝ වෙනත් එවැනි නිර්මාණශීලී කටයුත්තක් සඳහා ඉහළාකාශයේ සිට වීඩියෝ හෝ ඡායාරූප ග්‍රහණය කර ගැනීම සඳහා වුවත්, මේ වනවිට ඩ්‍රෝන ඡායාරූපකරණය කෙමෙන් කෙමෙන් රැල්ලක් බවට පත්වෙමින් තිබෙනා බව අමුතුවෙන් කිව යුතු නොවේ.
ශ්‍රී ලංකාවට මුලින්ම ඩ්‍රෝන් යානා පැමිණියේ ක්‍රීඩා භාණ්ඩ ලෙසින් යැයි කීම වැරදි නොවේ. රිමෝට් කන්ට්රෝලයකින් පාලනය කළ හැකි ආකාරයේ සෙල්ලම් හෙලිකොප්ටරයන් මුලින්ම දක්නට ලැබුණු අතර, ඉන් පසුව රොටර් තල හතරක් ඇති ක්වඩ් කොප්ටරයන්ද වෙළෙඳපොළට පැමිණුනි. වැඩි වශයෙන් චීන වෙළෙඳපොළෙන් පැමිණි මෙම ඩ්‍රෝන පාලනය එතරම් නිරවද්‍ය නොවූ අතර, එතරම් දුර පරාසයක්ද මේවාට නොතිබුණි. මේවා පාලනය කිරීමද ඇස් සෝදිසියෙන් සිදුකළ යුතු විය.
කෙසේ හෝ කෙමෙන් කෙමෙන් ස්මාට්ෆෝනය සමගින් සම්බන්ධ කොට භාවිතා කළ හැකි, වඩාත් නිරවද්‍ය පාලනයකින් යුක්ත ඩ්‍රෝන් යානා පැමිණි අතර, මේවාට ගෝප්‍රෝ වැනි ඇක්ෂන් කැමරා සවි කොට පියාසර කරවීම මගින් ඉහළාකාශයේ සිට ඡායාරූප ගැනීමේ උන්මාදය ශ්‍රී ලංකාව තුළ පැතිරෙන්නට විය. කෙසේ නමුත් අද වනවිට ශ්‍රී ලංකාවේ භාවිත වන විශිෂ්ට මට්ටමේ ඩ්‍රෝන් යානාවන්හි ස්ථාපිත කැමරා තිබෙන අතර, ඒවායින් ඉතාම ඉහළ ගුණාත්මක තත්ත්වයේ ඡායාරූප ගැනීමට සහ වීඩියෝ පටිගත කිරීමටද හැකියාව තිබේ. මෙම ඩ්‍රෝන් යානා දැන් දැන් මියුසික් වීඩියෝ හෝ සිනමා නිර්මාණ සඳහා පමණක් නොව, ජනමාධ්‍ය ඡායාරූපකරණය මෙන්ම කෘෂිකාර්මික කටයුතු සඳහාද උපයෝගී කරගැනීම ඇරඹී ඇත.
මෙම වසරේ ජනප්‍රියම ඩ්‍රෝනය
ලෝකයේ ඩ්‍රෝන් යානා නිෂ්පාදනය කරනා ප්‍රමුඛතම සමාගම් දෙකෙන් එකක් වන DJI සමාගම විසින් නිෂ්පාදනය කළ ඩ්‍රෝනය පසුගිය කාලයේදීද බොහෝ දෙනෙකු භාවිත කරන්නට ප්‍රිය කළ තේරීමක් බවට පත්ව තිබිණි. ඉන් පසුවද වඩාත් දියුණු හැකියාවන් සහ විශේෂාංගයන්ගෙන් යුක්ත ඩ්‍රෝන වෙළෙඳ පොළට පැමිණුනි. කෙසේ නමුත් PC සඟරාව මගින් කළ 2017 වසරේ මේ වනවිට ජනප්‍රියම ඩ්‍රෝන පෙළගැස්වීමේදීද ඉදිරියෙන්ම සිටින්නේ DJI Phantom 4 ඩ්‍රෝනය වේ.
