ගේමින්ග් පරිගණකයක් යැයි කියූ විට දැවැන්ත දෘඪාංග එකලස් කළ ටවර් කේසිනයන්, විවිධාකාරයේ ගේමින්ග් ආදාන උපාංග ඇතුළු සම්පූර්ණ ගේමින්ග් ස්ටේෂන් එකක් සිහියට නැගෙනා කාලයක් මීට දශක දෙකකට තුනකට පෙර තිබූ බව අප මින් පෙරද යළි යළිත් කියා ඇත්තෙමු. තවමත් පරිගණක ක්‍රීඩා වෙනුවෙන්ම එවැනි අතිප්රබල ගේමින්ග් ස්ටේෂන් එකලස් කරන්නන් සිටියද, මේ වනවිට එය අතීතකාමී මතකයක් පමණක් බවට හැරෙමින් තිබේ. මන්දයත් මේ වනවිට පරිගණක ක්‍රීඩා වෙනුවෙන්ම නිර්මාණය වූ ගේමින්ග් ලැප්ටොප් වැනි වඩාත් හුරුබුහුටි උපාංගයන් පැමිණෙමින් තිබෙනා බැවිනි. කෙසේ නමුත් මෙය තාක්ෂණික ලෝකයේ සෑම තැනම සිදුවූ පරිද්දෙන් පරිගණක ක්‍රීඩා ලෝකයේද සිදුවෙමින් පවතින නොවැළැක්විය හැකි පරිණාමයයි. මිනිසා ක්‍රම ක්‍රමයෙන් තමන්ගේ දැවැන්ත පරිගණකයන් අතේ ගෙනයා හැකි හුරුබුහුටි උපාංගයන් තුළට සංයුක්ත කළ ආකාරයටම, ගේමින්ග් පරිගණක උපාංගයන්ද එම පරිණාම රීතියම අනුගමනය කරමින් තිබේ.
මෙතෙක් ගේමින්ග් පරිගණකද ක්‍රම ක්‍රමයෙන් සිය හැඩිදැඩි මුහුණුවර හලා, වඩාත් සුමට සහ හුරුබුහුටි හැඩයන් ලබාගනිමින් තිබූ බව දකින්නට හැකිවිණි. කෙසේ නමුත් මෙතෙක් වෙනස් කළ හැකි තිර හා යතුරුපුවරු ආකාරයන් සමගින් නිර්මාණය වූ 'කන්වර්ටබල්' ලැප්ටොප් යන්ත්‍ර ලෙසින් ගේමින්ග් පරිගණක නිෂ්පාදනය වී තිබෙනු දක්නට නොලැබුණි. දැන් එම පියවරද සම්පූර්ණ කරමින් Acer වෙතින් කන්වර්ටබල් නෝට්බුක් පරිගණකයක් වෙතට ගේමින්ග් පරිගණක යන්ත්‍රයක් එකලස් කර ඇත්තේ එය ගේමින්ග් පරිගණක යන්ත්‍ර පරිණාමයේ මීළඟ පුරුක බවට පත්කරමිනි.
මේ හඳුන්වාදෙන Acer Nitro 5 Spin කන්වර්ටබල් ගේමින්ග් ලැප්ටොප් උපාංගයයි.
මෙය දැනට වෙළෙඳ පොළේ ඇති වඩාත්ම ප්‍රබල ගේමින්ග් ලැප්ටොප් උපාංගයන්ගෙන් එකක් නොවේ. එසේ වුවත් ඔබ දිනපතා ඔබේ කාර්යාලයීය සහ පුද්ගලික වැඩකටයුතු සඳහා යොදාගත හැකි, එසේම අවශ්‍ය මොහොතක නවීන පරිගණක ක්‍රීඩා ධාවනය කරමින් උපරිම ක්‍රීඩා අත්දැකීමක් හා තෘප්තියක් ලබාගත හැකි පරිගණක බලයක් සහිත, හුරුබුහුටි කන්වර්ටබල් ලැප්ටොප් උපාංගයක් සොයන්නේ නම් Acer Nitro 5 Spin යනු ඔබටම ගැළපෙන යන්ත්රයයි.
මෙය ප්‍රධාන වශයෙන්ම ස්පර්ශ තිරයකින් සහ අංශක 360ක් දක්වා ක්‍රියාත්මක වන අල්ලු පද්ධතියකින් සමන්විත, අඟල් 15.6ක තිරයක් සහිත ලැප්ටොප් පරිගණකයකි. එනම් ඔබට අවශ්‍ය ඕනෑම මොහොතක මෙය ලැප්ටොප් ආකාරයෙන් විශාල ටැබ්ලට් උපාංගයක් බවටත් හරවා ගැනීමට හැකියාව තිබේ. එසේම ඔබට චිත්‍රපට හෝ වීඩියෝ ක්ලිප නැරඹීම සඳහා සිටුවා තැබිය හැකි ආකාරයට පවා මෙය පහසුවෙන් පරිවර්තනය කළ හැකි වේ. මේ සියල්ලම සමගින් පහසුවෙන් වසා ලැප්ටොප් බෑගයක දමාගෙන ගෙන යෑමටද හැකි තරම් මෙය හුරුබුහුටි වේ. සාමාන්‍යයෙන් ඔබ දකිනා ගේමින්ග් ලැප්ටොප් උපාංගයන්ට වඩා නවීන හුරුබුහුටි ගේමින්ග් ලැප්ටොප් උපාංගයන්ගේ දක්නට ඇති සිහින් හැඩය සහ නිමාව වෙත අනුහුරු වී ඇති මෙම Acer Nitro 5 Spin උපාංගය සම්පූර්ණයෙන්ම ඇලුමිනියම් බඳකින් යුතුව, වඩාත් සැහැල්ලු ලෙසින් නිර්මාණය වී ඇත.
