ශ්‍රවණාධාර කට්ටලයක් සාමාන්‍යයෙන් පළඳින්නේ ශ්‍රවණයේ ගැටලුකාරී තත්වයන් ඇති එනම් විශේෂ හැකියාවන්ගෙන් යුක්ත අය බව සාමාන්‍ය විශ්වාසයයි. කෙසේ නමුත් එවැනි අසීරුතාවක් නොමැති අවස්ථාවක වුවද ඔබටත් ශ්‍රවණාධාර කට්ටලයක් තිබුණේ නම් මැනැවැයි සිතෙනා අවස්ථාවන් උදාවී නැතිද? උදාහරණයක් ලෙසින් දක්වන්නේ නම් ජනාකීර්ණ වෙළෙඳපොළක, කාර්යබහුල අවන්හලක වැනි බොහෝ ශබ්ද පසුබිමේ ඇති මොහොතක ඔබට තවත් අයෙකු හා සංවාදයේ යෙදීමට සිදුවූවහොත්, එය කෙතරම් අසීරු කරුණක් වන්නේද යන්න අමුතුවෙන් කිව යුතු නොවේ.
හෙඩ්ෆෝන් සහ හෙඩ්සෙට් සම්බන්ධයෙන් ලොව පුරා ඉහළ පිළිගැනීමක් ඇති වෙළෙඳ නාමයක් ලෙසින් හැඳින්විය හැකි Bose සමාගම මගින් Bose Hearphones උපාංගය හඳුන්වා දෙන්නේ මෙයට පිළියමක් ලෙසිනි. සාමාන්‍ය In-ear Earbuds සහිත හෙඩ්ෆෝන් යුගලක් ලෙසින් පෙනෙනා මෙය සැබවින්ම එම නිර්වචනයෙන් වෙනස් නොවන අතර, සිදුවී ඇත්තේ එයට අතිරේක හැකියාවක් එක් කිරීම පමණි. එනම් මේ මගින් ඔබට බාහිර ලෝකයේ පසුබිමින් ඇසෙන ශබ්දයන් අවම කොට, ඔබට අවශ්‍ය ශබ්දයන් විස්තාරණය කර ඇසිය හැක.
වෙනත් ලෙසකින් පවසන්නේ නම් බාහිර ලෝකයෙන් එන කන්දොස්කිරියාවක් තරම් වන ශබ්දයන් මෙහිදී අඩු වී, ඔබට අවශ්‍ය සංවාදයේ ශබ්දය පමණක් වැඩිවී ඇසෙන්නට සැලැස්වීමේ හැකියාව මෙම Bose Hearphones උපාංගයට පවතී. මේ සඳහා භාවිතා වන්නේ මෙහි ස්ථාපනය කර ඇති ඉහළ සංවේදීතාවයකින් යුක්ත දිශාගත මයික්‍රෆෝනය වන අතර, ඔබට අවශ්‍ය ලෙසින් අවම කළ යුතු ශබ්ද සහ විස්තාරණය කළ යුතු ශබ්ද අතර සමබරතාවය සැකසුම් කරගත හැක්කේ මේ හා සමගින් ක්‍රියාත්මක වන ස්මාට්ෆෝන් යෙදුමක් ආධාරයෙනි.
ඔබ සාමාන්‍යයෙන් සංගීතයට සවන් දීම සඳහා භාවිතා කරනා හෙඩ්ෆෝන් යුගලකට වඩා කිසිසේත්ම වෙනස් නොවන මෙම Bose Hearphones උපාංගය සැබවින්ම සංගීතයට සවන් දීම සඳහාද භාවිතා කිරීමේ කිසිදු ගැටළුවක් නැත. එපමණක් නොව දුරකථන ඇමතුම් ලබාගැනීම සඳහා යුවලක් ලෙසින් වුවද මෙම උපාංගය භාවිතා කිරීමේ බාධාවක් නැත.