ශ්‍රී ලංකාවේ අපට විනෝදයට සාගරයේ බෝට්ටු පැදීම ආගන්තුක විනෝද ක්‍රීඩාවකි. එනමුත් වෙනත් බොහෝ රටවල බොහෝ දෙනෙකු අතර එය ජනප්‍රිය විනෝදාංශයක් ලෙසින් සැලකේ. ක්‍රීඩා ඔරලෝසු හඳුන්වාදීම සම්බන්ධයෙන් නමක් දිනා සිටිනා Garmin සමාගම මගින් වෙළෙඳපොළට ඉදිරිපත් කරනා නවතම ඔරලෝසුව වන Garmin Quatix 5 හි විශේෂත්වය වන්නේ මෙය බෝට්ටු පැදීමේ විනෝද ක්‍රීඩාව සඳහා මනා සහායක් දැක්වීමයි. සැබවින්ම බෝට්ටු පැදීම මෙහි අඩංගු නවාංගයක් ලෙසින් ප්‍රචාරණයේදී ඉස්මතු කොට තිබුණත්, Garmin Quatix 5 උපාංගය යනු බහුවිධ ක්‍රීඩාවන් සඳහා ගැළපෙන ක්‍රීඩා ස්මාට් අත් ඔරලෝසුවක් ලෙසින් හැඳින්විය හැක.
බෝට්ටු ක්‍රීඩාවන් සම්බන්ධයෙන් සැලකීමේදී Garmin Quatix 5 ස්මාට් ඔරලෝසුවේ හැකියාවන් ඔබට සමුද්‍රයේ මඟ සොයාගැනීමට, බෝට්ටු තරග අතරවාරයේදී ඔබට සහාය වීමට පමණක් නොව, ඔබ බෝට්ටුවේ පාලනය අත ඇතිව නොසිටින අවස්ථාවකදී වුවද බෝට්ටුවේ ඩිජිටල් පාලකයන් හා සම්බන්ධ වී එය පාලනය කිරීමේ ‹ඔටෝ-පයිලට්› සහාය දක්වාද පැතිර පවතී. මෙහිදී ඩිජිටල් පාලකයන් සහිත බෝට්ටුවක දුරස්ථ පාලකයන් ලෙසින් ක්‍රියාත්මක වීමටද මෙයට හැකියාව පවතී.
Garmin Quatix 5 ස්මාට් අත් ඔරලෝසුවේ විවිධ ක්‍රියාකාරකම් සඳහා ප්‍රොෆයිලයන් ගණනාවක් අන්තර්ගතව පවතී. ඒ ඒ ප්රෝෆයිලයන් මගින් එම ක්‍රියාකාරකම් වලට ආවේණික වන කාර්ය ක්රමයන් වාර්තා කර තැබීමට හැක. මෙහිදී බෝට්ටු පැදීම පමණක් නොව, පැඩල් බෝඩ් බෝට්ටු පැදීම, කයැක් පැදීම, කැනෝයි බෝට්ටු පැදීම පමණක් නොව වඩාත් සාම්ප්‍රදායික ක්‍රීඩාවන් වන දිවීම, ඇවිදීම, පිහිනීම, සයිකල් පැදීම, පා ගමන් යෑම, ගොල්ෆ් ගැසීම පමණක් නොව මසුන් මැරීම වැනි විනෝද ක්‍රියාකාරකම් සඳහාද වෙන්වූ ප්රෝෆයිලයන් මෙහි තිබේ.
මෙයට අමතරව ඔබගේ මැණික්කටුවේ රැඳවුණු හෘද ස්පන්දනය මැන බලනා සෙන්සරයක් ලෙසින්ද ක්‍රියාත්මක වන මෙම උපාංගය හරහා ඔබ මෙම ඕනෑම විනෝද ක්‍රීඩාවක නිරත වීමේදී ඔබේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන්ද මනා චිත්‍රයක් ලබාගැනීමට හැකිවනු ඇත.
බෝට්ටුවක් පාලනය කිරීම සඳහා අවශ්‍ය වන සංවේදකයන් හා හැකියාවන්ට අමතරව මෙහි ඉහළ සංවේදීතාවයක් සහිත GPS හැකියාවන් මෙන්ම උන්නතාංශය මැන බලනා ඇල්ටිමීටරයක්, වායුපීඩනය මැනීමට බැරෝමීටරයක්, දිශාව සොයාගැනීමට අක්ෂ තුනක ඉලෙක්ට්‍රොනික කොම්පාසුවක්ද මෙහි තිබේ.
එසේම මෙය මුහුදේ මෙන්ම ගොඩබිමද දිශාවන්, පාරවල් සොයාගැනීම සඳහා පහසුවෙන් යොදාගැනීමට හැකියාව තිබෙනා බවද සඳහන් කළ යුතුම වේ. මෙය මීටර් සීයක් දක්වා ජල පීඩනයට සහ තෙතමනයට ප්‍රතිරෝධී වෙයි. දැඩි හිරු එළිය මධ්‍යයේ වුවද කියවිය හැකි වර්ණ තිරයක්ද සහිත මෙය එක් වරක් ආරෝපණය කළ පසුව පහසුකම්ද භාවිත කරමින් පැය 24 ක කාලයක් භාවිත කළ හැක. පහසුකම් නොමැතිව භාවිත කරන්නේ නම් මෙහි බැටරි කාලය එක් ආරෝපණයකට සති දෙකක් වනු ඇත.