මෙම වසරේ ෆ්ලැග්ෂිප් ස්මාට්ෆෝන් අතුරින් වැඩිම අවධානයක් දිනාගනු ඇති ලැයිස්තුවේ ඉහළම තැනක OnePlus 5 සිටිනු ඇති බව මේ වනවිට ස්මාට්ෆෝන් වෙළෙඳපොළ සම්බන්ධයෙන් උනන්දු වන බොහෝ දෙනෙකු පුරෝකථනය කර තිබේ. කෙසේ නමුත් බොහෝ ආසියාතික රටවල ඇති ටෙට්රෝෆෝබියා නැතිනම් අංක හතර අසුබ ලෙසින් සැලකීමේ පුරුද්ද නිසාවෙන්, OnePlus 4 වෙනුවට පැමිණෙනු ඇත්තේ OnePlus 5 ස්මාට්ෆෝනයයි.
තවමත් නිල වශයෙන් නිවේදනය කෙරී නැති OnePlus 5 ස්මාට්ෆෝනය සම්බන්ධයෙන් අන්තර්ජාලය හරහා හෙළිදරවු වී ඇති නවතම කරුණ වන්නේ මෙහි පිටුපස ද්විත්ව කැමරා පද්ධතියක් (Dual Camera) ස්ථාපනය වී වෙළෙඳපොළට පැමිණෙනු ඇති බවයි. කෙසේ නමුත් මෙය එතරම් විශාල හෙළිදරවු කිරීමක් ලෙසින් සැලකීමට නොහැක්කේ, වර්තමානයේ නිෂ්පාදනය වන නවීනතම ස්මාට්ෆෝනයන් බොහෝමයක් පාහේ මෙම ද්විත්ව කැමරා පද්ධති සමගින් පැමිණීම නිසායි.
ද්විත්ව කැමරා පද්ධතියක් තිබීමේ සුවිශේෂීත්වය කුමක්ද? ස්මාට්ෆෝන් තාක්ෂණිකයින් අතර Dual Camera නැතිනම් Stereo Camera ලෙසින් හැඳින්වෙන මෙම ද්විත්ව කැමරා පද්ධතියක සැබවින්ම ඇත්තේ කැමරා ලෙන්සයන් ද්විත්වයකි. එසේම එක් එක් කැමරා ලෙන්සය වෙනුවෙන් සෙන්සරයක් බැගින්ද මෙහි තිබේ. මෙයින් අනුකරණය කෙරෙන්නේ මිනිස් ඇසේ ඇති ද්විනේත්රික (binocular) ස්වභාවය වන අතර, මෙවැනි කැමරා පද්ධතියක් මගින් ලබාගන්නා ඡායාරූප වඩාත් සුපැහැදිලි, වර්ණයන්ගෙන් පිරිපුන් සහ ඉතා කුඩා තොරතුරු පවා පැහැදිලිව ග්රහණය කරගන්නා ආකාරයේ විශිෂ්ටත්වයක් දක්වා සිටිනු ඇත.
මෙයට අමතරව OnePlus 5 ස්මාට්ෆෝනය මෙසේ වනු ඇතැයි අන්තර්ජාලයට නොනිල වශයෙන් නිකුත් වී ඇති ඡායාරූපය අනුව බොහෝ දෙනෙකු සිතන්නේ මෙය වානේ බඳකින් යුක්තව නිර්මාණය වනු ඇති බවයි. කෙසේ නමුත් ඡායාරූපයේ පෙනෙනා OnePlus 5 හි පිටුපස කාලවර්ණ වානේ නිමාවකින් යුතු ලෙසින් පෙනී ගියත්, එසේ පෙනෙන්නට ප්ලාස්ටික් නිමාවක් සහිතව OnePlus 5 වෙළෙඳපොළට පැමිණීමටද ඉඩ තිබේ. එසේම මෙහි පසුපස ඇඟිලි සළකුණු ස්කෑනරයක් නොමැති නිසා, එය ස්මාට්ෆෝනයේ ඉදිරිපසින් ස්ථාපිතව පැමිණෙනු ඇතැයි බොහෝ දෙනෙකු සිතා සිටී.