රොටර් තල හතරකින් ක්‍රියාත්මක වන ක්වඩ් කොප්ටර් වර්ගයේ ඩ්‍රෝනයක් වන DJI Phantom 4 හි කැමරාව දෙස බොහෝ දෙනෙකුගේ විශේෂ අවධානය යොමුවී තිබේ. මෙහි වීඩියෝ කැමරාවක් තිබෙනා අතර, එහි සිත් මවිත කරවන සුළු සුපැහැදිලිතාවකින් යුක්ත, 4K විභේදනයක් ඇති ඡායාරූප හා වීඩියෝ ලබාගැනීමේ හැකියාවද තිබේ. මෙහි ඇති නවීන ජිම්බල් උපාංගය මගින් ඩ්‍රෝනය වේගයෙන් හෝ සෙමෙන් පියාසර කළත්, එහි කැමරාවෙන් ගන්නා වීඩියෝ හා ඡායාරූප ස්ථාවරත්වයකින් යුතුව ලබාදේ. මෙම ජිම්බලයට අක්ෂ තුනේ ස්ථාවරකරණ යාන්ත්‍රණයක් තිබේ. බොහෝ දෙනෙකු සිතනා පරිදි වැනි ඩ්‍රෝනයකින් ඡායාරූප හෝ වීඩියෝ ලබාගන්නා විට ඒවා අපැහැදිලි වීමේ කිසිදු ඉඩක් නොපවතී. ජිම්බල් උපාංගය ස්ථාපනය කොට ඇත්තේම ඒ සඳහා වේ.
එසේම මෙහි වඩාත් නිරවද්‍ය පියාසැරියක් තහවුරු කිරීම සඳහා සංවේදකයන් ගණනාවක්ද, ද්විත්ව GPS හැකියාව සහ GLONASS නැවිගේෂන් හැකියාවද තිබේ. එසේම මෙහි වැඩිදියුණු කළ Visual Positioning පද්ධතියක්ද (VPS), ස්වයංක්‍රීය subject-tracking හැකියාවද, බාධක මගහැරීමේ හැකියාවද තිබේ. මෙයට අමතරව මෙහි බඳ පහසුවෙන් හානි නොවන ශක්තිමත් කළ ප්ලාස්ටික් වලින් තනා තිබේ.
මෙහි බර රාත්තල් තුනක් පමණ වන අතර, මෙයට පැයට සැතපුම් 45 ක පමණ වේගයකින් ඉදිරියට යාමට හැක. මෙහි ඉහළ නැගීමේ වේගය පැයට සැතපුම් 13.4 ක් වන අතර, පහත බැසීමේ වේගය පැයට සැතපුම් 8.9 ක් වේ. එසේම මෙයට යා හැකි උපරිම උස ඉලෙක්ට්‍රොනිකව පාලනයකට නතු කොට තිබෙනා අතර, එය අඩි 400 ක උපරිමයට යටත් වේ. එසේම මෙහි බැටරිය එක් වරක් ආරෝපණය කළ පසුව DJI Phantom 4 ඩ්‍රෝනයට උපරිම මිනිත්තු 28 ක පියාසර කාලයක් තිබේ.
ඔබට ඩ්‍රෝනය භාවිතයෙන් එය ගමන් කරමින් සිටිනා විට ඡායාරූප හෝ වීඩියෝ පටිගත කිරීමට මෙන්ම ඩ්‍රෝනය නිශ්චලව ඉහළාකාශයේ නවත්වා තබා ඡායාරූප හෝ වීඩියෝ පටිගත කිරීමටද හැකියාව තිබේ. එසේම මෙය ගමන් කරවීමේදී නැගෙන්නේද සාපේක්ෂව ඉතාමත් අඩු හඬකි. ඔබට DJI Phantom 4 ක්‍රියාත්මක කරවීම සඳහා ඒ සමග සම්බන්ධ වන ස්මාට්ෆෝන් යෙදුම ඔබේ ස්මාට්ෆෝනයට ස්ථාපිත කරගැනීමට සිදුවේ. ඔබට ඩ්‍රෝනයේ ගමන් මග පාලනය කිරීමේ සිට ඡායාරූප ගැනීම දක්වා කටයුතු සිදුකිරීමට වන්නේ ස්මාට්ෆෝනය ආධාර කර ගනිමිනි. ඩ්‍රෝනයේ පියාසර පාලකයන් ස්මාට්ෆෝනයට සම්බන්ධ කළ රිමෝට් කන්ට්රෝලයේ තිබේ.
සාමාන්‍යයෙන් ලංකාවේ මෙම DJI Phantom 4 ඩ්‍රෝනය මිලදී ගන්නේ නම් එහි මිල රුපියල් 250,000 කට වැඩිවේ. උදාහරණයක් ලෙසින් දක්වන්නේ නම් cameralk.com ආයතනයෙන් DJI Phantom 4 ඩ්‍රෝනය මිලදී ගන්නේ නම් රුපියල් 259,500 පමණ මිල වේ. මෙය සාමාන්‍යයෙන් ඉහළ මිලක් වූවත්, සැබවින්ම DJI Phantom 4 ඩ්රෝනයෙන් ගත හැකි ප්රයෝජනයන් සහ එහි හැකියාවන් දෙස බලනා විට අසාධාරණ නොවන බව කිව හැකිවේ.