මෙම උපාංගයේ ඇති අඟල් 15.6ක FHD, IPS ස්පර්ශ තිරය පහසුවෙන්ම 1080p ප්‍රමාණයේ විභේදනයක් ලබාදෙනු ඇත. එසේම පුළුල්ව නැරඹිය හැකි කෝණයන්ද සහිත මෙම තිරය සමගින් Acer Color Intelligence™ තාක්ෂණයද, Acer BluelightShield™ තාක්ෂණයද පැමිණෙන බැවින් ඔබේ පරිගණක ක්‍රීඩා අත්දැකීම් මෙන්ම සිනමා අත්දැකීම්ද සුපැහැදිලි දසුන් හා තියුණු වර්ණයන්ද සහිතව ලබාගැනීමට හැකියාව ලැබෙනු ඇත. එසේම Dolby Audio™ Premium, Acer TrueHarmony, Acer Smart Amplifier තාක්ෂණයන් සමගින් ස්ථාපනය කොට ඇති මෙහි ශ්‍රව්‍ය ප්‍රතිදාන පද්ධතියෙන් ලබාදෙන හඬ අත්දැකීම ගැනද කිව යුත්තේ ඔබ ඉහළින්ම තෘප්තිමත් කරන්නට එය සමත්වනු ඇති බවයි.
මෙය අටවෙනි පරම්පරාවේ ඉන්ටෙල් කෝර් ප්‍රොසෙසරයකින් සහ Nvidia GEForce GTX 1050 ග්‍රැෆික් ප්‍රොසෙසරයකින් සන්නද්ධව ඇත. එසේම ගිගාබයිට් 16 දක්වා වන රැම් මතකයකින් සහ ගිගාබයිට් 512ක SSD මතක ධාරිතාවකින්ද මෙය සමන්විත වේ. මෙසේ බැලූ විට මෙම Acer Nitro 5 Spin උපාංගය Acer සමාගමේ නිල ගේමින්ග් පරිගණක පතාක යෝධයින් වන Predator ගේමින්ග් ලැප්ටොප් තරම් ප්‍රබල නොවන බව පෙනේ. නමුත් ඔබට පෙනෙනු ඇත්තේ වර්තමානයේ ඇති නවීන පරිගණක ක්‍රීඩා බොහෝමයක් සමගින් සුමට හා සන්තතික ක්‍රීඩා අත්දැකීමක් ලබාදීම සඳහා මෙයට හැකියාව තිබෙනා බවයි.
එසේම මෙහි දෘඪාංග ක්‍රියාකාරීත්වය සලකා බලන විට එයට තත්‍යාසන්න යතාර්ථ (VR) පරිගණක ක්‍රීඩාවන් පවා න්‍යායිකව ධාවනය කිරීමේ හැකියාව තිබුණත්, අතිප්රබල ගේමින්ග් පරිගණක යන්ත්‍රයක මෙන් සුමට ක්රියාකාරීත්වයක් බලාපොරොත්තු වීමට හැකි නොවනු ඇත.
එසේ නම් මෙය මිලදී ගැනීමට පරිශීලකයන් පෙළඹෙනු ඇත්තේ මක්නිසාද? ඊට පිළිතුර සරල වේ. මෙතෙක් කාලයකට කන්වර්ටබල් ලැප්ටොප් පරිගණකයක් ලෙසින් ජනප්‍රිය වූ ගේමින්ග් පරිගණකයක් ඉදිරිපත් වී නැත. එසේම මෙය ඔබට පහසුවෙන්ම ගේමින්ග් පරිගණකයක් ලෙසින් මෙන්ම, එදිනෙදා වැඩකටයුතු සඳහා අවශ්‍ය වන නෝට්බුක් එකක්, ටැබ්ලට් එකක්, ග්‍රැෆික් ටැබ්ලට් එකක් මෙන්ම විනෝදාස්වාදය සපයන පුද්ගල පරිගණකයක් ලෙසින් වුවත් භාවිත කිරීමට හැකියාව ඇත. එසේ සලකා බැලූ විට Acer Nitro 5 Spin හි උපයෝග්‍ය වටිනාකම සැබවින්ම ඉහළ බව කිව යුතු වේ.
එසේම මේ මග යමින් තව තවත් නිෂ්පාදකයින් කන්වර්ටබල් ලැප්ටොප් ලෙසත්, සමහර විට අනාගතයේදී ටැබ්ලට් ලෙසිනුත් ප්‍රබල ගේමින්ග් පරිගණක යන්ත්‍ර නිර්මාණය කරනු ඇත.